සක්විති වරදකරු වෙයි

3919

කෝටි 10 වාරික 20කින් ගෙවන්න එකඟ වෙයි
දඬුවම් නියම කිරීම වාරික ගෙවීමෙන් පසු

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව සක්විති හවුස් ඇන්ඩ් කනස්ට්‍රක්ෂන් නමින් මූල්‍ය ආයතනයක් පිහිටුවා අධික පොලි ලබාදෙන බවට පොළඹවා තැන්පත් කරවා ගත් රුපියල් කෝටි 16 කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව එල්ල වී ඇති අභය රණසිංහ මුදියන්සේලාගේ නන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ කුමාරි අනුරාධිනි එකී චෝදනාවට වැරදිකරුවන් බවට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (19 දා) තීරණය කළේය.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා විවෘත අධිකරණය හමුවේදී කියවා පහදා දීමෙන් අනතුරුව ඔවුන් එකී චෝදනාවලට වරද පිළිගැනීම නිසා විනිසුරුවරයා එම නියෝගය කළේය.

චෝදනා පත්‍රයේ සඳහන් රුපියල් දහසය කෝටි හතළිස් එක් ලක්ෂ අසූපන්දහසක් වූ මුදලින් සියයට 60 ක් එනම් රුපියල් කෝටි 10 ක් මසකට රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික 20 කින් ගෙවා අවසන් කර ගැනීමට විත්තිකරුවන් එකඟ වූ අතර එම එකඟතාවට ගනුදෙනුකරුවෝ ද එකඟ වූහ. ඒ අනුව රුපියල් ලක්ෂ 50 ක මුල් වාරිකය එම විත්තිකරුවන් ඊයේ (19 දා) අධිකරණය හමුවේ තැන්පත් කළේය. දෙවන වාරිකය ගෙවීම සඳහා එම නඩුව ලබන අගෝස්තු 24 වැනිදා කැඳවීමට දින නියම කළ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එකඟ වූ පරිදි සියලු වන්දි මුදල් ගෙවා අවසන් වීමෙන් අනතුරුව වරද පිළිගත් චෝදනාවලට දඬුවම් නියම කරන බවත් නිසියාකාරව වාරික මුදල් ගෙවීම කළහොත් අත්හිටවූ සිරදඬුවමක් නියම කිරීම සම්බන්ධයෙන් තම අධිකරණය සලකා බලන බවත් පෙන්වා දුන්නේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ දමිතිනි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය. නීතිඥ රවින්ද්‍ර සෙනරත් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විත්තිය නියෝජනය කළේය.

අගතියට පත් තැන්පත්කරුවන්ට විත්තිය විසින් ලබාදෙන ලබන මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් ලබාගෙන වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නා බව රජයේ අධිනීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

2006.11.01 වැනිදා හා 2008.07.30 වැනිදා කාලය අතරතුරදී එකී සමාගමේ ගනුදෙනුකරුවන් තැන්පත් කළ රුපියල් කෝටි දාසයකට අධික මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment