නාගොඩ සිසේරියන් නවතියි – නිර්වින්දන මාර්කේන් ඉවරයි

372

ගැබිනි මවුවරු වෙනත් රෝහල්වලට

සිසේරියන් (cesarean) සැත්කම්වලදී අත්‍යවශ්‍ය වන මාර්කේන් (marcaine) නමැති නිර්වින්දන ඖෂධය අවසන් වී තිබෙන නිසා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දැනට සිටින ගැබිනි මවුවරුන් වෙනත් රෝහල් වෙත මාරු කර සිසේරියන් සැත්කම් නතර කර දැමීමට සිදුව තිබේ.

රෝහල සන්තකයේම ඇත්තේ මාර්කේන් (marcaine) එන්නත් කුප්පු දාහතක් පමණක් වන අතර හදිසි රෝගීන් සඳහා භාවිතා කළත් එය දින දෙකකටවත් ප්‍රමාණවත් නැතැයි රෝහල් වෛද්‍යවරු පවසති.

රෝහල් වෛද්‍යවරුන් රැස්වී ගත් තීරණ මත රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එස්. එම්. පී. කරුණාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ වනවිට රෝහල පත්ව තිබෙන තත්ත්වය පිළිබඳ දැනුම් දී ඇත.

කළුතර නාගොඩ රෝහලට මසකට ගැබිනි මවුවරුන් හයසියයක්, හයසීය පනහක් පමණ දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වන අතර ඉන් එකසීය අසූවක්, දෙසීයක් පමණ පිරිසක් සිසේරියන් (cesarean) සැත්කම් මගින් දරු ප්‍රසූතිය සිදු කරන බවත් රෝහල් වෛද්‍යවරු කියා සිටියහ.

මේ වනවිට හදිසිම ගැබිනි මවුවරුන් සඳහා පමණක් තිබෙන මාර්කේන් (marcaine) නිර්වින්දන එන්නත නොමැති නිසා දරු ප්‍රසූතියට නාගොඩ රෝහලට එන පිරිස වෙනත් රෝහල් වෙත මාරු කිරීමට සිදු වී තිබේ.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment