මොළය මියගිය ප්‍රේමවතී හතර දෙනකුට ජීවිත දෙයි – උඩුගම රෝහලේ පළමුවරට විශ්මිත සැත්කමක්

430

මොළය මිය ගිය රෝගියකුගේ ඇස් හා වකුගඩු වෙනත් රෝගීන් සිව් දෙනෙකු සඳහා බද්ධ කිරීමට ලබා ගැනීම පෙරේදා (18) දින උඩුගම රෝහලේ දී සිදුකළ බැව් උඩුගම රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අයුරින් මොළය මියගිය රෝගියකුගෙන් අවයව ලබා ගැනීම සිදුවූයේ උඩුගම රෝහල් ඉතිහාසයේ පළමු වතාවට බවද වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේය.

මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා තම සිරුරේ අවයව ලබා දෙමින් දායකත්වය සපයනු ලැබුවේ 2/169, නයාදොළ, අලපලාදෙණියෙහි පදිංචිව සිටි එල්. ප්‍රේමවතී මහත්මියයි. ඇයගේ ඥාතීන් මීට කැමැත්ත පළ කර ඇත. මියගිය තැනැත්තියගේ අවයව භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු රෝගීන් තිදෙනකුට බද්ධ කිරීම සඳහා ජාතික අවයව මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවද රෝහල් වෛද්‍ය අධිකාරිවරයා පැවසිය.

මොළය මියගිය ප්‍රේමවතී හතර දෙනකුට ජීවිත දෙයි - උඩුගම රෝහලේ පළමුවරට විශ්මිත සැත්කමක්

මේ සඳහා උඩුගම රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජේ. පිරසාන්තන්, කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්මාල් විතානගේ යන මහත්වරු මූලික වී කටයුතු කළහ. මොළය මිය ගොස් සිටි මෙම රෝගියා අවයව ලබා ගැනීම සඳහා ඉතාමත් සුදුසු අයකු බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව වෛද්‍ය ඩබ්.සඳුනි වික්‍රමසිංහ මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ ඉදිරි ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක විය. එහිදී අවයව ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජාතික අවයව මධ්‍යස්ථානය නියෝජනය කරමින් ජාතික රෝහලෙහි විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් කුමාරසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම මහඟු දායකත්වයක් ලබා දුන්හ.

අක්ෂි ලබා ගැනීම හෙද නිලධාරී ඩබ්ලිව්.එච්.එන්.කේ. වන්නිආරච්චි මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබීය. මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා දැඩි සත්කාර ඒකක කාර්ය මණ්ඩලය මෙන්ම ශල්‍යාගාර කාර්ය මණ්ඩලය ද තම උපරිම දායකත්වය ලබා දුන් බව උඩුගම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පවසයි.

අවයව ලබා ගැනීමට පෙර ඒ සඳහා අවශ්‍ය පූර්ව පරීක්ෂණ සිදු කර ගැනීමේදී ඉතාම කෙටි කාලයකින් ඒ සියල්ල ඉටුකර දෙමින් කරාපිටිය ශික්ෂණ රෝහලෙහි වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධිනී සමරවීර මහත්මිය, VDRL පරීක්ෂණය සඳහා මහමෝදර ශික්ෂණ රෝහල, උඩුගම රෝහල් රසායනාගාර කාර්ය මණ්ඩලය මෙන්ම ලේ බැංකු කාර්ය මණ්ඩලය ඉතාම කැපවීමෙන් කටයුතු කළ බව පවසන වෛද්‍ය අධිකාරිවරයා අවයව පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත ලබා දුන් ඒ මහත්මියගේ පවුලේ ඥාතීන්ට ස්තුතිය පුදකරන බවද විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රේමවතී මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් මොළයේ නහරයක් පිපිරී රුධිරය වහනය වීම නිසා සිහිසුන්ව රෝහල් ගත කර තිබිණි.
ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment