අවුරුදු අනූහතේ අම්මා ශාස්ත්‍රපති උපාධිය සමත් වෙයි – නව කතාවකුත් ලියන්න පටන් ගනී

89

කැලණිය විශ්වවිද්‍යාලයේ පාළි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය මගින් මෙවර පැවැත් වූ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට වයස අවුරුදු අනූහතක් වූ විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව සමත්ව ඇත.

ඇය මෙම විශ්ව විද්‍යාලයේ වයසින් වැඩිම ශිෂ්‍යාද විය.

විෂයන් 7 කින් සමන්විත මෙම ශාස්තපති උපාධිය සඳහා ඇය පාලි නිකාය ගත බෞද්ධ චින්තනය -විග්‍රහය හා විවරණය, බෞද්ධ කලා හා ගෘහ නිර්මාණ 11 (ශ්‍රී ලංකාව) බෞද්ධ මනෝ චිකිත්සාව, බෞද්ධ ආර්ථික දර්ශනය, තේරවාදී සම්ප්‍රදාය- ඉතිහාසය හා ධර්ම කරුණු ,බෞද්ධ ආචාර ධර්මය -සංකල්ප හා දාර්ශනික අර්ථකථනය, පර්යේෂණ ක්‍රමවේදය හා විස්තාරිතාවරණනය යන විෂයයන්ගෙන් පෙනී සිට ඇත.

ඇය මෙහි නිබන්ධනය වූ විස්තාරිත රචනා පර්යේෂණ මාතෘකාව ලෙස ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් තුළින් පිළිබිඹු වන අතීත ජීවන රටාව පිළිබඳ විමර්ශන ලිපියක් ද සම්පාදනය කර තිබුණි.

ඇස්ලින් ධර්මරත්න මාතාව වයස අවුරුදු 94 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලය මඟින් පැවැත්වූ ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිට එය ද සමත්ව ඇත.

මෙලෙස ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාගය සමත් වූ ඇය ගැහැනු දරුවන් 6 දෙනෙකු ම බලා ගනිමින් ජීවිතයට ද මුහුණ දෙමින් මෙම විභාග සමත්ව තිබුණි.

නොතාරිස් වෘත්තීයෙන් ජීවිතය අරඹා ඇති අය 1952 වසරේ දී එම විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියා ලෙස සමත් වූ එකම කාන්තාව ද විය. 1962 වසරේදී නොතාරිස් වරයකු සමග විවාහ වී ඇති ඇය හොරණ සිට නාවලපිටිය ප්‍රදේශයට පදිංචියට පැමිණ තිබේ. 1970 වසරේදී ඇගේ සැමියා හදිසියේම මිය ගොස් ඇති අතර එදින පටන් ඇය මෙලෙස ගැහැනු දරුවන් හය දෙනකු හදා වඩා ගනිමින් ජීවිතයට මුහුණ දී ඇත.

අද එම දරුවන් සියල්ල ඉතා ඉහළ තනතුරු දරන අතර අධ්‍යාත්මික සුවය පතා වයසට ගියත් ඇය මේ ලෙස අධ්‍යාපනය යේ නියැලෙන බව පවසන්නීය.

මැහුම් ගෙතුම් පමණක් නොව චිත්‍ර කලාව පුවත්පත්කලාව වගාවන් සිදු කිරීම ආදී සියල්ල ඇය විනෝදාංශයක් වශයෙන් අදටත් සිදු කරන්නීය.

වයස අවුරුදු අනූ හතක් වූ මෙම මාතාව ඇගේ අලු‍ත්ම වැඩ ගොනුවෙ ලෙස නවකතාවක් රචනා කිරීමද ආරම්භ කර ඇත.

එසේම ඇය ග්‍රන්ථ පරිශීලනය කරමින් ශාස්ත්‍රීය ලිපි රචනා ද සිදු කරන්නීය.

ගම්පොළ -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment