පුංචි ඡන්දයට සල්ලි ලෑස්තියි; මැතිවරණ කොමසාරිස් ජනරාල්

135

පළාත් පාලන මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසිය.

කොමසාරිස් ජනරාල්වරයා එසේ පැවසුවේ පැෆරල් සංවිධානය විසින් පසුගිය 27දා නුවරඑළිය මැතිවරණ කොමසාරිස් කාර්යාල ශ්‍රවණාගාරයේදී මැතිවරණ නිරීක්ෂකයන්ගේ කාර්යභාරය මැයෙන් සංවිධානය කර තිබූ නුවරඑළිය ප්‍රදේශයේ මැතිවරණ නිරීක්ෂකයන්, සිවිල් සංවිධාන ප්‍රධානීන් සහ නුවරඑළිය ප්‍රදේශයේ තරුණ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා පැවැති සම්මන්ත්‍රණයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද කියා සිටියේය.

“පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් දන්නවා පළාත් පාලන මැතිවරණය මාර්තු 19ට පෙර අවසන් කළ යුතුයි කියලා. ඒ නිසා මහින්දානන්ද මහතා කියන්න ඇති මැතිවරණය පවත්වනවා කියලා. ඒ සඳහා අවශ්‍ය කටයුතු අනිවාර්යෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ඉටු කරනවා.

2012 සීමානිර්ණ කොමිසමක් පත් කරලා ඒක අවුරුදු තුනක් ගිහිල්ලා අශෝක පිරිස් මහතා යටතේ අවුරුදු දෙකක් සමාලෝචනය කරලා තමයි 8700 කියන එක ආවේ. ඒ 8700 පදනම් කරගෙන තමයි 2018 පළාත් පාලන මැතිවරණය තිබ්බේ. අවුරුදු 4 අවසන් වුණා පසුගිය අවුරුද්දේ. අමාත්‍යවරයාගේ බලතල පරිදි අවුරුද්දකින් කල් දැම්මා. මේ වන විට වලංගු නීතිය 2017 අංක 16 පළාත් පාලන පනත, කොට්ඨාස මට්ටමින් සහ අතිරේක ලැයිස්තුවලින් පත් කළ යුතු සභිකයින් සංඛ්‍යාව තියෙනවා. ඒක තමයි දැනට පවතින නීතිය. එම නීතිය ක්‍රියාත්මක කිරීම තමයි අපිට පැවරෙන රාජකාරිය.

මැතිවරණ කොමිසම කරන්නේ පැවරී තිබෙන රාජකාරිය පමණයි. අපිට පැවරිලා නැති දේවල් සම්බන්ධයෙන් අපිට අර්ථකථනය කරන්න බෑ. ඕනෑම වසරක මැතිවරණයක් පැවැත්වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපි පවතින රජයෙන් ඉල්ලනවා.

2022 අපි ඉල්ලලා තිබුණා බිලියන 10 ක්. 2023 බිලියන 11ක් ඉල්ලුවා. බිලියන 10 ක් 2023 අයවැය මගින් මැතිවරණය සඳහා වෙන් කර තිබුණා. මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ. මුදල් නොදෙන කතාවක් අපිට කියලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදි රටක ජනතා පරමාධිපත්‍යයට මුල්තැන දීම රජය සතු රාජකාරියක්. මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වසරේ අවසාන සතියේ නාම යෝජනා භාර ගැනීමේ දිනයක් ගැසට් කරනවා.”

මෙම සම්මන්ත්‍රණයට පැෆරල් සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතා ද සහභාගි විය.

නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment