දයාසිරි වරදකරු කිරීම 5 වැනිදා තෙක් බෑ – මෛත්‍රිට වාරණයක්

63

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ නීතීඥ දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පක්‍ෂ විනය කඩකිරීම සම්බන්ධයෙන් විනය පියවර ගැනීම සහ විනය කඩකිරීමේ චෝදනාවට වරදකරු කිරීම ලබන 5 වැනිදා දක්වා වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (21) හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට හා පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස නම් කළ සරත් ඒකනායක මහතාට වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් පසුගිය 18 වැනිදා තමන් වෙත යොමුකර ඇති පක්‍ෂ විනය කඩකිරීම සම්බන්ධයෙන් වූ ලිපිය අභියෝගයට ලක් කරමින් නීතීඥ දයාසිරි ජයසේකර මහතා විසින් ගොනුකර තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී පෙක්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඉක්රම් මොහොමඩ් මහතා හා ජගත් ඒකනායක මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලු විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය. ලබන 5 වැනිදා අධිකරණයට එම නඩුව සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රිපාල සිරිසේන මහතාට හා සරත් ඒකනායක මහතාට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය. එස්. බී. දිසානායක නීතීඥ සමාගම මගින් එම නඩුව ගොනු කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment