මයික්‍රෝ ප්ලාස්ටික් අංශු පරිසරයට මුදා හළ හෝටල් දෙකක් පරිසර හිතකාමී වෙයි
අප මේ සිටින්නේ බොහෝ සෙයින් ලෝකය ප්ලාස්ටික්වලින් අපිරිසිදුව සිටින තත්ත්වයක් තුළය. ගොඩබිම පමණක් නොව, සාගරය තුළ සුවිශාල ප්ලාස්ටික් දූපත් නිර්මාණය වී ඇත. පොලිතීන් සහ ප්ලාස්ටික් යනු ලාභදායී සහ භාවිතයට ඉතා පහසු සම්පතක් වුවද නිසි බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම නිසා එය අද ගොඩබිම, ජලය, වාතය යනුවෙන් වෙනසක් නැතිව ලෝකයටම වින කරන තත්ත්වයකට පත්ව ඇත්තේ ප්ලාස්ටික් යනු ලෝක සතුරෙක් බවට පත්වෙමිනි. ඒ කොතරම් ද යත් ප්ලාස්ටික් කුඩා බිඳිති බවට පත්ව, ආහාර දාම, ආහාර ජාල තුළ සක්‍රීය කොටස්කරුවෙක් බවට පත්වෙමින් මිනිසා ඇතුළු සමස්ත ජීව වර්ගයාට මරු කැන්දන තැනට එක පැත්තකින් කටයුතු සිදුවී අවසන්ය. එනම් මයික්‍රෝ ප්ලාස්ටික් උවදුර නිසා ජීවයේ ආහාර මාර්ග පද්ධතිය බොහෝ සෙයින් අද ලෙඩ ඇඳට ඇද දමා ඇත. එය කොතරම් දුර ගොස් ඇත්ද යත් සතියකදී අපගේ ආහාර මාර්ගයට ක්‍රෙඩිට් කාඩ් (බැංකු කාඩ්) එකක් තරමේ ප්ලාස්ටික් ප්‍රමාණයක් අප නොදැනුවත්ව ඇතුළු වන බව සොයාගෙන ඇත. එය ග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් නම්, වසරකදී අප ගිලදමන ප්‍රමාණය ග්‍රෑම් 240 කි.
ශ්‍රී ලංකාවද සිටින්නේ පොලිතීන්-ප්ලාස්ටික් දූෂණයේ හිණිපෙත්තේය. ඇතැම් වාර්තාවන්ට අනුව ප්ලාස්ටික් මගින් සාගරය දූෂණය කරන රටවල් අතර 5 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව ස්ථානගත කර තිබුණ ද ශ්‍රී ලංකාවේ බොහෝ විද්වතුන් එම ස්ථානගත කිරීම පිළිගන්නේ නැත්තේ අපට වඩා සාගරය දූෂණය කරන රටවල් ලොව පවතින බව කියමිනි. එනම්, 5 වැනි ස්ථානය නොවූවත් ශ්‍රී ලංකාව ද ප්ලාස්ටික් මගින් සාගරය දූෂණය කරන රටවල් අතර සැලකිය යුතු ස්ථානයක සිටී.
කෙසේ හෝ බහු කාර්යය ප්ලාස්ටික්, තනි භාවිත ප්ලාස්ටික් සහ මයික්‍රෝ ප්ලාස්ටික් යන කාණ්ඩවල ප්ලාස්ටික් අද ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් කසළ අර්බුදයට බරපතල ප්‍රශ්නයක් බවට පත්වී ඇත. ගංගා, ඇළ, දොළ මගින් ඍජුවම මුහුදට එකතු වන ප්ලාස්ටික්, ධීවර කර්මාන්තයේදී ඉවතලන ප්ලාස්ටික් සාගරය දූෂණය කරන අතර, ගොඩබිමට එකතු කෙරෙන තනි භාවිත ප්ලාස්ටික් පමණක් නොව, මයික්‍රෝ ප්ලාස්ටික් වසංගතය ද ලෝකයට උග්‍ර අර්බුදයක් වී ඇත.
වර්තමානයේදී හඳුනාගෙන ඇති පරිදි විශාල වශයෙන්ම මයික්‍රෝ ප්ලාස්ටික් නිපදවීමට හා පරිසරයට මුදාහැරීමට ඇඳුම් සේදීමේ යන්ත්‍ර (වොෂින් මැෂින්) හේතුවක් වී ඇති බව හඳුනාගෙන ඇත. එසේ හෙයින් මේ සියලු ආකාරයේ ප්ලාස්ටික් ප්‍රභවයන් හඳුනාගෙන එම දූෂණයන් අවම කරන්නට කටයුතු කිරීම ඉතා අවශ්‍ය වන අතර මේ වන විට බොහෝ ව්‍යාපෘති ක්‍රියාවට නැගෙමින් පැවතීම සතුටට කරුණකි. ඒ පවතින ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා සහ 2040 වන විට ලෝක භාවිත ප්ලාස්ටික් ප්‍රමාණය සියයට 60 කින් අවම කිරීම අරමුණු කරමිනි.
ශ්‍රී ලංකාවේ එසේ ක්‍රියාත්මක වන ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ සහ පිරිසිදු නගර ඇතිකිරීමේ එක් වැදගත් ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවනු ලබන්නේ ගාල්ලේ Help-O පරිසර සංවිධානය මගිනි. ඔවුන් විසින් බාසල් සහ රොටර්ඩෑම් සම්මුති ලේකම් කාර්යාලයේ (BRS) සහයෝගය ඇතිව ගාල්ල නගරය ප්ලාස්ටික් කසළවලින් තොර නගරයක් බවට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. තවද එක් පියවරක් වන්නේ USAID සහයෝගයෙන් ක්‍රියාවට නැංවෙන Clean Cities Blue Ocean වැඩසටහනයි. ලෝකයේ නගර ගණනාවක ක්‍රියාත්මක මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් නගර තුනක් ඇතුළත් කර ඇත. ඒ යාපනය, මොරටුව සහ ගාල්ලයි. ගාල්ල වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා තාක්ෂණික සහාය Help-O පරිසර සංවිධානය මගින් ලබාදෙන අතර ගාල්ල මහනගර සභාව වසර 5 ක සැලැස්මක් අනුව එය ක්‍රියාවට නංවයි. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ බාසල් සහ රොටර්ඩෑම් ලේකම් කාර්යාලයේ (BRS) මූල්‍යමය අනුග්‍රහය ඇතිව සහ ජපානයේ IGES තාක්ෂණික සහාය ඇතිව Help-O සංවිධානය ගාල්ල මෝඩ ඇළ ඔස්සේ මුහුදට ගලාගෙන යන ප්ලාස්ටික් වර්ග හා ප්‍රමාණයන් විශේෂිත CCTV කැමරාවක් මගින් ග්‍රහණය කරගෙන එහි දත්ත ස්වයංක්‍රීය ක්‍රමවේදයක් ඔස්සේ නිරීක්ෂණය තවත් කටයුත්තකි.
එසේම ප්ලාස්ටික් හෝ මයික්‍රෝ ප්ලාස්ටික් අවම කිරීම සඳහා ප්‍රායෝගිකවම කටයුතු කරන වැඩසටහන් ද මේ අතර ක්‍රියාවට නැඟේ. පරිසරයට මුදාහැරෙන මයික්‍රෝ ප්ලාස්ටික් අවම කිරීම සඳහා ස්ථාපිත කරන්නට යෙදුණු මයික්‍රෝ ප්ලාස්ටික් පෙරණය ඒ අතරින් ප්‍රධාන වේ. මෙම පෙරණය ස්ථාපිත කර ඇත්තේ ද පරිසර අමාත්‍යාංශය සමග IGES මගපෙන්වීමෙන් බාසල්, රොටර්ඩෑම් ලේකම් කාර්යාලයේ (BRS) මූල්‍යමය අනුග්‍රහය යටතේ Help-O සංවිධානයේ පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙසය. මෙය ශ්‍රී ලංකාවේ ආරම්භ කළ මේ ආකාරයේ පළමු වැඩසටහනද වේ.
“මයික්‍රෝ ප්ලාස්ටික් සම්බන්ධව මෑතකදී සිදුකරන ලද නියමු පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා රෙදි සෝදන යන්ත්‍ර මගින් මුදාහැරෙන ජලයෙන් පරිසරයට මිලියන ගණනින් මයික්‍රෝ ප්ලාස්ටික් මුදාහැරෙන බව. නිදසුනක් ලෙස ගතහොත්, කිලෝග්‍රෑම් 25 ක රෙදි සේදීමට හැකි සෝදන යන්ත්‍රයකින් එක සේදුම්වාරයකදී මයික්‍රෝ ප්ලාස්ටික් අංශු මිලියන 1.5 ක ප්‍රමාණයක් පරිසරයට මුදාහැරෙන බවත්, දිනකට මෙම යන්ත්‍රය සිව් වරක්වත් ක්‍රියාත්මක වුවහොත් ඉන් මයික්‍රෝ ප්ලාස්ටික් අංශු මිලියන 6 ක් පරිසරයට නිදහස් වන බව හඳුනාගෙන තියෙනවා. මේ පර්යේෂණය සිදුකළේ විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය යොහාන් මහගමගේ ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින්. මේ අනුව අපි (Help-O සංවිධානය) මෙම වැඩසටහනට අනුව බාහිර පරිසරයට මයික්‍රෝ ප්ලාස්ටික් පැමිණීම වැළැක්වීම සඳහා සුවිශේෂී වැඩසටහනක් ගාල්ලේ ක්‍රියාවට නැගුවා. දකුණු ආසියාවේ මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ පළමුවරට බව අපි විශ්වාස කරනවා. එනම්, ගාල්ල නගරයේ සංචාරක හෝටල් දෙකක් තෝරාගෙන ඒවායේ තියෙන රෙදි සෝදන යන්ත්‍රවලට මයික්‍රෝ ප්ලාස්ටික් පෙරණ සවිකරනු ලැබුවා. එම පෙරණ මගින් ලබාදුන් දත්ත අනුවයි මිලියන ගණනින් මයික්‍රෝ ප්ලාස්ටික් අංශු පරිසරයට මුදාහැරෙන බව අප හඳුනාගත්තේ. මේ සඳහා අපි පෙරණ භාවිත කළේ පිටරටින් ආනයනය කරලා. නමුත් අපේ අවධානය යොමුවෙලා තියනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහයෙන් ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කරගන්න” යැයි Help-O සංවිධානයේ සභාපති චතුර වැලිවිටිය මහතා පවසන්නේය.
“මෙසේ එකතු කරගන්නා ප්ලාස්ටික් අංශු අධි තාපයක් තුළ දහනය කර පරිසරයෙන් බැහැර කෙරෙනවා. ඒ වගේම ගෘහස්ථ රෙදි සෝදන යන්ත්‍ර සඳහාත් මෙවැනි මයික්‍රෝ ප්ලාස්ටික් පෙරණ භාවිත කිරීමට ඇති හැකියාව සම්බන්ධව එම නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡා කිරීමට අප පියවර ගෙන තිබෙනවා. අපි දැනට ගාල්ල නගරය ප්ලාස්ටික්වලින් තොර නගරයක් බවට පත්කිරීම සඳහා අදියර හතරක් යටතේ ක්‍රියාත්මක වෙනවා. පළමුවැන්න ප්ලාස්ටික්වලින් තොර පාසල්. ගාල්ල නගරයේ පාසල් හතරක් මේ සඳහා තෝරාගෙන කටයුතු කරනවා. ගාල්ල නගරය ඔස්සේ ගලා එන ඇළ මාර්ග අතර තියෙන මෝඩ ඇළ ඔස්සේ මුහුදට ගලාගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණාත්මකව අපි නිරීක්ෂණය කරනවා. ඒ අනුව 2023 මාර්තු 11 සිට මේ දක්වා යෝගට් කෝප්ප, විවිධ ප්ලාස්ටික් වර්ග, බෝතල් සංඛ්‍යාවක් ලෙස කැබලි 528,164 ක් මුහුදට යන අයුරු නිරීක්ෂණය කර තිබෙනවා. මයික්‍රෝ ප්ලාස්ටික් උවදුර පිළිබඳ නිරීක්ෂණය අනිත් එක. පරිසර අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගනිමින් මයික්‍රෝ ප්ලාස්ටික් සම්බන්ධව දැනුවත් කිරීම සඳහා සකස් කරන ලද ගුරු අත්පොතක් සහ සිසු මාර්ගෝපදේශයක් තව නොබෝ දිනකින් එළිදක්වනවා. මයික්‍රෝ ප්ලාස්ටික්වලින් සිදුවන පාරිසරික හානිය සම්බන්ධව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට ද අප කටයුතු කරගෙන යනවා. මීට අමතරව කුඩා හා මධ්‍යම පරිමාණ සංචාරක හෝටල් ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් තොරව පවත්වාගෙන යෑම පිළිබඳ මගපෙන්වීමේ අත්පොතක් හඳුන්වා දී තිබේ.” පරිසර අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත මෙම අත්පොත සඳහා තාක්ෂණික සහාය හෙල්ප්-ඕ සංවිධානය මගින් ලබාදෙන බව සංගමයේ සභාපති සහ විධායක නිලධාරී චතුර වැලිවිටිය මහතා සඳහන් කරයි.
මේ අනුව මයික්‍රෝ ප්ලාස්ටික් සහ තනි භාවිත ප්ලාස්ටික් ඇතුළු ප්ලාස්ටික් උවදුර තුනී කිරීම සඳහා වැදගත් වැඩසටහන් රට තුළ ක්‍රියාත්මක වන නමුදු සැබැවින්ම රට තුළ ප්ලාස්ටික් නිසි භාවිතය සහ නිසි බැහැර කිරීමේ වගකීම අවසන් වශයෙන් ඇත්තේ ජනතාව නම් වන අප අතේ බව මතක තබාගත යුතුය. එසේ නොවුණහොත් මිහිතලය ද, ප්ලාස්ටික්ද යන්න දෙකෙන් එකක් තෝරාගැනීමට අපට සිදුවනු ඇත.
ජගත් කණහැරආරච්චි