ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පියවර තුනක් ඉදිරියට එයි

139

ජාත්‍යන්තර රග්බි පාපන්දු කෙළිබිමට බොහෝ කලකට පසු අවතීර්ණ වෙමින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නවතම ලෝක ශ්‍රේණි ගත කිරීමට අනුව පියවර 03 ක් ඉහළට පැමිණීමට සමත් වී තිබේ.

පසුගියදා නිමා වූ ආසියානු රග්බි ශූරතා තරගාවලිය ආරම්භයට පෙර 44 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීමට අනුව 41 වැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය. ඒ ප්‍රසාද ලකුණු 47.39 ක් සටහන් කර ගනිමිනි.

කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරුණු එම සිව්කොන් රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා ගිය ගමනේදී ඉන්දියාව සහ කසකස්තානය පරාජය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පියවර ත්‍රිත්වයක් ඉහළ යෑමට හැකියාව ලැබිණි.

ආසියානු රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරුණු එම ආසියානු ශූරතා තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනා ගැනීම සඳහා ගිය ගමනේ දී ඉන්දියාව ලකුණු 45 – 10 ක් ලෙස ද අවසාන මහා තරගයේ දී කසකස්තානය ලකුණු 45 -07 ක් ලෙස ද පරාජය කරමින් කැපී පෙනෙන්නට ශ්‍රී ලංකාවට හැකි විය. ඒ අනුව මීළඟ ආසියානු කුසලාන රග්බි පාපන්දු තරගාවලියට ස්ථානයක් වෙන් කර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වීම කැපී පෙණුනි.

මෙම තරගාවලිය ආරම්භයට පෙර සිටී 64 ස්ථානය නැවත වතාවක් ආරක්ෂා කර ගැනීමට අනු ශූරයින් වූ කසකස්තානය සමත් විය. ඒ ප්‍රසාද ලකුණු 40.49 කි.

87 වැනි ස්ථානයේ රැඳී සිටි ඉන්දියාව මෙවර ලත් තරග දෙකක පරාජයත් සමගින් පියවර 02 ක් පල්ලම් බසින්නට සිදු විය. ප්‍රසාද ලකුණු 31.87 සමගින් ඉන්දියාව 89 වැනි ස්ථානයේ රැඳී සිටී.

94 ස්ථානයේ සිටි කටාර් රාජ්‍යය ලත් එකම ජයග්‍රහණයත් සමගින් පියවර 04 ක් ඉදිරියට පැමිණ 90 ස්ථානය තහවුරු කර ගත්තේය. ඒ ප්‍රසාද ලකුණු 31.31 ක් සමගිනි.

නවතම ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට ප්‍රසාද ලකුණු 94.54 ක් සමගින් දකුණු අප්‍රිකාව සමත්ව සිටින අතර දෙවැනි ස්ථානය අයර්ලන්තය (ලකුණු 90.69) ද තෙවැනි ස්ථානය නවසීලන්තය (ලකුණු 89.80) ද හිමි කර ගෙන තිබේ. සිව් වැනි ස්ථානය ප්‍රංශය ද 05 වැනි ස්ථානය එංගලන්තය ද හිමි කර ගැනීමට සමත් විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment