ගොබ් ඉරිදා ඇරඹුණු ශුද්ධ වූ සතිය

116

ශුද්ධ වූ සතිය ආරම්භ වන ගොබ් ඉරිදා මෙවර මාර්තු 24දාට යෙදී තිබුණි. චතාරික සමයේ අවසාන ඉරිදා වන මෙදින දුක්ඛෝත්තම ඉරිදා ලෙසද නම් කර තිබේ. ජනතාවගේ හෝසන්න ප්‍රීති ඝෝෂා මැද ජේසු සමිඳුන් ජෙරුසලම් දේව මන්දිරය වෙත ජයශ්‍රීයෙන් සම්ප්‍රාප්ත වීම සමරන ගොබ් ඉරිදා සිට පාස්කු ඉරිදා දක්වා වූ ශුද්ධ වූ සතිය තුළ මහා බ්‍රහස්පතින්දා, මහා සිකුරාදා හා ආලෙලුයා සෙනසුරාදා යන ශුද්ධ වූ සතියේ අතිශයින් වැදගත් දින යෙදී තිබේ.

ශුද්ධ වූ සතියේ සඳුදා, අඟහරුවාදා හා බදාදා දින මුල් කාලයේ ශුද්ධ වූ සතියට ඇතුළු කරනු ලැබ නොතිබිණි. එහෙත් තුන්වන ශත වර්ෂයේ මුල් කාලයේදී එම දින තුනද ශුද්ධ වූ සතියේ දින ලෙස ඇතුළු කරනු ලැබීය.

මෙම කිතුනු අපට අතිශය වැදගත් සතිය ශුද්ධ වූ සතිය ලෙස නම් කරන ලද්දේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ වැඩ වාසය කළ රදගුරුතුමකු වූ ශුද්ධ වූ ඇනනේසියස් මුනිතුමා විසිනි. කොන්සතන්තීනයේ එපිපාතිස් මුනිතුමාද මෙම සතියේ වැදගත්කම සලකා ශුද්ධ වූ සතිය යන නාමය ඊට යොදාගෙන තිබේ.

ශුද්ධ බයිබලයේ නික්ම යාම ග්‍රන්ථයේ දොළොස් වන පරිච්ඡේදයේ සඳහන් පැරණි පාස්කුව සඳහා ජනතාවට අනුස්මරණ දිනයක් ලෙසත් සමිඳානන්ට මංගලෝත්සව දිනයක් ලෙස පැවැත්විය යුතු බව සඳහන්ය. ලූක් සුභාරංචියේ සඳහන් පරිදි ජේසු සමිඳුන් දොළොස් වියැති වූ කල දෙමාපියන් සිරිතක් ලෙස සහභාගි වන පාස්කු මංගල්‍යයට උන්වහන්සේද කැටුව ගිය බව සඳහන්ය.

ශුද්ධ වූ සතිය තුළ සමිඳුන් සතුරන් අතට පාවා දීම, අවසාන රාත්‍රි භෝජනය, ශ්‍රාවකයන්ගේ පා සේදීම, කුරුස ගමන, කුරුසියේ ඇණ ගැසීම හා මරණය, යළි මරණයෙන් උත්ථාන වීම අපි සිහිපත් කරමු. ක්‍රිස්තුන් වහන්සේ මරණින් නැඟිට නොවදාළේ නම් අපගේ විශ්වාසය ප්‍රලාපයක් බව ශු. පාවුළු අපෝස්තුළුතුමා ප්‍රකාශ කිරීම තුළින් මෙම ජයග්‍රාහී උත්ථානය අපේ ඇදහිල්ලේ පදනම බව සනාථ වේ.

කැලිස්ටස් ජයමාන්න – හීන්කෙන්ද

ගොබ් ඉරිදා ඇරඹුණු ශුද්ධ වූ සතිය
advertistmentadvertistment
advertistmentadvertistment