තායිලන්තයෙන් ජීවිසතුන් ගෙනා ව්‍යාපාරික යුවළ රේගු දැලේ

332

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත , සත්ව රෝග පනත සහ රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් , තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හතළිහක් පමණ වටිනා ජීවී සතුන් 88දෙනෙකු සමග තරුණ ව්‍යාපාරික යුවළක් පෙරේදා (25දා) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් , රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නිරෝධායන ආයතනයේ නිලධාරීන් පිරිසක් විසින් ඒකාබද්ධව සිදු කළ වැටලීමකින් අත් අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල , පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණ ව්‍යාපාරික යුවළ වයස අවුරුදු 35 තරමේ පසුවන්නන් විය.

මොවුන් දෙදෙනා 25 දින පස්වරු 04.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ වාතාස්‍රය ලැබෙන පරිදි සකස් කළ කුඩා ප්ලාස්ටික් පෙට්ටි තුළ ඉබ්බන් , ගෙම්බන්, මාළු , ඉත්තෑවන් , ලේනුන් , කැස්බෑවන් , කටුස්සන් , හැම්ස්ටර් , සැලමැන්ඩා , තවත් පණුවන් විශේෂයක් සහ මීයන් අසුරා ගෙන පැමිණ තිබුණි.

මෙම ජීවී සතුන් තොගය තායිලන්තයේ බැංකොක් නුවර ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ට හෝ රේගු නිලධාරීන්ට ඇස නොගැටීම ගැටලුවක් බව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පැවසූහ.

මෙම තරුණ ව්‍යාපාරික යුවළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන අතර මෙම සතුන් එම විමර්ශන කටයුතු නිම වන තෙක් කටුනායක ගුවන් තොටුපළ සත්ව නිරෝධායන ආයතනය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ භාර ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ ඉන්දික සිල්වා, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ ඩී.බී.එන්.සමරතුංග, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන යූ.ඒ.එන්.ආර්.උඩුවිල, සංජය තෙන්නකෝන්, පී.කේ.පී.පී.සිල්වා , රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞශල්‍ය, අරුණ ශාන්ත අමරසිංහ, වයි.බී.එල්.ඉන්දික, සහකාර රේගු අධිකාරිවරුන් වන එම්.ඒ.ටී.සී.සඳරුවන්, එස්.ඒ.ඒ.එම්.සමරසිංහ, රේගු නියාමකවරුන් වන ජී.එම්.එන්.කේ. විජේරත්න, ඩී.එම්.ඩබ්ලිව්.සෙව්වන්දි , එම්.එන්.පී.පෙරේරා සහ රියැදුරු කමල් උදයකුමාර යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති.

කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment