ලංවිම මිලියන ගණනක ලාභයෙන් සොච්චමක් වැයකර පන්සල්වලට විදුලිය දෙමු!

86

ලංවිම මිලියන ගණනක ලාභයෙන් සොච්චමක් වැයකර පන්සල්වලට විදුලිය දෙමු!

අඳුරට වැටුණු පන්සල්වලට සෝලා පැනල ලබාදීමට ලොව පුරා වැඩසිටින භික්ෂූන්වහන්සේට ආරාධනා කරනවා…ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද හිමි

ලංවිම මිලියන ගණනක ලාභයෙන් සොච්චමක් වැයකර පන්සල්වලට විදුලිය දෙමු!

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිඟ විදුලි බිල ලක්‍ෂ 40 යි…දිඹුලාගල රාහුලාලංකාර නායක හිමි

ලංවිම මිලියන ගණනක ලාභයෙන් සොච්චමක් වැයකර පන්සල්වලට විදුලිය දෙමු!

ආගමික සිද්ධස්ථානවල විදුලි අර්බුදයට හොඳම විසඳුම සූර්ය කෝෂ සවි කිරීම…මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

ලංවිම මිලියන ගණනක ලාභයෙන් සොච්චමක් වැයකර පන්සල්වලට විදුලිය දෙමු!

සෝලාවලට ලොකු වියදමක් යනවා කියලා බිල්ලෙක් මවලා…සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හිටපු සභාපති කීර්ති වික්‍රමරත්න

අපේ රටේ බෞද්ධ විහාරස්ථාන 13795 යි, අදටත් 68 විදුලිය නෑ…කෝටියකට ආසන්න ලයිට් බිල දැකල සිතුල්පව්ව නායක හාමුදුරුවො රෝගාතුර වෙලා…

කාලයක සිට සෙමෙන් වැඩුණු විදුලි අර්බුදය තෙල් ගැටලුවත් සමඟ මුළු රටම අන්ධකාරයට පත් කරවන තරමට උත්සන්න විය. මේ වනවිට මුළු රටම විදුලි ආලෝකයෙන් දැල් වුණ ද බිල අතට පත් වනවිට ‘කරන්ට්’ එක වදින තරමට විදුලි ගාස්තු වැඩි වී තිබේ. සියලු භාණ්ඩ හා සේවා මිල වැඩි වී රටේ ආර්ථිකය උස් තැනක පවතින පසුබිමක විදුලි ගාස්තු 75% ක් සහ 66% ක් වශයෙන් දෙවතාවකින් වැඩිවීම දිළිඳු, සාමාන්‍ය පවුල්වලට පමණක් නොව ධනවත් පවුල්වලට මෙන්ම මෙරට සියලුම ආයතනවලට දරාගැනීමට නොහැකි තත්ත්වයට පත් වී ඇති බව සැබෑය. එවැනි පසුබිමක නැවතත් විදුලි ගාස්තු 18% න් වැඩි කිරීම ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ කරුමයක් පඩිසම් දීමකි.

එහෙත් විදුලි ගාස්තු වැඩිවීම විදුලිබල මණ්ඩලයට කල්ලමරේය.’ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු පෙන්වාදෙන ආකාරයට විදුලි ගාස්තු වැඩි කිරීමත් සමඟ විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 22 ක ලාභයක් ලැබී ඇත. මේ වසර අවසාන වනවිට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 40 ක ලාභ ලබන බව ද ඔහු පෙන්වා දෙන්නේය. එවැනි ලාබදායී විදුලිබල මණ්ඩලයක් සහිත රටක ආගමික සිද්ධස්ථාන බොහෝමයක් කළුවරයේය. මාසික විදුලි බිල ගෙවාගැනීමට නොහැකිව විහාරාධිපතිවහන්සේ පාර දිගට පින් කැට සොලවති. විදුලිබල මණ්ඩලයේ භාරයක් ඔප්පු කරමින් නොමිලේ විදුලිය ලබා දී තිබුණු ශ්‍රී පාද පද්මය පිහිටි සමනළ ගිරි මුදුනට ගමන් කරන මාර්ග හතරේ විදුලිය විසන්ධි කිරීමට යන බවට ද කතාවක් කරළියට පැමිණි තිබිණි.

එමෙන්ම මෙරටට බුදුදහම රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ මිහින්තලේ පුණ්‍ය භූමියේ සිට නුවර දළදා මාළිගාව ඇතුළු පූජා භූමිවලට දරාගැනීමට නොහැකි විදුලි බිල් ලැබී ඇති බව වාර්තා වේ. පසුගිය දිනෙක නොසිතූ අවස්ථාවක සිතුල්පව්ව රජමහ විහාරස්ථානයට ලැබුණු රුපියල් ලක්‍ෂ 93 ට ආසන්න හිඟ විදුලි බිල දැක විහාරාධිපතිවහන්සේ මැටරඹ හේමරතන නායක හාමුදුරුවො රෝගාතුර වී තිබිණි. විහාරස්ථානයේ පින්වත් දායකයන් එකතු වී එම බිල ගෙවා දැමුව ද සෑම මාසයක ම රුපියල් ලක්‍ෂ දෙකකට ආසන්න විදුලි බිලක් ලැබෙන බව සිතුල්පව්ව රජමහා විහාරවාසී බෝපාගොඩ නාගිත හාමුදුරුවෝ අප සමඟ පැවසූහ. විදුලි බිලගෙවාගැනීමට නොහැකිව දැඩි සේ අසරණ වී සිටින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දිඹුලාගල රාහුලාලංකාර නායක හාමුදුරුවෝ ද අපට අදහස් ඉදිරිපත් කළහ.

ලංවිම මිලියන ගණනක ලාභයෙන් සොච්චමක් වැයකර පන්සල්වලට විදුලිය දෙමු!

“ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පූජා භූමියක් බවට පත් කරලා විදුලි බිල මහා භාණ්ඩාගාරයෙන් ගෙවාගෙන ගියා. පවතින විදුලි අර්බුදයත් එක්ක මහා භාණ්ඩාගාරයෙන් විදුලි බිල ගෙවන එක නතර කළා. ඒ සමඟ අවුරුද්දක් විතර විදුලි බිල් ගෙවීම ප්‍රමාද වුණා. ඒ නිසා රුපියල් ලක්‍ෂ 40 ක් විතර හිඟ විදුලි බිලක් ගෙවන්න වෙලා තියෙනවා. ඒ හිඟ මුදලට මාසෙන්, මාසයට රුපියල් 50,000 ක විතර පොලියක් එකතු වෙනවා. ඊට අමතරව මාසික විදුලි බිල එකතු වෙනවා. අපේ ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල මාසෙකට රුපියල් ලක්‍ෂ 5 පනිනවා. අලුත් විදුලි ගාස්තු වැඩිවීමත් එක්ක ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල තව වැඩි වෙයි. මාසෙන්, මාසයට විදුලි ගාස්තු ණයත් වැඩි වෙනවා. මේ ආරණ්‍ය සේනාසනය පිරිවෙනක්. නේවාසික භික්‍ෂූන්වහන්සේ හැත්තෑනමක් වැඩ සිටිනවා. කාමර හතළිහක්, කුටි 30 ක් තියෙනවා. විහාරාරංග තියෙනවා. වන අලි ගැටලුව තදින්ම බලපානවා. අපිට නම් වන සතුන් එක්ක ජීවත් වෙලා හුරුයි. ඒත් විදුලිය නැතිව පිරිවෙනේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න බෑ…” දුරකථනය ඔස්සේ අප සමඟ සම්බන්ධ වූ දිඹුලාගල නායක හාමුදුරුවො එසේ පැවසූහ.

මෙරට බෞද්ධ විහාරස්ථාන 13795 කි. ඒ අතරින් අදට ද විදුලිය නොමැති විහාරස්ථාන 68 කි. එම විහාරස්ථාන හැටඅට ට ඉන්දීය ආධාර යටතේ විදුලිය ලබාදෙන වැඩපිළිවෙළක් ගැන පසුගිය කාලයේ කතාවක් පැතිරිණි. එහෙත් වාර්තා වන ආකාරයට තවමත් එම ව්‍යපෘතිය ක්‍රියාත්මක වී නොමැත. එමෙන්ම අදට ද රාත්‍රියට භූමිතෙල් ලාම්ප්පුවලින් ආලෝකවත් වන විහාරස්ථාන 68 ට හැර සෙසු සියලුම බෞද්ධ විහාරස්ථානවල විදුලි බිල් ගෙවාගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට පත්ව තිබේ. හිටි හැටියේ ලක්‍ෂ ගණනින් හිඟ විදුලි බිල් ලැබුණු සහ ගෙවාගෙන යෑමට නොහැකිව අන්ත අසරණ වී සිටින විහාරාධිපතිවහන්සේ කිහිපනමක් අපට අදහස් ඉදිරිපත් කළහ. ඒ සියලුම තොරතුරු පෙළගැසෙන සටහනට අන්තර්ගත කළ නොහැකිය. එහෙත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හාමුදුරුවන් කළ පැහැදිලි කිරීම පෙළගැසෙන සටහනට ඇතුළත් කිරීමට අපි අදහස් කළෙමු.

“රටේ ආගමික සිද්ධස්ථාන පොදු ස්ථාන. ඒ සිද්ධස්ථානවල විවිධාකර වත්පිළිවෙත් සිදුකෙරෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී පන්සල්වල වැඳුම්, පිදුම් කටයුතු කරන මිනිසුන්ට ලයිට් නිවලා යන්න කියන්න බෑ. අලංකාරයට දල්වා තිබෙන විදුලි බුබුළු නිවා දාන්න පුළුවන්. ඒත් විහාරස්ථාන ආලෝකවත් කරන විදුලි බුබුළු නිවා දාන්න බෑ. දහම් පාසල්වල විදුලිපංකා ක්‍රියාත්මක වෙනවා. ලයිට් පත්තු වෙනවා. ඒවා නතර කරන්න බෑ. ඒ නිසා ආගමික සිද්ධස්ථාන පොදු සේවා ස්ථාන ලෙස නම් කර ධරණීය මට්ටමක සහනයක් සැලසීමට ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. රටේ ජනතාවටත් විදුලි බිලෙන් සහනයක් ලබාදෙන්න ඕනෑ. ඒ වගේම මේ රටේ පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරනවා විතරයි. එම බලශක්ති ප්‍රභවයන් සාර්ථක කරගන්න නිලධාරීන් ඉඩ දෙන්නෙ නෑ. බහුජාතික සමාගම් සමඟ එකතු වෙලා ඇතැම් නිලධාරීන් රටේ බලශක්තියත් මගඩියක් කරගෙන. ආගමික සිද්ධස්ථානවල විදුලි අර්බුදයට හොඳම විසඳුම සූර්ය කෝෂ සවි කිරීම…” මහාචාර්ය මැදගොඩ අභියතිස්ස නායක හාමුදුරුවන්ගේ කතාව සැබෑය. මෙරට විහාරස්ථානවලට සූර්ය බලශක්තිය ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හාමුදුරුවෝ ද යෝජනා කළහ. ථෙරවාදී බුදුදහම අදටත් නොනැසී පවතින මෙරට විහාරස්ථාන ආලෝකවත් කිරීමේ මහා පින්කමට සම්මාදම් වන ලෙසට ලෝකය පුරා වැඩසිටින බෞද්ධ භික්‍ෂූන්වහන්සේට සහ බෞද්ධ ගිහි පින්වතුන්ට උන්වහන්සේ අරාධනා කළහ.

“අපේ රටේ පැවැති සෑම ආණ්ඩුවක්ම රජයේ වියදමින් අලාභ විඳගෙන ආගමික සිද්ධාස්ථානවලට විදුලිය ලබා දුන්නා. විදුලිය සඳහා වියදමක් නොයන නිසා ඇතැම් විහාරස්ථාන, කෝවිල්, පල්ලිවල කිසිදු අරපරිස්සමකින් තොරව විදුලිය පාවිච්චි කරපු හැටි මම දැකලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ආගමික සිද්ධාස්ථානවලට ආණ්ඩුවේ වියදමින් සෝලා පැනල් සවි කරලා බලශක්තිය ලබාදීමට කටයුතු කළා නම් දහවල් කාලයට වැය වන විදුලිය හෝ ඉතිරි කරගන්න පුළුවන් කියලා. ඒ වගේම විදුලි බලය සඳහා මාසිකව වියදම් කරන මුදලෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගෙන රටේ විදුලි අර්බුදයටත් යම් සහනයක් ලබාදෙන්න පුළුවන් වෙනවා. ඒත් අදාළ බලධාරීන් සහ නිලධාරීන් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බවක් පෙන්නෙ නෑ. නගරබද විහාරස්ථානවලට නම් ධනවත් දායකයො ඉන්නවා. ඒ දායකයන්ව දැනුවත් කළොත් විහාරස්ථානයට අවශ්‍ය සෝලා පැනල් අරගෙන දෙන බව මාගේ විශ්වාසයයි. ආගමික සිද්ධාස්ථානයකට ආලෝකය ලබාදෙනවා කියන්නෙ විශාල පින්කමක්. පින්කමේ ආදීනව තේරුම් කර දීලා දායකයන්ව උනන්දු කර එම කටයුත්තට ප්‍රමුඛත්වය ලබාදීමට එකී විහාරස්ථානවල විහාරාධිපති වහන්සේ කටයුතු කරන්න ඕනෑ. මෙවැනි පින්කම්වලට සම්බන්ධ වෙන්න කැමැති අය පිටරටවලත් ඉන්නවා. අපිටත් යම් ප්‍රමාණයක දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. ලෝකය පුරා මෙරට ස්වාමීන්වහන්සේ 500 නමක් පමණ වැඩ සිටිනවා. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා පන්සල් සීයයකට වැඩිය තියෙනවා. එම පන්සල් සීයට වගේම ලෝකය පුරා ශ්‍රී ලංකා විහාරස්ථානවල වැඩසිටින ස්වාමින්වහන්සේට දායකයො ඉන්නවා. ඒ නිසා උන්වහන්සේලාගෙන් මේ කටයුත්තට විශාල දායකත්වයක් ලබාගන්න පුළුවන්. දැැනටමත් ලොස්ඇන්ජලීස් අපේ පන්සලේ කලබුළුලන්දේ ධම්මජෝති හාමුදුරුවො මූලික වෙලා උතුරු, නැගෙනහිර මායිම් ගම්මානවල පන්සල් කිහිපයක විදුලි බිල මාසිකව ගෙවාගෙන යනවා. ඉදිරියේදී ඒ විහාරස්ථානවලට සෝලා පැනල් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපි ජීවත් වෙන ඇමෙරිකාවේ ඉතාම සාර්ථක විදිහට සූර්ය බලශක්තිය නිපදවනවා. සුළං
බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කරනවා. අපේ රටට මොනතරම් සූර්ය ආලෝකයක් වැටෙනවද? හොඳට සුළං හමනවා. ඒත් අපේ නිලධාරීන් කතා කරන්නෙ තාප බලාගාර, ඉන්ධන බලාගාර ගැන විතරයි…” ඇමෙරිකාවේ සිට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් අදහස් ඉදිරිපත් කළ වල්පොල පියනන්ද හාමුදුරුවෝ ද නිහඬ වූහ.

මෙරට විදුලි බලය උත්පාදන කරන සාම්ප්‍රදායික බලශක්ති උත්පාදන ක්‍රමය ජල විදුලි බලාගාරයයි. එහෙත් මේ වනවිට මෙරටට වැඩිම විදුලි ධාරිතාවක් ලබාදෙනුයේ ගල් අඟුරු බලාගාරවලිනි. සූර්ය, සුළං විදුලි බලාගාර නව විදුලි උත්පාදන ක්‍රම දෙක ඔස්සේ සමස්ත විදුලි ධාරිතාවට උත්පාදනය කරන බලශක්ති ප්‍රමාණය 10% කි. එහෙත් එම විදුලි උත්පාදන ක්‍රම ලෝකයේ වේගයෙන් දියුණු වෙමින් පවතින බව වාර්තා වේ. අවුරුද්ද පුරා වැඩි කාලයක් හොඳින් සූර්ය ආලෝකය පවතින, සුළඟ හමන අපේ රටේ ද මේ විදුලි උත්පාදන ක්‍රම දෙක දියුණු කළ හැකිය. නව විදුලි බලාගාර ඉදිනොකර ගබඩා පහසුකම් දියුණු කිරීම තුළින් පමණක් විදුලි අර්බුදයට විසඳුම් සෙවිය හැකි බව විශේෂඥ මතයයි. එමෙන්ම මේ වනවිට ලෝකයේ වෙනත් රටවල සූර්ය පැනල තාක්‍ෂණය අතිශය දියුණු මට්ටමක පවතී. ලෝකයේ බැටරි තාක්‍ෂණය දියුණු වී ඇති බැවින් අතීතයට සාපේක්‍ෂව විදුලිය ගබඩා කිරීමේ පහසුකම් ද මෙරට තිබේ. එමෙන්ම විශාල බැටරි පද්ධති ස්ථාපනය කිරීමේ හැකියාව මෙරට තිබේ. අවශ්‍යව ඇත්තේ රජය විසින් අලුත් තාක්‍ෂණය රටේ ජනතාවට හඳුන්වාදීමය. තම නිවෙස් ආසන්නයේ බැටරි පද්ධතියක් තබාගැනීමට රජය විසින් අවසර ලබාදීම ය. එවැනි පසුබිමක විදුලි පරිභෝජනය අඩු අවස්ථාවල බැටරි පද්ධතිය හරහා ගබඩා කරගෙන, විදුලි පරිභෝජනය වැඩි වේලාවට පාවිච්චියට ගැනීමේ හැකියාව තිබේ.

මෙරට වැඩිම විදුලි පරිභෝජනයක් වාර්තා වනුයේ සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළය. එම ප්‍රමාණය 120% කි. රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා කාලය තුළ මෙරට විදුලි පරිභෝජනය 30% ක් වැනි අඩු ප්‍රමාණයක පවතී. බැටරි පද්ධතියක් භාවිත කරනවිට විදුලි පරිභෝජනය අඩු වේලාවට ගබඩා කරගෙන වැඩි වේලාවට පරිභෝජනයට ලබාගත හැකිය. එහෙත් විදුලි අර්බුදයට විසඳුම සූර්ය බලශක්තියයි සිතමින් මෙරට සියලුම නිවාසවල සූර්ය පැනල සවි කිරීම ද විසඳුමක් නොවේ. සූර්ය පැනලවලින් දහවලට ලැබෙන බලශක්තිය රාත්‍රී කාලයට නොලැබේ. සුළං බලාගාරවලින් ද වැඩි විදුලි උත්පාදනයක් ලබාදෙනුයේ මැයි සිට ජුනි දක්වා හොඳින් සුළිං හමන කාලය තුළ පමණි. එහෙයින් ජල, සූර්ය, සුළං තාප, ඉන්ධන බලශක්තිය මනා කළමනාකාරිත්වයකින් යුක්තව ගබඩා කරමින් බෙදාහැරීම තුළ රටේ පවතින විදුලි අර්බුදයට සාර්ථක විසඳුමක් ලැබෙන බව සැබෑය. එමෙන්ම මෙරට බලශක්තිය ප්‍රමාණවත් නොවීම නිසා කර්මාන්ත පවත්වාගෙන යෑමට විශාල තර්ජනයක් වී ඇති බව ද වාර්තා වේ. රටේ පවතින බලශක්තිය ප්‍රමාණවත් නොවීම නිසා පිටරට ආයෝජකයන් මෙරට ආයෝජනය නොකිරීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ද සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හිටපු සභාපති කීර්ති වික්‍රමරත්න මහතා අප සමඟ පැවසුවේය.

“බලශක්ති ඉංජිනේරුවෙක් විදිහට පුනර්ජනනීය බලශක්තියේ තියෙන වටිනාකම මම අවබෝධ කරගෙන තියෙනවා. පුනර්ජනනීය බලශක්ති භාවිතය තුළ කාබන් ඩයයොක්සයිඩ් වායු විමෝචනය අඩු වෙලා පරිසර හානියත් අවම වෙනවා. මුළු ලෝකයම පුනර්ජනනීය බලශක්ති ක්‍රම උපායන්ට නොයන්න ගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා මේ ලෝකයම විනාශවීමට ඉඩ තිබෙනවා. ඒ සියලු කරුණු අවබෝධ කරගෙන සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ධුරය දරන කාලේ මගේ අදහස වෙලා තිබුණේ මුළු රටේම වහල්වල සෝලා පැනල් සවි කිරීමටයි. ‘සූර්ය බල සංග්‍රාමය’ හඳුන්වා දුන්නේ ඒ සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීමට. එම ව්‍යාපෘතිය යටතේ මෙරට ආගමික සිද්ධස්ථානවලට සෝලා පැනල නොමිලේ ලබා දුන්නා. ඒත් විවිධ බලපෑම් මත සූර්ය බල සංග්‍රාමය නතර වුණා. එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් විදිහට මේ වනවිට මෙරට විදුලි පද්ධතියට මෙගාවොට් 800 ක බලශක්තියක් සෝලා මගින් ලබාදෙනවා. දැන් හරි වැරැදි නිවැරැදි කරගෙන ආගමික සිද්ධස්ථාන, පාසල්, විශ්වවිද්‍යාල, රජයේ ගොඩනැඟිලිවලට සූර්ය පැනල භාවිතයෙන් විදුලිය ලබාදීමට වැඩපිළිවෙළක් ආරම්භ කරනවා නම් ඉතාම කාලෝචිතයි. සමස්ත විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතුරු කරගන්නත් පුළුවන්. එම ගොඩනැඟිලිවල විශාල වහළයක් තියෙන නිසා පහසුවෙන් සූර්ය පැනල සවිකරන්නත් පුළුවන්. ඒ වගේම සූර්ය බලශක්තිය භාවිතය වැඩි කිරීම තුළ තාප බලාගාරවලට දැවි තෙල් ආනයනය කිරීමට මෙරටින් එරටට ඇදී යන ඩොලර් විශාල වශයෙන් ඉතිරි වෙනවා. ඒ වගේම මෙරටට ගෙන්වන බොර තෙල්වලින් වැඩි ප්‍රමාණයක් යන්නෙ විදුලිය ජනනය කිරීමට. ඒ නිසා සූර්ය බලශක්තිය භාවිතය තුළ විශාල වශයෙන් රටට විදේශ විනිමය ඉතිරි වෙනවා. එහෙම නොවෙන්න විදුලි බිල වැඩිවීම පාලනය කරන්න බෑ. ඉදිරියට එන ලෝක යුද්ධ සමඟ තව, තවත් විදුලි බිල වැඩි වෙනවා. ඒ නිසා කඩිනමින් පුනර්ජනනීය බලශක්තියට යන්න ඕනෑ. සූර්ය බලශක්තිය ලබාගන්න යන මූලික වියදම වැඩියි කියලා බිල්ලෙක් මවලා තියෙනවා. ඒක බොරුවක්. රජය මැදිහත් වෙලා මේක කළොත් සාමාන්‍ය පවුලකටත්
දරාගැනීමට පුළුවන් ආකාරයට රුපියල් ලක්‍ෂ තුනක් වගෙ මුදලකින් සූර්ය බලශක්තිය ලබාදෙන්න පුළුවන්. ඒ වගේම අපි මැදිහත් වෙලා දැනට පන්සල් අටකට සෝලා පැනල දීලා තියෙනවා. මගේ එකම අරමුණ මේ රටේ සියලුම විහාරස්ථාන සූර්ය බලශක්තියෙන් ආලෝකවත් කිරීමයි. සම්බුද්ධ ශාසනය ආලෝකවත් කරන මේ මහා පින්කමට දායකවීමට කැමැති මෙරට වගේම ලොව පුරා සිටින පින්වත් බෞද්ධ ජනතාව මා සමඟ අත්වැල් බැඳගන්නා ලෙසට බැති සිතින් ආරාධනා කරනවා. බෞද්ධයන් විදිහට ඒක අපේ යුතුකමක්…” එවැනි වචන කන වැකීම ද සතුටකි.

හිරුගේ ආලෝකය, සුළඟ අපේ රටට කොපමණ ලැබුණ ද මෙරට විදුලිබල ඉංජිනේරු මහත්වරු සුළං බලයෙන් හෝ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කෙරෙන සැලසුම්වලට වැඩි කැමැත්තක් නැති බව පෙනේ. එමෙන්ම ඔවුන් දැඩි කැමැත්තක් දක්වනුයේ පෞද්ගලික බලාගාරවලින් වැඩි මිලට විදුලිය ලබාගැනීමට බවද වාර්තා වේ. මෙරට විදුලිබලය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා නිලධාරීන් සහ බලධාරීන් රටක්, ජාතියක් ගැන නොහිතන කොමිස් මත යැපෙන කම්බ හොරු නම්, අදාළ වෘත්තීය සමිති ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට රටේ විදුලි බලය මෙවලමක් කරගෙන සිටින්නේ නම් ජනාධිපතිවරයා විසින් මේ අර්බුදය සම්බන්ධයෙන් සෘජු තීන්දු තීරණ ගත යුතුය. ලෝකයේ වේගයෙන් දියුණු වූ රටවල් අතර විශේෂයෙන්ම ඩුබායි,

සිංගප්පූරුව වැනි රටවල නිලධාරීන්, මැති ඇමැතිවරු ගහන පදවලට ඒ රටවල පාලකයන් නැටුවේ නැත. කොන්ද කෙළින් තබාගෙන අනාගතය ගැන සිතා සෘජු තීන්දු තීරණ මත සංවර්ධන කටයුතු සිදු කළ බැවින් එම රටවල් දියුණුවේ හිණිපෙත්තට ගියහ. මේ වන විට දැඩි පාලනයක් සහිතව ඉදිරියට යන බංගලාදේශය අපේ රටටත් ණය දීමට හැකි පරිදි ආර්ථිකමය වශයෙන් දියුණු වී තිබේ. එහෙයින් මෙරටට ඇවැසි නිලධාරීන් පාලනය කරන රටක් නොවේ. ජනාධිපති පාලනය කරන රටකි. නොතේරෙන මිනිසුන්ට තේරේන භාෂාවෙන්ම අපි කීවෙමු. තේරුම් ගැනීම ඔවුන්ගේ බුද්ධියේ තරමය…

තරංග රත්නවීර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment