පාසල් යන කාලේ අපිත් පිට්ටනි වටේ හිටගෙන උද්යෝග පාඨ කියමින් අපේ පාසල් ක්‍රීඩකයන් උනන්දු කෙරෙව්වා මතකයි. ‘ඇර ඕකට ඇර ලණුව උඩින් ඇර’, ‘ගිය පාරත් දුන්න බැටේ මේ පාරත් දෙනව බැටේ’…, ‘අපි ගෙදර යන්නෙ නෑ නෑ… ගෙදර යන්නෙ නෑ…’ ඒ අපි එදා කිව්ව උද්යෝග පාඨ කිහිපයක්. අපේ ඒවාට වඩා වෙනස් පර්සිගේ උද්යෝග පාඨ. විදේශික ක්‍රීඩකයන්ටත් ප්‍රේක්‍ෂකයන්ටත් තේරෙන්න ඕන නිසා පර්සි ඒවා කිව්වේ ඉංග්‍රීසියෙන්. ඒවායේ ළයානුසාරී රිද්මයකුත් තිබීම විශේෂිතයි.

මට පර්සි මුලින්ම මුණ ගැසුනේ, කිරුළපන පළමු පටු මගේ මා ජීවත් වූ 1975 අවදියේ දීය. මගේ නිවස යාබදව පර්සිගේ අක්කා, දිවංගත ශ්‍රීමති විජේගුණසේකර පදිංචිව සිටියේ. ඇයත් මගේ බිරිඳත් මියුසියස් විදුහලේ ගුරුවරියන් වූ නිසා සැමදාම උදේත් දවලුත් පාසලට ගියේ ආවේ එකටය. 1975 දී ශ්‍රීමතිගේ නිවසේදී මට පර්සි මුණගැසෙන විට ඔහු මට වඩා වැඩිමහල් වුණත් හිටියේ නාඹර තරුණ වියේ කොලු විසේ සහිත අයකු ලෙසය. ඒ දැන හැඳුනුම්කම නොනෑ සබඳකමක් ලෙස පර්සි මිය යන තුරු අප අතර තිබුණි.

මා සජීව ක්‍රිකට් විස්තර ප්‍රචාරයක් කරද්දී ප්‍රථම වරට පර්සි ජාතික ධජය අතැතිව පිටියේ හතරේ සීමාව ඉදිරියේ කැපී පෙනෙන ලෙස Rhyme පාඨ කියනවා දුටුවේ. 1981 කිම් හියුස් නායක්තවය දුන් ඔස්ට්‍රේලියානු එක්දින පිල හා ලංකා පිල එස්එස්සී පිටියේ ක්‍රීඩා කළ දෙවැනි එක්දින තරගයේදීය. එය මා රසකර ගුවන් විදුලි අසන්නන්ට කී අයුරු අදටත් සිහිපත් කරන්න පුළුවන්. ලංකා පිලට නායකත්වය දුන් දිවංගත බන්ධුල වර්ණපුර එදා අලංකාර පිතිහරඹයක් පාමින් ශතකයක් ලබාදීමත්, ලංකා පිලට ප්‍රබල ඔස්ට්‍රේලියානු පිල පරාජය කරන්නට හැකිවීමත් පර්සිගේ

තනි පුද්ගල උනන්දුවා

උද්‍යෝගීමත් ජවය වැඩි කිරීමට හේතු වන්නට ඇත. ඊට පසු 1982 පෙබරවාරි 15 වැනිදා ඇරඹි ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් තරගයේදී මා පර්සිව දුටුවේ හතරේ ලණුවෙන් ඇතුළ පිටියට දිව ගොස් දැවී ක්‍රීඩාගාරය වෙත ගමන් කරන පිතිකරුවන්ට අපගේ ජාතික ධජයේ සෙවන ලබාදෙමින් කැටුව එන ආකාරයයි. එවර මා රූපවාහිනී සජීවී විස්තර ප්‍රකාශය ගෙන එමින් සිටි බැවින් පර්සිගේ මෙම ක්‍රියාදාමය නිතර නිතර රූපවාහිනි කැමරාවලට හසුකර දීමටත් පසුබට නොවිමි. ඉන්පසු පර්සිගේ මෙම ක්‍රියාවලිය මගේ විස්තර ප්‍රකාශවල නිරතුරුවම ඇසෙන්නට ඇති. මගේ දෙවැනි කෘතිය වූ 2015 දී ප්‍රකාශයට පත් ‘අමරණීය ක්‍රිකට් අන්දර’ කෘතියෙහි පරිච්ඡේද දෙකක් පර්සි වෙනුවෙන් වෙන්කොට ඒ පුරා මා ලිව්වේ පර්සිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටත් එය ජනගත කිරීමටත් සිදුවූ මිල කළ නොහැකි සේවය පිළිබඳවය. නවසීලන්ත ක්‍රිකට් පිතිකරු මාර්ටින් ක්‍රෝ ද ඔහු ලියූ පොතෙහි එක් පරිච්ඡේදයක් පර්සි වෙනුවෙන් වෙන්කර තිබුණා.

දැඩි වෛද්‍ය උපදෙස් මා වෙත දන්වා තිබුණද එය නොතකා ඊයේ රාත්‍රියේදී මහ වැසි මැද මාත් මගේ බිරිඳත් බොරැල්ලේ ජයරත්න රෙස්ට් පෙක්ට් අවමංගල්‍යගාරයට ගොස් මගෙන් සමුගෙන යන මගේ අතිජාත මිතුරෙකු වූ පර්සි අබේසේකරයන්ට හිසනමා වැඳ ආජාර කොට සමුදුන්නා. එවිට පර්සිගේ පුත් සම්පත් දියණිය හා ශ්‍රීමති අක්කාගේ ස්වාමි පුරුෂයාණන් යළි යළිත් මට සිහිපත් කර දුන්නේ පර්සි හා මගේ මිතුරුදමේ වූ රසතැන්ය. මගේ අමරණීය ක්‍රික්‍රට් අන්දර කෘතියේ පර්සි අරඹයා ලියා ඇති දෙවැනි පරිච්ඡේද කිහිපයක් යළි සිහිපත් කරමි.

පහත මෙම සංවාද ඡේද මා විසින් වරෙක ගුවන් විදුලි නාලිකාවකට මා පැවැත් වූ ……

පාලිත: පර්සි, ඔබේ Rhyme පාඨ ඉංග්‍රීසියෙන් කියද්දී ඒවායේ කිසියම් රිද්මයානුකූල ගතියක් ඍයහපැ වෙන ගතියක් තියෙනවා. එක සමාන පද ඔබ පාවිච්චි කරනවා. මේක ඉතාමත් අලංකාර ඉංග්‍රීසි බසින් කියන කොටයි.

පර්සි: එස්.එස්.සී. එකේදී ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරගයක් තිබුණා. ඔස්ට්‍රේලියාවට ගැහැව්වා ඩේවිඩ් බූන් කියල පිතිකරුවෙක්. හරි සැරයි. ගොරෝසු රැවුලක් තියෙනවා. අපේ සංගක්කාරලා වගේ නෙවෙයි. එයා බැට් කරන්න යනකොට මං කිව්වා එය ළඟටම ගිහිල්ලා ‘David Boon, you Tasmanin Goon Come back soon – Befornoon…’ බැට් කරන්න යනකොට උදේ 11.00 ට විතර ඇති. (සිනාසෙයි) එයා තුන්වැනි බෝලෙට අවුට් වුණා. මිනිහා යකෙක් වගේ එනවා කෙළ ගහ ගහා… ඒ කෙළ ගහන්නේ මට. ඔස්ට්‍රේලියන්කාරයෝ මට කිව්වා ‘පර්සි, උඹ ළඟට යන්න එපා, ළඟට ගියොත් උඹව මරයි’ කියලා. මං කිව්වා මං බය වෙන්නේ නෑ. මං දකුණේ කොල්ලෙක්. දකුණේ කොල්ලෝ ඔය බූන්ලාටයි මූන්ලාටයි බයවෙන්නෙ නෑ මං යනවා කියලා. මං ඉතින් බූන් ළඟට යාර පහක් විතර ළඟට ගිහින් කිව්වා ‘David Boon-you came back soonbefore noon- bad luck- better luck next time…’ කියලා. එතකොට මිනිහා ‘you f…’ කියලා බැට් එක උස්සගෙන ආවා මට ගහන්න. මං දිව්වා. මගේ ලක් එකට එයා වැටුණා. වැටුණේ නැත්නම් මට ගහනවා. ඉතින් ඊට පස්සේ මං ඔස්ට්‍රේලියාවේ හෝබාට්වලට ගියාට පස්සේ ඩේවිඩ් බූන් ඉන්නවා හෝබාට් ක්‍රිකට් සම්මේලනයේ සභාපති හැටියට. මං හෙමින් සැරේ පස්සෙන් ගිහිල්ලා මිනිහාව පස්සෙන් බදාගෙන මං කිව්වා ‘David Boon- come back soon- before noon…’ කියලා. මිනිහ එක පාරට හැරිලා බැලුවා. Still you can remember me. I can remember me. how I came to hit you and I fell…

තනි පුද්ගල උනන්දුවා

පාලිත: ඇයි සිංහකොඩියක් අතට ගත්තේ?

පර්සි: සිංහකොඩිය අතට ගත්තේ වෙන කොඩියක් ගත්තාම මට තේරුණා මේකේ ගැම්මක් නෑ කියලා. අර ඇතාට හෙණ්ඩුව පාවිච්චි කරනවා වගේ මං දැනගත්තා ඔය ක්‍රිකට්වල ඉන්න ඇත්තු මේ සිංහ කොඩිය වන හෙණ්ඩුවෙන් මට මට්ටු කරන්න පුළුවන් වෙයි කියලා.

පාලිත: පර්සි ඔබ පිටිය වටේ ඔහොම දුවන්න ගිහිල්ලා අමාරුවෙත් වැටුණා නේද?

පර්සි: ඔව්. එංගලන්තයේ සුදු අය ඉන්න පැතිවල ඒ අය මට කිව්වා මං කෑ ගහනකොට ‘මේක එංගලන්තේ’ කියලා. මං කිව්වා ‘මේක එංගලන්තේ වෙන්න පුළුවන්. මට ඔල්වරසන් දෙන්න බැරිනම් මට එංගලන්තේ තියා කොහේ හිටියත් මට වැඩක් නෑ…’ කියල කිව්වාම එයාල මවිතයට පත්වුණා. මං සිංහකොඩියගෙනියනකොට Keeth Whitehouse කියල Director කෙනෙක් මට කිව්වා… ‘පර්සි ඔබ කරන දේවල්වලට අපි හරි ආදරෙයි. කවුරු හරි ඔය විදිහට කරනව දැකල නෑ. ඔය කොඩිය මගේ පිටේ ගහන්න’ කීවා. මං කීවා ‘ඔබේ පිරිස ඔබටයි මටයි බනීවි’ කියලා. එයා ‘නෑ… නෑ…’ කියල කොඩිය පිටේ ගහගෙන වටේ ගියා. මං එයාට සිංහ කොඩිය තෑගි කළා. ඊළඟ සැරේ මං එංගලන්තයට ගිය වෙලේ මං එයාගේ ගෙදරට ගියා. එවෙලේ දැක්කා එයාගේ ගෙදර බිත්තියේ ඉස්සරහම ගහල තිබුණා මං එයාට තෑගි කළ අර සිංහ කොඩිය.

ශ්‍රී ලංකාවට ආගන්තුක දෙයක් වුණාට Cheer Teams. ඒ කියන්නේ කණ්ඩායමක් උනන්දු කරවන පිරිස් ඇමෙරිකාවට නම් සුපුරුදු දෙයක්. රූමත් තරුණියන්ගෙන් සැඳුම් ලත් මේ කණ්ඩායම් විශේෂයෙන්ම ඇමෙරිකාවේ බාස්කට් බෝල්, පැසිපන්දු තරගවලට සහභාගී කරවා ගත්තේ ප්‍රේක්‍ෂක ආකර්ෂණය වගාකර ගැනීමේ පරමාර්ථයෙන්. මෙය අනුකරණය කරමින් ඉන්දියාවේ පැවැති IPL තරගාවලි සියල්ලටම විදෙස් රටවලින් හුරේ දමන කාන්තා කණ්ඩායම් ඉන්දියාවට ගෙන්වා ගත්තා. ඔවුන්ගේ අඩ නිරුවත් ඇඳුම්-පැළඳුම් ගැන ඉන්දියාවේ විරේධතාවන් ද පැණ නැඟුණා. ප්‍රථම IPL තරගාවලියෙන් පසුව මේ හුරේ දමන කාන්තා කණ්ඩායම් ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලියකටත් හඳුන්වා දුන් නමුත් එය එතරම්ම සාර්ථක වුණේ නෑ. කිසිම ප්‍රශ්නයක් නැතිව අවුරුදු 30, 40 කට එහා සිට අද දක්වා සාර්ථකව මේ උනන්දු කරවන වෙහෙසකාරී ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ ගෙනියන්නේ පර්සි අබේසේකරයි. තම මාතෘ භූමියේ ධජය අතේ අරන් සාඩම්බරයෙන් පිටිය වටේ දුවමින් සිය රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් උනන්දු කරවන තනි පුද්ගලයකු ලෝකයේ වෙන කොහේවත් ඇත්තේ නෑ. පර්සිගේ උද්යෝග ක්‍රමය වෙන කාටවත් කොපි කරන්න ලෙහෙසි පහසුත් නෑ. එය ශ්‍රී ලංකාවටම ආවේණික වූ සන්නිවේදන ක්‍රියාවලියක්.

පාලිත: පර්සි කරන මේ වැඩේ ලෝකේ වෙන කොහේවත් වෙන කවුරු හරි කරල තියෙනවද? ඔවුන්ගේ ජාතික ධජය අරගෙන පිට්ටනිය වටේ දුවන එක?

පර්සි: මෑත කාලයේදී කරල තියෙනවා. අර චාචා කියල පාකිස්තානයේ එක්කෙනෙක්. තව වෙස්ට් ඉන්ඩීස්වල ඉන්නවා වයසක එක්කෙනෙක්. ඔය චාචා කියන එක්කෙනා මට මතකයි අවුරුදු ගාණකට පෙර මං දැක්කා Gulf News වල.

පාලිත: ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් ලියූ පොත්වල ඔබ ගැන පරිච්ඡේද වෙන් කරලා තියෙනවා නේද?

පර්සි: ඔව්. ඇත්තටම නවසීලන්ත ක්‍රීඩක මාර්ටින් ක්‍රෝ, එයාගේ Man of the Match Awards දෙවරක්ම මට දුන්නා. එක සැරයක් ලංකාවේ තිබුණා ශ්‍රී ලංකාව පාකිස්තානය, නවසීලන්තය අතර තුන්කොන් තරගාවලියක්. පාකිස්තානය සමග තරගයේදීත් එයාල දින්න වෙලාවේ එයා Man of the Match Award එක මට දුන්නා. මං ඇහැව්වා ඇයි ඔබ මට මේක දෙන්නේ කියලා. එයා ඒකට ඉංග්‍රීසියෙන් කිව්වේ ‘For all the entertainment you gave us for your frinendship, fairness and you patriotism…’.

පාලිත: පර්සි ඇයි වෙන කොඩියක් අතට ගන්නේ නැතිව සිංහ කොඩියක් අතට ගත්තේ?

පර්සි: ඇත්ත වශයෙන්ම අවුරුදු 30 කට කලින් මං චියර් කළේ කොඩියක් නැතිව. හැබැයි මං දුක් වින්දා. මං පොලිස් කූඩුවෙත් හිටියා. පොලිසියෙන් ගුටි කෑවා.. වැටවල් වලින් කඩාගෙන පැනගෙන දිව්වා. නරඹන්නන්ගෙන් මට ‘හූ’ හඬත් හම්බ වුණා. (සිනාසෙයි) 1979 ට කලින් මං අවුරුදු 30 ක විතර කාලයක් කොඩිය නැතිවත්, 1979 ඉඳලා කොඩියයි බොඩියයි එක්කල ඔල්වරසන් දෙන්න පටන් ගත්තා.

ප්‍රවීණ මාධ්‍යවේදී ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් විචාරක
පාලිත පෙරේරා
පාලිත ලියූ අමරණීය
ක්‍රිකට් අන්දර කෘතියෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment