ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වරුවා වන තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වයට දෙමළ, හින්දු, දැඩි වෙල්ලාලවාදියෙකු වන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පත්වී ඇත. ගුරුවරයෙකු වූ ඔහු, පසුගිය මැතිවරණයෙන් එම පක්ෂයෙන් යාපනයේ ඉහළම මනාප සංඛ්‍යාව ලැබීය. ඔහු වෙතින් පරාජයට පත් වූවේ, දකුණට හුරු පුරුදු එම්. ඒ. සුමන්තිරන් ය.

සුමන්තිරන් ට වඩා, සිවඥානම් ශ්‍රීධරන් දකුණට ආගන්තුකය. දෙමළ භාෂාවෙන් පමණක් කතා කරන ඔහු, මහා වීර දිනය හා බැඳුණු දකුණේ මතකයකි. ඔහු ගේ රූපයවත් දකුණ දන්නේ නැත. නායකත්වයට පත්වීමෙන් පසුව රණවිරුවන් සිහි කරමින් වැඩ ආරම්භ කළ ශ්‍රීධරන්, කතා කරන්නේ දකුණට වහ කඳුරු වන ‘දෙමළ ප්‍රශ්න ගැන’ ය. ‘දෙමළ ජාතියේ පැවැත්ම වෙනුවෙන් අපගේ වගකීම හා යුතුකම තවදුරටත් ඉටු කරවා’ යැයි ඔහු ත්‍රිකුණාමලයේ දී පැවසීය.

පක්ෂයේ ලේකම් ධුරයට ත්‍රිකුණාමලයේ සම්මුගම් කුගදාසන් පත්වීමත් සමඟ ජනවාරි 27 දින රැස්වීම අවසන් වූයේ ද ගාලගෝට්ටියකිනි. පක්ෂ නායකත්වයට තරග කර පරාජයට පත් වූ සුමන්තිරන්, පක්ෂ ලේකම්වරයා ලෙස පත්වීමට දැරූ උත්සාහය ද පරාජයට විය. තමිල් අරසු කච්චි පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයන් 327 කි. ඔවුහු සියලු දෙනා උතුරු නැගෙනහිර පදිංචිකරුවෝ වෙති. පක්ෂයේ නායක සහ ලේකම් තනතුරු දෙක උතුර සහ නැගෙනහිර බෙදා ගැනීම සාමාන්‍ය ව්‍යවහාරය යි.

පක්ෂ නායකත්ව තරගය දින අපේක්ෂක සුමන්තිරන් පල්ලියට ද, දෙමළ වේට්ටියෙන් සැරසුණු ශ්‍රීධරන් ඇතුළු පිරිස කෝවිලට ද ගොස් රැස්වීමට පැමිණියහ. දෙදෙනා අතර ඡන්ද පරතරය 49 කි. මධ්‍යම සභාවේ ඡන්ද බෙදී ගොස් ඇත්තේ ක්‍රිස්තියානි – හින්දු සංයුතියට ආසන්නවම ය. දෙමළ ක්‍රිස්තියානි පරදා, දෙමළ හින්දු ජයගෙන ඇත. කුලය හා ආගම උතුරේ දෙමළ දේශපාලනයේ ද තීරණාත්මකම සාධකයයි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී, සුමන්තිරන්ට වඩා ඡන්ද ලබා ගැනීමට ශ්‍රීලනිපයේ අංගජන් රාමනාදන්, අහිල ඉලන්කෙයි තමිල් කොංග්‍රස් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා සමත් විය. දකුණේ අතිශයින් ප්‍රසිද්ධ හා ජනප්‍රිය උතුරේ නායකයාට උතුරු නැගෙනහිර සමාජය තුළ ඇත්තේ අඩු පිළිගැනීමක් බව ඒ අනුව පැහැදිලිය. දෙමළ ඩයස්පෝරාවට දැඩි සබඳතා පැවතුනේ සුමන්තිරන්ටය. නමුත්, නායක ඡන්දයේ දී ඩයසපෝරාව වැඩියෙන් උපකාර කළේ ද ශ්‍රීධරන්ට ය.

අනෙක් අතට, උතුරු නැගෙනහිර යනු යාපනය පමණක් නොවේ. කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, වව්නියාව කේන්ද්‍රගත කර සිය දේශපාලනක කටයුතු පුළුල් කිරීමටත්, කඳුකරයෙන් පලා ගොස් පදිංචි වූ ප්‍රජාව දිනාගැනීමටත් ගජේන්ද්‍ර පොන්නම්බලම් උත්සාහ දරයි.

ජනාධිපතිවරණයට සිදු කරන බලපෑම

2005 සිට 2019 දක්වා සෑම ජනාධිපතිවරණයකම එජාපය සහාය දැක්වූ ජනාධිපති අපේක්ෂකයා උතුරු නැගෙනහිර පළාත් ජයගෙන තිබේ. රනිල් සහ සරත් ෆොන්සේකා ජයගත්තේ ලක්ෂ දෙකට වැඩි ගණනකිනි. මෛත්‍රීපාල ඡන්ද මිලියනයක් ලැබූ, අතර වැඩි ඡන්ද හය ලක්ෂ පනස් දහසකින් ජයගත්තේය. ඡන්ද ලක්ෂ 11 ක් ලැබූ, සජිත් ට වැඩි ඡන්ද ලක්ෂ නමයකට ආසන්නව ලැබුණි.

2005 ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ හා මහින්ද රාජපක්ෂ සන්ධානය උතුරු නැගෙනහිරින් ඡන්ද 226,009 ක් ලබන විට, රනිල් ඡන්ද 444,230 ක් ලැබීය. අවසන් ප්‍රතිඑලය අනුව, ජවිපෙ හා එල්.ටී.ටී.ඊ. සහාය ලැබුණු මහින්ද ජයගත්තේ ඡන්ද 180,000 කිනි. කොළඹ වැල්ලවත්ත, කොටහේන ට පවා බලපෑ ඡන්ද වර්ජනය නොවන්නට රනිල්ට පහසුවෙන්ම ජනාධිපතිවරණය ජය ගත හැකිව තිබුණි.

2015 දී මෛත්‍රී උතුරෙන් ලක්ෂ හතරක් ද, නැගෙනහිරින් ලක්ෂ හයක් ද ලැබීය. 2005 මහින්ද ගේ ජයග්‍රහණය ස්ථිර කළ දිගාමුඩුල්ල, 2015 මහින්දගේ පරාජය ස්ථිර කළේය. 2019 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ වැඩිම රැස්වීම් ගණනකට ගියේ උතුරු නැගෙනහිර ය. සජිත් ගේ ඡන්ද ලක්ෂ 55 න් ලක්ෂ 11 ක් ම උතුරු නැගෙනහිරි නි.

එජාප මතවාදය සහිත කණ්ඩායමක් ජනාධිපතිවරණය ජය ගැනීමට නම් අනිවාර්යයෙන්ම උතුරු නැගෙනහිර විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජය ගත යුතුය. සජබ ට ඇත්තේ ද එම ඡන්ද පදනම ය.

උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතික සන්ධානයේ බලපෑමට නතු ඡන්ද ප්‍රමාණය ලක්ෂ පහමාරකි. 2005 දී එය මහින්ද රාජපක්ෂ + ජවිපෙ ට වාසි සහගත ලෙස ක්‍රියාකළේය. 2015 දී, එජාප + ජවිපෙ සන්ධානයට වාසි සහගත ක්‍රියා කළේය. දකුණේ සජිත් 25% කට සීමා වන විටත්, උතුරු නැගෙනහිරින් 65% ක් ලැබීය.

රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන උතුරු නැගෙනහිර නායකයන් සමඟ සෘජු ගෞරවනීය මිත්‍රත්වයන් නඩත්තු කළේය. මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ උතුරේ සංචාර සමාජ මාධ්‍ය ඕපාදූප බවට පත් වූවේ ද මේ සමාජ සම්බන්ධතාව නිසාය. ජාත්‍යන්තර සංවිධාන, බලපෑම් කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන අදහස මතය උතුරේ ඡන්ද පෙට්ටියෙන්, එක පොදියක් ලෙස එළියට ආවේ ද ඒ නිසාය. සරලවම, උතුරු නැගෙනහිර ඡන්ද ගෙඩිය පිටින් එජාප මතවාදී කඳවුරට ලැබුණේය. අනෙක් අතට, 2018 පළාත් පාලන ඡන්දයේ දී ශ්‍රීලනිප උතුරු නැගෙනහිර සැලකිය යුතු නියෝජනයක් ලබා ගැනීමට ද සමත් වූයේ මේ නිසාමය.

කොළඹ සමාජයේ, දකුණේ සමාජයේ, තානාපති සමාජයේ, සිවිල් සමාජයේ බලපෑමෙන් (සාපේක්ෂව) වියුක්ත ශ්‍රීධරන් ගේ නායකත්වය 2024 ජනාධිපතිවරණයේ දී, පෙර පැවති ජනාධිපතිවරණ තුනේ හැසිරීමට වෙනස් හැසිරීමක් දක්වන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය! සරලවම උතුරු නැගෙනහිර ඡන්ද එක මිටට, එක පොකුරට කිසිදු අපේක්ෂකයෙකුට නොලැබෙන්නේය.

සිවඥානම් – මාවෙයි සේනාධිරාජා ප්‍රමුඛ පරම්පරාවේ සාම්ප්‍රදායික ෆෙඩරල්වාදී මතවාදය ද, සුමන්තිරන් – රාසමානික්කම් ප්‍රමුඛ නව ලිබරල් (ජාතිකවාදී) මතවාදය ද තමිල් අරසු කච්චි පක්ෂයේ අභ්‍යන්තර බල කේන්ද්‍රය තුළ පරාජය වී ඇත. දැන් උතුරු නැගෙනහිර ඡන්ද එක පොදියට දකුණේ අපේක්ෂකයෙකු වෙනුවෙන් ගොනු කරනු වෙනුවට, කඳවුරු හතරකට බෙදීයා හැකිය.

දැඩි දෙමළ ජාතිකවාදී මතය නියෝජනය කරන, ශ්‍රීධරන් විපක්ෂය සමඟ සමගියෙන් නොව කේවල් න්‍යයයෙන් කටයුතු කරන්නෙකි. පාර්ලිමේන්තුවේ වැඩිම වේලාවක් දෙමළ භාෂාවෙන්ම කතා කරන්නෙකි. ආර්ථික, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවට වඩා ‘දෙමළ බවේ දේශපාලනය’ ගැන සංවේදී නායකයෙකි. දැඩි හින්දු, වෙල්ලාලවාදි, හිටපු ගුරුවරයෙකි. ඔහුට වඩා දෙමළ බවේ නියෝජිතයා බවට පත්වීමට ගජේන්ද්‍ර හා විග්නේෂ්වරන් අතර තරගයකි.

මේ තරගයේ අවසානය, දෙමළ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිත්වීම විය හැකිය.

නැතිනම්, දකුණේ අපේක්ෂකයෙකුට අනියම් වාසියක් ලැබෙන ලෙස ඡන්ද වර්ජනයක් සිදු විය හැකිය.

2005 සිට 2019 දක්වාම සාම්ප්‍රදායික එජාපය උතුරු නැගෙනහිර ඡන්ද කුට්ටිය ගැන වැඩි බරක් තැබුවේය. උතුරු නැගෙනහිරට දිගින් දිගට නෑ ගමන් යමින් රනිල් වික්‍රමසිංහ එය නඩත්තු කරමින් සිටී. සජබ එයට වෙනස් ප්‍රවේශයක් ගනිමින් නාලක ගොඩහේවා, චන්න ජයසුමන වැනි සිංහල මතවාදී නායකයන් ද, දයා රත්නායක වැනි හමුදා නායකයන් ද තම පිලට එක් කර ගැනීමට උත්සාහ දරයි. සජබ හා ජවිපෙ දකුණේ සිංහල ජාතිකවාදී ඡන්ද ගොඩට කෙරෙහි වැඩි අයෝජන ලැදියාවක් දක්වමින් ඇත.

උතුර පහට නැගෙනහිර අටට බෙදීම

අනෙක් අතට, උතුරු පළාත දැන් පැහැදිලි දෙමළ කඳවුරු පහකට බෙදී ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානය, ගජේන්ද්‍ර පොන්නම්බලම්, ඩග්ලස් දේවානන්දා, විග්නේෂ්වරන් හා අංගජන් එම කඳවුරු 5 යි. නැගෙනහිර ද ත්‍රිකුණාමල මුස්ලිම්, කල්මුණේ මුස්ලිම්, අක්කරේපත්තු මුස්ලිම්, සයින්දමරදු මුස්ලිම් වශයෙන් ද, දෙමළ කඳවුරු 3 කට ද බෙදී ඇත.

2024 ජනාධිපතිවරණය උතුරු නැගෙනහිර ඡන්ද කොටස් 13 කට පමණ බෙදී ඇත. කවුරුන් කාට ජනාධිපතිවරණයේ දී එකතුවන්නේ දැයි කිව නොහැකිව ඇත. ලංකා ඉතිහාසයේ සංකීර්ණතම ජනාධිපතිවරණය බවට පත් වීමේ කසකාරයන් වන්නේය. 2005 (රනිල්), 2010 (ෆොන්සේකා), 2015 (මෛත්‍රී) හා 2019 (සජිත්) වැටුණු ලෙස උතුරු නැගෙනහිර ඡන්ද එක මිටට කිසිදු අපේක්ෂකයෙකුට නෙළාගත නොහැකි බව ස්ථීරය! බෙදී යන බව ස්ථීරය!!

රජිත් කීර්ති තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment