‘අසල්වැසියා ප්‍රථමයෙන්’ – ඉන්දීය – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්වය..

321

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව බෝට්ටු සේවය ආරම්භ වූ අයුරු.

ඉන්දියාව අපගේ ආසන්නතම අසල්වැසියා ය. පුද්ගලයන් වශයෙන් ගත්ත ද සෙසු සියල්ලටම ප්‍රථම අපේ කරදරයක දී හෝ උදව් අවශ්‍ය මොහොතක දී අපට ඉතා ඉක්මනින් පිහිට විය හැක්කේ ආසන්නතම අසල්වැසියන්ටය. මේ අනුව රටක් වශයෙන් අපට සිටින ආසන්නතම අසල්වැසියා වන ඉන්දියාව අපට ඉතාමත් වැදගත්ම රටකි. අපේ රටේ වැඩි දෙනෙක් අදහන බුදුදහම අපට ලැබී ඇත්තේ ද භාරත දේශයෙනි. ඒ අතින් ද අපේ රටේ බහුතර වැසියන් තුළ ඉන්දියාව සමග විශාල සම්බන්ධයක් තිබේ. ඉන්දියාව ද ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඒ ප්‍රතිපත්තියට අනුව ඉන්දියාව නොයෙක්වර අපට පිහිට වී ඇත. ගිය වසරේ (2022) අප මුහුණ දුන් උග්‍ර විදේශ විනිමය අර්බුදය හමුවේ අපට ඉන්දීය ණය පහසුකම් ලබා දෙමින් ඉන්දියාව උදව් කළ බව ද අපට මතකය. මේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ඉන්දීය ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාව සෑම විටම වැදගත් ස්ථානයක පසුවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද පවසා ඇත. ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය සහ ‘සාගර’ දැක්ම යන දෙකෙහිම ශ්‍රී ලංකාව ද වැදගත් ස්ථානයක් ගන්නා බවත් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතා සහ සංවර්ධනය එකිනෙකට බැඳී පවතින බවට විශ්වාස කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදී මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ඉන්දීය සංචාරයේ දී අදහස් දක්වමින් සඳහන් කර ඇත. මේ පසුබිම තුළ මේ ලිපියෙන් අපගේ අවධානය යොමු කරන්නේ මෑත දී ආරම්හ වූ ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය සහ ඉන්දියාවේ විදේශ ඇමැතිවරයාගේ පසුගිය ශ්‍රී ලංකා සංචාරය ගැන කරුණු සාකච්ඡා කිරීමටය.

ඉන්දීය – ශ්‍රී ලංකා බෝට්ටු සේවය

‘අසල්වැසියා ප්‍රථමයෙන්’ - ඉන්දීය - ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්වය..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය ආසන්නයේ පිහිටි කන්කසන්තුරය අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් පසුගිය ඔක්තෝබර් 14 වැනිදා ඇරඹිණි. එහෙත් අතීතයේ බෝට්ටු මගින් මගී ප්‍රවාහනය සිදුව ඇත. මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි මෙවැනි මගී යාත්‍රා සේවාවක් මෙසේ ආරම්භ වූයේ දශක හතරකට ආසන්න කාලයකට පසුය. මෙම බෝට්ටු සේවාව නාගපට්ටිනම් හිදි ඉන්දියාවේ වරාය, නාවික කටයුතු සහ ජල මාර්ග අමාත්‍ය ශ්‍රී සර්බානන්ද සොනෝවාල් මහතා විසින් එම වරායේ සිට ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා විසින් මාර්ගගතව අන්තර්ජාලය ඔස්සේ ද ආරම්භ කරනු ලැබිණි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාව ඇමතූ අතර වරාය, නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට එක් විය.

මෙය එක්තරා ආකාරයක අධිවේගී සුපිරි බෝට්ටු සේවයකි.මෙම අධිවේගී බෝට්ටු සේවාව ක්‍රියාත්මක කරනු ලබන ලබන්නේ ඉන්දියාවේ නාවික සංස්ථාව මගිනි. මෙම බෝට්ටු සේවාවෙන් වරකට පුද්ගලයන් 150 දෙනෙකුට ගමන් කළ හැකිය. ඉන්දියාවේ නැව් සංස්ථාව ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම සඳහා පෞද්ගලික ආයතනයකට සම්බන්ධ වී ඇත. කලින් සඳහන් කළ පරිදි මගීන් 150 දෙනෙකුට ගමන් කළ හැකි මෙම යාත්‍රාව පෙරවරු 7.00 ට ඉන්දියාවේ නාගපට්ටිනම් සිට ආරම්භ වී පෙරවරු 11.00 ට ලංකාවේ කන්කසන්තුරය වෙත ළඟා වන අතර, ආපසු ගමන පස්වරු 1.30 ට ආරම්භ වේ. එය නැවත පස්වරු 5.30ට නාගපට්ටිනම් වෙත ළඟා වේ.

ප්‍රථම බෝට්ටු ගමන

පසුගිය ඔක්තෝබර් 14 වැනිදා ඇරඹිණු තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ ලංකාවේ කන්කසන්තුරය අතර නාවික සැතපුම් 60ක් පමණ වන ප්‍රථම ගමන සඳහා පැය හතරක් පමණ ගත විය. මෙම ප්‍රථම බෝට්ටුවෙන් කන්කසන්තුරයට පැමිණි පිරිස ශ්‍රී ලංකාවේ වරාය, නාවික කටයුතු සහ ගුවන්සේවා අමාත්‍යවරයා සහ යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජෙනරාල්වරයා විසින් පිළිගන්නා ලද අතර එම දෙපළ විසින් කන්කසන්තුරය සිට නාගපට්ටිනම් දක්වා යන පිරිසට ද සිය සුබපැතුම් ද පිළිගැන්වීය. එසේම ඉන්දීය වරාය, නාවික සහ ජල මාර්ග පිළිබඳ මධ්‍යම ඇමැති සර්බානන්ද සොනොවාල් සහ තමිල්නාඩු ප්‍රසිද්ධ වැඩ, මහාමාර්ග සහ කුඩා වරාය පිළිබඳ ඇමැති ඊ.වී. වේලු විසින් නාගපට්ටිනම් වරායේ සිට යාත්‍රාවේ ගමන් ආරම්භය සඳහා විධානය ලබා දී තිබේ. චෙරියපානි නම් මෙම අධිවේගී යාත්‍රාව, කපිතාන් බිජු ජෝර්ජ්ගේ ප්‍රධානත්වයෙන් මගීන් 50 ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනකු සමඟ නාගපට්ටිනම් වරායෙන් එදින පෙරවරු 8.15ට පමණ එහි ගමන ආරම්භ කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශය

මෙම සුවිශේෂී අවස්ථාව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් 2023 ජූලි මාසයේ සිදු කරන ලද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරීත්වය සඳහා ඒකාබද්ධව සම්මත කරගත් දැක්ම ප්‍රකාශය සිහිපත් කළේය. මෙම දැක්මේ කේන්ද්‍රීය තේමාව වන්නේ (දෙරට අතර) සම්බන්ධතාවයි. මේ සම්බන්ධතාව දෙරට සහ දෙරටෙහි ජනතාව වඩාත් සමීප කරන බව ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කළේය. 2023 සැප්තැම්බර් මස ඉන්දියාවේදී පැවැති G 20 සමුළුව අතරතුර ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියා – මැද පෙරදිග – යුරෝපා ආර්ථික කොරිඩෝව ද සිහිපත් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සම්බන්ධතා කොරිඩෝව මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බහුවිධ සම්බන්ධතාව තවත් සවිමත් වන බව සහ එමගින් ශ්‍රී ලාංකික ජනතාවට සෙත සැලසෙන බව සඳහන් කළේය. UPI සහ ලංකා පේ (Lanka Pay) සේවාවන් සම්බන්ධ කරමින් මූල්‍ය තාක්ෂණ සේවා සම්බන්තාව ඉහළ නැංවීමට ද බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා බලශක්ති ජාලයන් සම්බන්ධ කිරීමට ද දෙරටෙහිම රජයන් කටයුතු කරමින් සිටින බව ද මෝදි අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය. රාමේෂ්වරම් – තලෙයිමන්නාරම අතර සාම්ප්‍රදායික මාර්ගය විවෘත කරමින් එම ස්ථාන දෙක අතර බෝට්ටු සේවා යළි ඇරඹීමට ද ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රජයන් කටයුතු කරන බව ඉන්දීය අගමැතිවරයා සඳහන් කළ තවත් කරුණකි.

මෙම අවස්ථාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරට ජනතාව අතර බැඳීම් ශක්තිමත් කිරීමට ඉන්දියාවේ නාගපට්ටිනම් සහ කන්කසන්තුරය අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව විසින් ඉටු කරන වැදගත් භූමිකාව අවධාරණය කළ අතර මෙම සේවාව ආරම්භ කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට සහ ඉන්දියාවේ නාවික සංස්ථාවට සිය ස්තුතිය පළ කළේය. එමෙන්ම මෙම අවස්ථාව අමතමින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කළේ මේ බෝට්ටු සේවාව ආරම්භ කිරීම මගින් ඉන්දීය රජයේ ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්තීන් යළි තහවුරු කරන බවයි. ඉන්දීය රජයේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියේ මූලික අවධානය යොමු වන්නේ සම්බන්ධතාවයට, සහයෝගීතාවයට සහ සබඳතාවන්ට වන අතර අනාගතයේ දී විදුලිබල ජාල සම්බන්ධතාවය, තෙල් නලය සහ ආර්ථික කොරිඩෝවක් ස්ථාපිත කිරීම වැනි දේ හරහා ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා තවදුරටත් ඉහළ නැංවෙනු ඇති බව ද ඔහු කියා සිටියේය. ගුවන් සහ සාගර සම්බන්ධතාව ස්ථාපිත කිරීම, සුමට වීසා ක්‍රියාවලිය සහ සංචාරක සබඳතා ශක්තිමත් කිරීම සාමාන්‍ය මහජනතාවගේ ජීවිත වඩා පහසු කරනු ඇතැයි ද ජයිශංකර් මහතා තවදුරටත් පැවසීය.

ඉන්දියාවේ වරාය, නාවික සහ ජලමාර්ග අමාත්‍ය ශ්‍රී සරබානන්ද සොනෝවාල් මහතා මෙම බෝට්ටු සේවාව ආරම්භ කිරීම ඓතිහාසික පියවරක් බව සඳහන් කළ අතර එය දෙරටෙහි ජනතාවට කාර්යක්ෂම සහ අඩු පිරිවැය ප්‍රවාහන ක්‍රමයක් වනු ඇති බව සඳහන් කළේය. මේ අතර මෙම අවස්ථාව අමතමින් ශ්‍රී ලංකාවේ වරාය, නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ප්‍රතිලාභ රැසක් ගෙනදෙන කන්කසන්තුරය වරාය නවීකරණය කිරීම සඳහා ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කරන බවයි.

ආචාර්ය එස්. ජයිශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ මේ වසරේ ( 2023) දෙවන ශ්‍රී ලංකා සංචාරය පසුගියදා සිදු කළේ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) රැස්වීමට සහභාගි වීම වෙනුවෙනි. මේ අනුව පසුගිය ඔක්තෝබර් 11 වැනිදා කොළඹදී පැවති එම ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ 23 වන අමාත්‍ය කවුන්සිල රැස්වීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ 25 වැනි කමිටුව සඳහා ඉන්දියාව සහභාගිත්වය වෙනුවෙන් මෙරටට පැමිණි ඉන්දීය දූත පිරිස මෙහෙයවනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා විසිනි. මෙම හමුවේදී ඉන්දියාව වර්ෂ 2023-25 සඳහා එම සංගමයේ උපසභාපති භූමිකාවද අනතුරුව වර්ෂ 2025-27 සඳහා සභාපතිත්වය ද භාරගත්තේය. මෙම හමුවට පෙරාතුව එම රටවල් සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු 2022-27 සඳහා එම සංගමයේ වත්මන් සහ අනාගත කර්තව්‍යයන් සහ ක්‍රියාකාරකම්වල පූර්ණ පරාසය සමාලෝචනය කළහ. අමාත්‍ය කවුන්සිලය විසින් කොළඹ ප්‍රකාශය සහ “ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ දැක්ම 2023 සහ ඉන් ඔබ්බට” ඇතුළු අනෙකුත් ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයට සම්බන්ධ ලේඛන ද සම්මත කරගනු ලැබිණි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මේ වසරේ (2023) දී සිදු කරන ලද මෙම දෙවන ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළව විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර ඇත. 2023 ජූලි මස ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර නිකුත් කරන ලද ද්විපාර්ශ්වික ආර්ථික හවුල්කාරිත්ව දැක්ම සිහිපත් කරමින් එම ප්‍රකාශයේ දක්වා ඇති පරිදි වෙළඳ සබඳතා, ජනතාව අතර සබඳතා සහ බලශක්ති හවුල්කාරිත්වය යනාදි සම්බන්ධතාවයේ විවිධ පැතිකඩ ශක්තිමත් කිරීම අවශ්‍ය බවට සහ එම ආර්ථික හවුල්කාරිත්ව දැක්මෙහි අපේක්ෂිත ඉලක්ක කාලානුරූපීව සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමුඛතා පියවර වේගවත් කිරීමට ද දෙරට නායකයන් දෙපළ එකඟ වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය

මෙම සංචාරය ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සංවර්ධන සහයෝගීතා හවුල්කාරිත්වයේ පුළුල් විෂය පථය සහ එහි වේගවත් බව පෙරට ගෙන ආවේය. ශ්‍රී ලංකාවේ වතුකර ප්‍රදේශයන්හි නිවාස 10000ක් ඉදිකිරීම සඳහා ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ එක් නිවසක පිරිවැය ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.026 සිට රුපියල් මිලියන 2.8 දක්වා තුන් ගුණයකට පමණ ආසන්න අගයකින් ඉහළ නැංවීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ලිපි හුවමාරු කර ගැනීම ද මෙහිදී සිදු විය. මෙම නිවාසවලින් 1300ක් ඉදිකිරීම ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට නියමිතය. සියයට 50ක් දක්වා අතිරේක අරමුදල් යොදවමින් දැනට ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති 9 ක් තවදුරටත් විධිමත් කිරීමට ඉන්දීය රජය ගත් තීරණය ද රාජ්‍ය තාන්ත්‍රික ලිපි හුවමාරුව හරහා බලාත්මක වී ඇත. මෙම ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ බදුල්ල, මාතලේ සහ මාතර දිස්ත්‍රික්කවල නිවාස 126ක් මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කෙරුණු අතර හම්බන්තොට, යාපනය, මාතලේ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ආදර්ශ ගම්මාන නිවාස සහ ග්‍රාම ශක්ති ව්‍යාපෘති යටතේ ඉදිකරන ලද නිවාස සියයකට අධික ප්‍රමාණයක්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ජනතා අයිතියට පත් කරන ලදී.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් ගත වී ඇත. මෙය සනිටුහන් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යතුමා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් විශේෂ සමරු ලාංඡනයක් එළිදැක්වීම ද මෙවර සංචාරයේ දී සිදු වූ තවත් සුවිශේෂී දෙයකි. ජාතික ධජ දෙකෙහි වර්ණයන්ගෙන් සැදුම්ලත් සමරු ලාංඡනය මගින් ජාතික ලාංඡනද නිරූපණය වන අතර, එමගින් දෙරට අතර පවතින හවුල්කාරිත්වය, මිත්‍රත්වය සහ සමීප සබඳතා සංකේතවත් කෙරේ. මේ සංචාරයේ දී ලබාගත් තවත් විශේෂ සිදු වීමක් වන්නේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය, ඉන්දියාවේ ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනය (අමුල් ව්‍යාපාරය) සහ ශ්‍රී ලංකාවේ කාගිල්ස් සමූහ ව්‍යාපාරය අතර කිරි නිෂ්පාදන සංවර්ධනය පිළිබඳ හවුල් ව්‍යාපාර කොටස් හිමියන්ගේ ගිවිසුමක් ඇති කර ගැනීමයි. මෙම ගිවිසුම ඉන්දියාවේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව කිරෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර අත්සන් කරන ලද ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශය ක්‍රියාවට නැංවීමක් වේ. මේ ආකාරයට ඉන්දීය – ශ්‍රී ලංකා බෝට්ටු සේවයක් නැවත ආරම්භ වීම මගින් සහ ඉන්දීය විදේශ ඇමැතිගේ මෑත සංචාරය හරහා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තවදුරටත් වර්ධන වී ඇති බව සඳහන් කළ හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment