කෙහෙළියට ඇප ඉල්ලා දියණිය ගොනු කළ පෙත්සම ගැන නියෝගය 3දා

143

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පියාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල විසින් ගොනුකර ඇති ප්‍රතිශෝධන අයැදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට නොතිසි නිකුත් කරන්නේ ද නැතහොත් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමකින් තොරවම එම පෙත්සම ප්‍රතික්ෂේප කරන්නේ ද යන නියෝගය ලබන 3 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (25දා) පස්වරුවේ නියම කළේය.

පෙත්සම්කාරිය විසින් එම ප්‍රතිශෝධන පෙත්සම සමග අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් සත්‍ය කරුණු අධිකරණයට වසන් කර ඇති බවත් පැවසූ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය එම ප්‍රතිශෝධන අයැදුම්පත ප්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලා සිටියාය. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2024.2.15 වැනිදා හා 2024.2.29 වැනිදා ලබාදුන් නියෝග ප්‍රතිශෝධනය කරන ලෙස පෙත්සම්කාරිය විසින් අධිකරණයෙන් ඉල්ලා ඇතත් පෙබරවාරි 29 වැනිදා ලබාදුන් නියෝගය හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙත්සම්කාරිය අපොහොසත් වී ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ ගොනුවී නොමැති නියෝගයක් පිළිබඳව නියෝගයක් ලබාදීමේ නෛතික හැකියාවක් මහාධිකරණයට නොමැති බව පැවසුවාය. මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 24. 02. 29දා නිකුත් කළ නියෝගයේ සත්‍ය පිටපතක් පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා එම අධිකරණය හමුවට මෝසම් පත්‍රය ගොනු කර ඇත්තේ 2024.3.19 වැනිදා බව මහාධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ ලේඛකාධිකාරිවරිය විසින් සිදුකළ විමසීමේදී අනාවරණය වූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.

එම නියෝගයේ පිටපතක් ඊයේ පස්වරු 3.00ට පමණ පෙත්සම්කාරියගේ නීතිඥවරයකු විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද විවාද කටයුතු අවසන් වූ පසුව ඉදිරිපත් කිරීමට සූදානම් වන එම නියෝග පිටපත භාරගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැක්වූ විරෝධය පිළිගත් විනිසුරු සුජීව නිශ්ශංක මහතා එය පිළිගැනීම ප්‍රතික්‍ෂේප කළේය.

එලෙස මූලික විවාද කටයුතු අවසන් වූ පසු වැදගත් ලේඛනයක් භාරගැනීම ප්‍රතිශෝධන අයැදුම්පත් සම්බන්ධයෙන් වැරදි පූර්වාදර්ශයක් විය හැකි බව ද රජයේ අධිනීතිඥ ගංගානි උක්වත්තේ මහත්මිය හා රජයේ අධිනීතිඥ අසේල විජේසිංහ මහතා සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට පැවසුවාය.

එකී සිද්ධිය සම්බන්ධයෙන් 8 වන සැකකරු වන සිය සේවාදායකයා කිසිදු වරදක් කර නොමැති බවත් සියලු වැරදි සිදුකර ඇත්තේ පළමුවන සැකකාර ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයූ පුද්ගලයා බවත් අටවන සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පළමු වන සැකකරුට ගෙවීමට තිබූ මුදල් ගෙවීම් වැළැක්වූ පසු සියලු හිඟ මුදල් ගෙවනා ලෙසට හා නිෂ්පාදන කර ඇති සෙසු එන්නත් ද භාරගන්නා ලෙසට ඔහු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට තර්ජනය කර ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment