අර්බුදය තිබුණට චිත්‍රපට සඟවාගෙන ඉඳලා හරියන්නෙ නැහැ – තේජා ඉද්දමල්ගොඩ

293

වත්මන් අර්බුදයට සාපේක්ෂව සිනමා කර්මාන්තයද කඩා වැටෙමින් තිබූ අවධියක බොහෝ චිත්‍රපට ගැලවී යද්දී ඊට අභියෝග කළ තේජා ඉද්දමල්ගොඩ, සිය “ආශාවරී” නම් චිත්‍රපටය ඉතාමත් සාර්ථකව තිරගත කිරීමට සමත් විය. එම මෙහෙයුම ගැන අප ඔහු සමග කළ කතාබහ මෙසේයි.

අර්බුදය තිබුණට චිත්‍රපට සඟවාගෙන ඉඳලා හරියන්නෙ නැහැ - තේජා ඉද්දමල්ගොඩ

ඔබගේ ආශාවරී චිත්‍රපටය ඔබ තිරගත කළේ අර්බුදකාරී කාලයක. බොහෝ චිත්‍රපට නිෂ්පාදකයන් තම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට පසුබට වූ අවස්ථාවක. එයින් ඔබ සාර්ථක වුණාද?

ඇත්තවශයෙන්ම. මේ තත්ත්වය නොතිබුණා නම් ලොකු වාර්තාවකට යන්න තිබුණා. මේ 18 වැනිදාට චිත්‍රපටයට දින 80 ක් සපිරෙනවා. එදිනට මම චිත්‍රපටය ගලවනවා. මොකද ෆේල් වෙන්න කලින් හොඳ වෙලාවක ගලවන්න අවශ්‍යයි කියලයි මම හිතන්නෙ. මෙච්චර ප්‍රශ්න අතරේත් ගිය සති අන්තයේ මහරගම හා සැවෝයි ප්‍රිමියර් ශාලා දෙකම හවුස්ෆුල්. අපි කර්මාන්තයක්නෙ කරන්නෙ. අර්බුද අතරේ අපි වැටෙන්නෙ නැතුව යායුතුයි කියන එකයි මම හැමෝටම කියන්නෙ. ඔක්කෝම කඩා වැටෙද්දි, මේක හරි යන්නෙ නැහැ කියන අදහසේ මම හිටියේ නැහැ. වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියුතු අයෙකු ලෙස එහි අවුරුදු 30 ක අත්දැකීමෙන්, මම ෆිල්ම් එක පටන්ගත්ත දවසේ සිට ප්‍රමෝෂන් කළා. හැම සතියකම මම හේමාල් ඇතුළු නළු නිළියන් සමග ඇඟළුම් කර්මාන්ත ශාලා වලට ගිහින් ප්‍රමෝෂන් කළා. ඒ අයට ආරාධනා කළා චිත්‍රපටය බලන්න කියලා. මං හිතන්නෙ ඒක සාර්ථකව වැඩ කළා. මිනිස්සු චිත්‍රපටය පිළිගත්තා.

ඔබේ චිත්‍රපටය සාර්ථක වෙන්න හේතුව මොකක් කියලද ඔබ හිතන්නෙ? මොකක්ද එහි ඇති ගුණය?

අපේ අධ්‍යක්ෂවරුන් හිතන්න ඕනෙ චිත්‍රපටයක් පෙන්වන එක තමයි අමාරුම කියලා. අපේ හුඟක් අය චිත්‍රපටය මුදා හැරියට පස්සෙ එය අතහරිනවා, එන විදිහට බාරගන්න. එහෙම කරන්න හොඳ නැහැ. මගේ චිත්‍රපටය මුදා හැරපු දවසේ සිට මම හැමදාම උදේ 4 ට නැගිටලා කළින් දවසේ තත්ත්වය ගැන විශ්ලේෂණයක් කරනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් මුදා හැරලා 3 වන දවසේ තමයි ගුණාකාර වෙන්න පටන් ගන්නෙ. මගේ චිත්‍රපටය දෙවැනි දවසේම හරි තැනට ආවා. මම ඒ තත්ත්වය වැටෙන්නෙ නැතුව තියාගත්තා. ප්‍රචාරණ ක්ෂේත්‍රයේ දැනුම මට ඒකට උදව් වෙන්න ඇති කියලා මම හිතනවා. බ්‍රෑන්ඩ් එකක් ගෙනල්ලා ඒක ප්ලේස් කරන්නෙ කොහොමද කියලා දැන්වීම් ක්ෂේත්‍රයේ අයෙක් ලෙසට මම දන්නවා. හැමදේම උත්සවාකාර විය යුතුයි. ධෛර්ය තියෙනවා නම් මොන දේ කළත් ඒක සාර්ථක කරගන්න පුළුවන්. හැමෝගෙම චිත්‍රපට දුවන්න ඕනෙ. නැත්නම් මේ කර්මාන්තය වැටෙනවා. හොඳ නරක හැම චිත්‍රපටයක්ම දිව්වොත් තමයි මේ කර්මාන්තය රැකෙන්නෙ. හැම චිත්‍රපටයකටම උදව් කරන ස්ථාවරයකයි මම ඉන්නේ. කර්මාන්තය පවත්වාගන්නට අපි හැමෝම එකතු විය යුතුයිනෙ. අපේ චිත්‍රපටය පටන්ගත් දවසේ සිට ඉන්ධන හිඟය විදුලිය කැපීම ආවා. නමුත් මම පසුබට වුණේ නැහැ. ශිල්පීන්ගේ සහයෝගයත් එක්ක මම සාර්ථක තැනකට ගියා. දවස් 80 ක් මේ කාලෙ කිසිම චිත්‍රපටයක් දිව්වෙ නැහැනෙ. දින 100 දක්වා යන්න පුළුවන් වුණත් හොඳට දුවන වෙලාවෙ අයින් වෙන එක හොඳයි කියලයි මම හිතන්නෙ. පිටරටවලත් මේ වෙනකොට ඉතා සාර්ථකව චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. හොඳ තැනක තියෙන කොට චිත්‍රපටය අයින් කරගැනීමෙන් මිනිස්සුන්ගෙ හිතේ චිත්‍රපටය පවතිනවා.

පවතින අර්බුදය වඩාත් දරුණු තත්ත්වයකට පෙරළෙමින් තිබෙන්නෙ. සිනමා කර්මාන්තයට මොකද වෙන්නෙ? ජීවත්වෙන්න බැරි තත්ත්වයක මිනිස්සු ශාලාවකට ගිහින් චිත්‍රපට බලන්න පෙලඹෙයිද?

මෙහෙම එකක් තිබෙනවා. මොන තත්ත්වයක් යටතේ හරි චිත්‍රපට බලන යම් ප්‍රේක්ෂක පිරිසක් අපට ඉන්නවා. එතකොට ඒ අය ගෙන්වාගන්න අපි ආකර්ෂණීය චිත්‍රපට හදන්න ඕනෙ. මම සියයට අසූවක් අසූපහක් පමණ ඒ අතින් සාර්ථක වුණා. දැන් බලන්න දෙමළ චිත්‍රපට දවසට හවුස් ෆුල් දර්ශන 7 ක් පෙන්වනවා. ඒ කියන්නෙ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා අපිට. අපි ඒ අයට ආකර්ෂණීය චිත්‍රපට හදන්න අවශ්‍යයි. අපේ ආකර්ෂණීය නිර්මාණ කිහිපයක් තියෙනවා පෝලිමේ. ඒවා ගෙනල්ලා ප්‍රදර්ශනය කරන්න ඕනෙ. සඟවාගෙන ඉඳලා හරියන්නෙ නැහැ. හොඳ දේවල් පිළිගන්න මිනිස්සු ලෑස්තියි.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment