ජාතික අභිලාෂය යථාර්තයක් කළේ ලංකා බැංකුවයි… ලංකා බැංකුවේ මහා කළමනාකරු ඞී. පී. කේ. ගුණසේකර

158

මෙරට බැංකු ක්ෂේත‍්‍රය දිග්විජය කළ ශක්තිමත් රාජ්‍ය බැංකුව ලෙස ජනාදරයට පත් ලංකා බැංකුව සිය 82 වැනි සංවත්සරය ඉකුත්දා දින ඉමහත් අභිමානයෙන් සමරන ලදි. ‘ඇසු පිරූ තැන් ඇති අසූ දෙවසරක්’ යන තේමාව යටතේ පවත්වනු ලැබූ එම සංවත්සර උත්සවයෙන් අනතුරුව ලංකා බැංකුව මහා කළමනාකරු ඞී. පී. කේ. ගුණසේකර මහතා සමග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සිදු කළ සාකච්ඡාවක් පහත පළ වේ.

ප‍්‍රශ්නය – වසර 82 ක ලංකා බැංකු වංශකතාවේ වත්මන් තත්ත්වය මොන වගේද?

පිළිතුර – වත්මන් තත්ත්වය ගත්තොත් අපේ රටේ බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ අංක 01 ලංකා බැංකුව කියල බොහොම අභිමානයෙන් සඳහන් කරන්න පුළුවන්. නමුත් ඔබ විසින් අසන ලද ප‍්‍රශ්නයට ඒ උත්තරය පමණක් ප‍්‍රමාණවත් මදි. මොකද අපේ රටේ ප‍්‍රථම රාජ්‍ය බැංකුව ලෙසත් ඒ වගේම මේ සා විසල් ඉතිහාසයක් පවතින බැංකුවක් ලෙසත් අපි මේ වනවිට දුර ගමනක් ඇවිත් ඉන්නවා. ඒ ගමන ඇතුළේ රටේ මූල්‍ය ක්ෂේත‍්‍රය නඟා සිටුවීම පිණිස පුරෝගාමී මෙහෙවරක් කරන්න අපට පුළුවන්කම ලැබිල තිබෙනවා. ඒ විතරක් නොවෙයි ජාතික අභිලාෂයන් මහ පොළොව මත සැබෑවක් බවට පත්කිරීමට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදුන් රාජ්‍ය බැංකුව ලෙසත් ලංකා බැංකුව ඉතිහාසයට එක් වෙනවා. ඒ ඉතිහාසය මත පදනම්ව ඉතාමත් ස්ථාවරම ශක්තිමත් ලෙස අපි අපේ මෙහෙවර සිදු කරනවා. ඒ හරහා වඩාත් යහපත් සමාජ, ආර්ථික වටපිටාවක් රට තුළ නිර්මාණය කරන්න ඉදිරියටත් අපි විසින් කටයුතු කරනවා.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කළ කාරණා ජය ගැනීම පිණිස රට තුළ පවතින කොවිඞ් 19 වසංගතය බාධාවක් එහෙමත් නැත්නම් අභියෝගයක් නොවෙයිද?

පිළිතුර – ලෝකයට බලපාන විපත්, අනතුරු ආදියේදී ඒ ඒ රටවල බැංකු එහෙමත් නැත්නම් මූල්‍ය ක්ෂේත‍්‍රයේ පවතින ස්ථාවරභාවය මත තමයි ඔය කියන බාධක එහෙමත් නැත්නම් අභියෝග ජය ගැනීම හෝ නොගැනීම තීරණය වෙන්නෙ. එතනදී රටක් ලෙස ගත්තොත් මෙරට රාජ්‍ය, පුද්ගලික කියන ක්ෂේත‍්‍ර දෙකෙන් වඩාත්ම ශක්තිමත් බැංකුව ලෙස ලංකා බැංකුව දැනටමත් ඒ අභියෝග ඉතාමත් සාර්ථක අයුරින් ජයග‍්‍රහණය කරල තිබෙනවා. පසුගිය වසර දෙක ගත්තොත් 2019 පාස්කු ප‍්‍රහාරයත් 2020 වර්ෂය කොරෝනා වසංගතයට බිලිවීමත් කියන කාරණා දෙක හේතුවෙන් මෙරට ආර්ථිකය බරපතළ දෙදරීමකට ලක් වෙනවා. ඒක අපි කවුරුත් පිළිගත යුතු සත්‍යයක්. නමුත් ඒ තත්ත්වය නිවැරදිව කළමනාකරණය කරන්න අපට පුළුවන්කම ලැබුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ ඉහළම ලාභය වාර්තාකරන්න ලංකා බැංකුව සමත් වෙනවා. එහිදී බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 23.6 ක් සහ වත්කම් රුපියල් ටි‍්‍රලියන 03 ක් ලෙස වාර්තාගත වෙනවා. එපමණක් නොවෙයි, මේ කාලය ඇතුළත අපේ ගනුදෙනුකරුවන්ට රුපියල් බිලියන 800 ක පමණ ණය සහන ලබා දෙන්නන් අපි විසින් කටයුතු කරල තිබෙනවා. මේ කියන කාරණා හේතුවෙන් එක්සත් රාජධානියේ ප‍්‍රකාශයට පත්කරන ඒ වගේම ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වන ඔයැ ඊ්බනැර සඟරාව ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම තුළ ඉහළම ගෝලීය සන්නාමයන් 1000 අතරට ලංකා බැංකුව නම්කරල තිබෙනවා. එපමණක් නොවෙයි, මෙරට තුළ අංක 1 බැංකු සන්නායම ලෙස අඛන්ඩව වසර 13 ක් ලංකා බැංකුව රැඳී ඉන්නවා.

ප‍්‍රශ්නය – අභියෝග මැද එවැනි සාර්ථක ගමන් මගක් පිණිස පසබිම නිර්මාණය කර ගැනීම පිණිස අනුගමනය කළ මූල්‍ය උපායමාර්ග සහ ක‍්‍රමවේදයන් මොනවද?

පිළිතුර – විශේෂයෙන් මෙහිදී ලංකා බැංකුවේ සභාපතිතුමන් කාංචන රත්වත්තේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සඳහා විශාල දායකත්වයක් ලබාදුන්නා. ඒ මඟ පෙන්වීම මත ලංකා බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලය දැඩි කැපවීමෙන් කටයුතු කළා. ඒ තත්ත්වය ඇතුළේ අපේ කාර්ය මණ්ඩලය මෙන්ම පාරිභෝගික ප‍්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැනක් දෙන ගමන් අපි අපේ සේවාවන් හැකි උපරිමයෙන් කි‍්‍රයාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් ආරම්භ කළා. එතනදී නවීන තාක්ෂණයෙන් යුත් ඩිජිටල් බැංකු සේවාවන් රැසක් පාරිභෝගිකයන් වෙත හඳුන්වාදෙමින් ඒ කටයුත්ත ඉදිරියට යන අතරේ ජංගම බැංකු සේවාව මගින් ජනතාව අතරට යන්නත් අපට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ආයතිනක ගනුදෙනුකරුවන් පිණිස කෙටි ණය යෝජනා ක‍්‍රම අලූතින් ඇති කළා. ප‍්‍රධාන කාර්යාලයේ කි‍්‍රයාත්මක මධ්‍යම මුදල් කාර්යාංශය පැය 24 පුරා කි‍්‍රයාත්මක කිරීමේ අලූත් ක‍්‍රමවේදය හරහා විශ‍්‍රාම වැටුප්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ගේ වැටුප් බාධාවකින් තොරව නිකුත් කරන්න කටයුතු කළා. ඊට අමතරව ව්‍යාපෘති ප‍්‍රතිනිර්මාණය හා පුනරුත්ථාපන අංශය නමින් වෙනම ඒකකයක් ස්ථාපිත කරලා, ඒ හරහා පාරිභෝගික ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. ඒ හරහා සමස්ත රටම ආවරණය වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන අංශ ශක්තිමත්ව පවත්වගෙන යෑම පිණිස සාර්ථක මැදිහත්වීමක් අපි විසින් සිද්ධ කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2021 වර්ෂයේ මුල් කාර්තුව තුළ පමණක් වෙන වර්ෂවලට වඩා වර්ධනයක් කරා ළඟා වන්නට ලංකා බැංකුවට හැකියාව ලැබුණා.

ප‍්‍රශ්නය – වසරින් වසර නව්‍යකරණය වෙමින් අත්පත් කරගන්නා දියුණුව පිළිබඳව ලංකා බැංකුව මහා කළමනාකාරවරයා ලෙස ඔබ තෘප්තිමත්ද?

පිළිතුර – පැහැදිලිවම, ඒ පිළිබඳව විශාල තෘප්තියක් පවතිනවා. එය මට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. මේ වගේ ගමනක් එන්න ලංකා බැංකුවේ සභාපතිතුමන් කංචන රත්වත්තේ මහතා ඒ වගේම අපේ අධ්‍යක්ෂ මණ්ඩලය නිරන්තරයෙන්ම ලොකු ශක්තියත් බවට පත් වුණා. ඒ වගේම ලංකා බැංකු කාර්ය මණ්ඩලය ගත්තොත් ඒ අයගේ කැපවීම, දක්ෂතාවන් සහ බැංකුකරණය පිළිබඳව ඔවුන් සතු දැනුම මේ ගමන සඳහා විශාල ශක්තියක් බවට පත් වුණා. ඒ පිළිබඳව අපේ කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන්ම කොවිඞ් 19 වසංගත තත්ත්වය ඇතුළේ බැංකු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න ඔවුන් දැක්වූ දායකත්වය අගය කළ යුතු මට්ටමක පැවතුනා.

ප‍්‍රශ්නය – තරගකාරී බැංකු ක්ෂේත‍්‍රය තුළ තවදුරටත් ඉහළින්ම රැඳී සිටීම පිණිස කි‍්‍රයාත්මත අනාගත සැලසුම් මොනවද?

පිළිතුර – ලංකා බැංකුව කියන්නෙ වයසින් පරණ බැංකුවක්. නමුත් කි‍්‍රයාවෙන් අපි හැමදාමත් තරුණයි. තාක්ෂණයෙන් ඉහළයි. අපේ කාර්ය මණ්ඩලය ගත්තොත් 60% ක පමණ ප‍්‍රමාණයක් ඉන්නෙ උපාධිධාරීන්. ඒ අය දැනුමෙන් පොහොසත්. ඒ දැනුම ආයතනයේ ප‍්‍රගතිය පිණිස නිරන්තරයෙන් යොදවනවා. උදාහරණයක් ලෙස ගත්තොත් මෙරටට පෞද්ගලික බැංකු හඳුන්වාදුන්නෙ අසූව දශකයේ අග භාගයේ. නමුත් එදා සිට මේ දක්වා මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ අංක එක ස්ථානයේ ඉන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. ලංකාව පුරාම ව්‍යාප්ත ශාඛා ජාලයක්. ඒ වගේම විදේශීය ශාඛා හතරක්, නියෝජිත බැංකු ආයතන 900ක් ජාලගතව පවත්වාගෙන යන්න අපට පුළුවන්කම ලැබිල තිබෙනවා. වත්කම් අතින් ගත්තත් අපි පොහොසත්. එහෙම බැංකුවක් එක්ක සම්බන්ධ වෙලා ගනුදෙනු කරන්න බය වෙන්න හේතුවක් නැහැ. ඒ හින්ද අපි නිතරම උත්සාහ කරනවා මුළු ලොවට ගැලපෙන මූල්‍ය උපාය උපක‍්‍රම අද දවසේ හඳුනාගනිමින් ඒවා කි‍්‍රයාත්මක කරන්න. ඒ හරහා අපේ පාරිභෝගිකයන් ආර්ථික අතින් ශක්තිමත් කරන්න.

ප‍්‍රශ්නය – පවතින අර්බුදකාරී සමාජ වටපිටාව ඇතුළෙ පාරිභෝගික ජනතාව උදෙසා හඳුන්වා දුන් සහ ලබාදුන් සහන මොනවද?

පිළිතුර – මම මුලින් සඳහන් කළ ණය සහනය හැරුණු කොට කඩිනම් ණය යෝජනා ක‍්‍රම රැසක් අපි විසින් කි‍්‍රයාත්මක කළා. අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීම පිණිස කි‍්‍රයාත්මක වූ සෞභාග්‍ය ණය යෝජනා ක‍්‍රමය ඒකට හොඳම උදාහරණයක් ලෙස ගන්න පුළුවන්. එය අදියර තුනක් යටතේ කි‍්‍රයාත්මක වුවත් එතනදී ලංකා බැංකුව විසින් තමයි වැඩිම ණය මුදලක් නිකුත් කළේ. ‘දිරි උදාන’ ණය යෝජනා ක‍්‍රමය යටතේ ගත්තත් එහෙමයි. ප‍්‍රාදේශීය මට්ටමේ ඉඳලා කි‍්‍රයාත්මක ‘දිරි උදාන’ යටතේ රටේ ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික නිෂ්පාදනයන් හඳුනාගෙන ඒ දේවල් නඟා සිටුවන්න අවශ්‍ය ආර්ථික ශක්තිය අපි ඔවුන්ට ලබාදුන්නා. ඒ විතරක් නොවෙයි දැනට රටේ පවතින තත්ත්වය හමුවේ රජයට අවශ්‍ය සහයෝගය දෙන්නත් නිරන්තරයෙන් අපි විසින් කටයුතු කළා. දැනටත් ඒ දේවල් සිද්ධ කරනවා.

ප‍්‍රශ්නය – පසුගියදා පැවති 82 වන සංවත්සරයට සමගාමීව ඔබ, ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨතම බැංකු සාමාජිකයාට හිමි සම්මානයට පාත‍්‍ර වෙනවා. ඒ ගමන් මග පිළිබඳව නැවත මෙනෙහි කරනවා නම්,

පිළිතුර – ඔව්. ඒක සුවිශේෂි අවස්ථාවක්. ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබාගත් ඒ තිළිණය පෞද්ගලිකව මා ලද විරල ජයග‍්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද මෙතෙක් ලංකා බැංකුවේ මහා කළමනාකාරවරයෙක් ජ්‍යෙෂ්ඨතමයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වෙලා හිටියේ නැහැ. ඒ දුර්ලභ අවස්ථාව මුල්වරට හිමි වුණේ මට. ඒක කලාතුරකින් සිදුවන දෙයක්. ලංකා බැංකුවේ වසර 82 ක ඉතිහාසය ගත්තොත් ඉන් හරි අඩක් මම රාජකාරි කරල තිබෙනවා. අදින් වසර 41 ට පෙර බැංකු ලිපිකරුවෙකු ලෙස ඈත දුෂ්කර ප‍්‍රදේශයකින් ලංකා බැංකු සේවයට එක්වන මට අද එහි ඉහළම තනතුර ලබාගන්න පුළුවන්කම ලැබිල තිබෙනවා. ඒ ගමන මම ආවෙ කැපවිම උනන්දුව මත. එදා අද වගේ පහසුකම් නැහැ. රාති‍්‍ර හත අට වෙනකම් සේවය කළ යුතුයි. එදා තරුණ ිලිපිකරුවෙකු ලෙස සේවයට එන මට ක‍්‍රමයෙන් ඉහළට එන්න අවස්ථා උදා වෙනවා. ඒක තමයි ලංකා බැංකුවේ විශේෂත්වය. ඒ හින්ද අද අපේ කාර්ය මණ්ඩලයට පුළුවන් මාව උදාහරණයට අරගෙන ඔවුන්ගේ අනාගතය නිර්මාණය කර ගන්න. සරලව කියනවා නම් ලංකා බැංකුව කියන්නෙ රටේ ආර්ථිකය නඟා සිටුවීමට අතදෙන ආයතනයක් මෙන්ම ඒ ආයතනයේ සේවකයන්ගේ අනාගතයත් නිර්මාණය කරන ‘වැඩ බිමක්’ ලෙස හඳුන්වන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය මම.


ගුණාංගයන්ගෙන් පොහොසත් මහා කළමනාකාරවරයකු සමග කටයුතු කරන්න ලැබීම අප ලද භාග්‍යක් – ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා

එතුමන්ගේ වසර 41 ක රාජකාරි අත්දැකීම් තුළින් මෙරට රාජ්‍ය බැංකු ක්‍ෂේත‍්‍රයේ අංක එකේ බැංකුව බවට ලංකා බැංකුව පත්කරන්න එතුමන්ගෙන් විශාල දායකත්වයක් ලැබුණු බව මේ වෙලාවෙ සඳහන් කළ යුතුයි. අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් පවත්වන සෑම වෙලාවකම එතුමන්ගේ අත්දැකීම් හැකියාවන් ලංකා බැංකුවේ සභාපති වශයෙන් මම දැක්ක. ලංකා බැංකුවේ අභිවෘද්ධිය පිණිස ප‍්‍රවීණ බැංකුකරුවකු වශයෙන් එතුමන් ඒ දේවල් උපයෝගී කරගත්තා. විශේෂයෙන්ම මේ මොහොතේ රට තුළ පවතින වසංගත තත්ත්වය ඇතුළෙ රටේ ග‍්‍රාමීය ආර්ථිකය ගොඩනංවන්න, ශක්තිමත් කරන්න එතුමන් සාර්ථක උත්සාහයක් ගත්තා. තවත් පැත්තකින් දකුණේ සිටින ධීවරයා, ඇතිමලේ සිටින බඩඉරිඟු ගොවියා, පොළන්නරුවේ වී මෝල් හිමියන් මේ කොයි කවුරුත් එක්ක මනා සම්බන්ධයක්, සන්නිවේදනයක් සහිතව කටයුතු කළ මහා කළමනාකාරවරයකු වශයෙනුත් එතුමන් හඳුන් වන්න පුළුවන්. ඈත පිටිසර ගමකින් බැංකු ක්‍ෂේත‍්‍රයට පැමිණි එතුමන් තුළ පැවැති ගැමිකම, සරල බව අගය කළ යුතුයි. එවැනි ගුණාංගයන්ගෙන් පොහොසත් මහා කළමනාකාරවරයකු සමග කටයුතු කරන්න ලැබීම අප ලද භාග්‍යයක් කියල මේ වෙලාවේ සඳහන් කරන්න පුළුවන්.

සාකච්ඡා කළේ
රුවන් ජයවර්ධන -ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment