නිගමන වැඩක් නෑ සම්පූර්ණ වාර්තාවක් ඕනෑ – සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය

83

ජේ එන්-1 කොවිඩ් උප ප්‍රභේදය පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ නියැඳි පරීක්ෂාවේ නිගමන පමණක් රටට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

කොවිඩ් පැතිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයට අනුව මේ පිළිබඳ පරීක්ෂණ සඳහා මේ වනවිට රෝහල් මට්ටමින් ක්‍රියාත්මක වන ක්‍රමවේදය ගැන සෑහීමකට පත් විය නොහැකි බව ද එම සංගමය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

මේ වනවිට රෝහල් වෙත පැමිණෙන කොවිඩ් ලක්ෂණ සහිත හෝ රහිත රෝගීන් හඳුනා ගැනීමට පරීක්ෂණ කිරීමේ හෝ පරීක්ෂණ ඉල්ලීමේ නිශ්චිත ක්‍රමයක් නොමැති බව ද එම සංගමය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය නියැඳි පරීක්ෂාවට නිදර්ශක එක්රැස් කර ගත් ආකාරය මෙන්ම එම පර්යේෂණයේ ප්‍රතිඵල සම්බන්ධ පූර්ණ වාර්තාවක් හෙළිකරන ලෙස ද එම සංගමය ඉල්ලා සිටී.

ජනතාවට අතිශයින් වැදගත් වසංගත තත්ත්වයක් සම්බන්ධව නිවේදන නිකුත්කිරීමේදී එම වගකීම භාරගත හැකි නිලධාරියකුගේ අත්සන සහිතව නිකුත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත යුතුව ඇතැයි ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment