මිනිසා සඳත් උලාකයි?

72

බලවත් ඇත්තන් චන්ද්‍ර වන්දනාවේ යන රහස හඳේ ඇති ධන උල්පත්ද?

සඳ වෙත යෑමට පෘථිවියේ සිට සැතපුම් 280000ක් (කි.මී. 450600ක්) යා යුතුය.

ඇමෙරිකාව, රුසියාව, යුරෝපය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය තරගයට චන්ද්‍රයා තරණය කරයි. සඳේ තතු සොයා බැලීමට යන බව මෙසේ සඳ තරණය කරන ධනවත් බලවත් ලෝක බලධාරීන් ලොවට කියාපායි. එහෙත් සත්‍ය එයද? අතීතවාසීන් හිරු සඳු වන්දනා කළේ මානවයා ඇතුළු සත්ත්ව ප්‍රජාවගේ පැවැත්මට ඉන් සිදුවන සේවාවන් අගැයුමට ය. කාර්මික විප්ලවයෙන් පසු යාන්ත්‍රික වූ මිනිසාට හිරුට සඳුට ඉව ඇල්ලුවේ එය ධන උල්පතක් කළ හැකිදැයි යන කුහුලිනි. බලවත් රටවල් විසින් සඳට යවන ලද අභ්‍යවකාශ යානා මගින් හෙළි වන්නේ සඳ මතුපිට වටිනා ජලය, හීලියම් ඇතුළු අමිල ඛනිජ ද්‍රව්‍ය රැසක් අඩංගු බව ය. ඒවා සියතට ගන්නා බලවතාට ක්වඩ්‍රීලියන ගණනින් මුදල් උපයා ගැනීමට වරම් ලැබෙයි. එක් ක්වඩ්‍රීලියනයක වටිනාකම 1,000,000,000,000,000. කි. (එක් ක්වඩ්‍රීලියනයක් බිලියන දහසකි).

ඉන්දියාව, රුසියාව, යුරෝපය, ඇමෙරිකාව සහ චීනය වැනි රටවල පෞද්ගලික සමාගම් අධික මුදලක් වැය වන සඳ ගමනට රොකට්ටුවෙන් ඉනිමං තනන්නේ මේ වටිනා ධන නිධානයන් කොල්ලකෑමට ය. ලෝක බලවතුන් ද පෘථිවිය උලා කා අවසන් වේ ගෙන එන විට නව තෘණ පිටියක් සොයා යන ගවයන් බඳුය. දැන් ඇත්තේ ගව පොරයකි.

මීට වසර පනස් ගණනකට පෙර හිටපු ඇමෙරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි රයිස් සරසවියේදී මෙසේ පවසා සිටියේ ය. “අපි හඳට යෑමට තීරණය කර තිබෙනවා. “ඉන් පසු කවුරුන් මුලින් සඳට යනවාද යන මී පොරය ඇමෙරිකාව සහ රුසියාව අතර ඇරැඹිණි. අවසන තරගයෙන් ජය ලැබුවේ ඇමෙරිකාව ය. දශක හයක ඇවෑමෙන් මී පොරය යළි ඇරැඹී තිබෙයි. එහෙත් මේ වන විට මී පොරයට රටවල් ගණනාවක් එක්වී සිටියි. ඉතිහාසයේ සඳ ගමන්වල මූලික අරමුණ වූයේ සඳ තරණය කර රටට අභිමානයක් ලබා දීම ය. ඊට අමතරව චන්ද්‍ර ගවේෂණය, සඳ මත මිනිස් ජනාවාස ඉදිකිරීම ද ඔවුන් ගේ ඉලක්ක අතර තිබිණි. එහෙත් මේ බලවතුන් වර්තමානයේ ඉන් ඔබ්බට ගොස් ඇත. ඇමෙරිකාවේ, චීනයේ, රුසියාවේ සහ ඉන්දියාවේ බලධාරීන්ට දැන් රස වැටී තිබෙන්නේ සඳ මත ඇති වටිනා සම්පත් ය. ස්මාට්ෆෝන් සෑදීමට අවශ්‍ය හීලියම් වැනි පෘථිවියේ දුලබ ලෝහ සඳ මත ඇත්තේ ආකර වශයෙනි.

සඳේ ඇති මිදුණු ජලය පානයට පමණක් නොව හයිඩ්‍රජන් හා ඔක්සිජන් වශයෙන් බිඳ හෙළීමෙන් ප්‍රයෝජනයට ගත හැකි ය. හයිඩ්‍රජන් ඉන්ධනයක් ලෙසින් ද ඔක්සිජන් ආශ්වාසයට ද යොදා ගැනීමට පුළුවන. ඉන්දියාවෙන් යවන ලද චන්ද්‍රයාන් 3 මගින් සඳේ දක්ෂිණ ධ්‍රැවයේ මිදුණු ජලය ඇති බව සොයා ගැනිණි.

ඇමෙරිකාවේ නාසා ආයතනය මේ වන විට ආටිමිස් (Artemis) නමින් සඳ ගමන් මාලාවකටම මුල පුරා අවසන් ය. 2025 වන විට සඳෙන් මුදල් ඉපයීම ඔවුනගේ අරමුණ වෙයි.

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 සඳේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්න මැන්සිනස් (Manzinus) ආවාටය අසල තවමත් සිය මෙහෙයුමේ යෙදී සිටියි. රුසියාව උත්සාහ කළේ ලූනා 25 ඊට පෙර දකුණු ධ්‍රැවයේම බොගස්ලැව්ස්කි (Boguslavsky) ආවාටය අසලට යැවීමටයි. එහෙත් එය එහි යෑමට පෙර කුඩුපට්ටම් වී ගියේය.

● උගුරට හොරා බෙහෙත් කෑම

මිනිසා සඳත් උලාකයි?

වසර 2030 වන විට චීනය, ඇමෙරිකාව විසින් යානා යවන ස්ථානවලටම යානා යැවීමට සිටින බව අනාවරණය වී තිබෙන අතර මේ පිළිබඳව ඇමෙරිකානුවන්ට ඇත්තේ බලවත් සැකයකි. නාසා ප්‍රධානී බිල් නෙල්සන් ප්‍රකාශ කර සිටියේ සඳ ගැන විද්‍යාත්මකව ගවේෂණය කරන මුවාවෙන් චීනය සඳේ දේශසීමාවන් අයත් කර ගැනීමට උත්සාහ ගන්නා බව ය. චීනය මෙය ප්‍රතික්ෂේප කළ ද සත්‍ය එය නොවෙයි. සඳ පිළිබඳ ප්‍රතිපත්ති සැකසීමට යෑමේදී ඇමෙරිකාව, රුසියාව හෝ චීනය සම්මුතියකට එළඹෙන්නේ නැත. 1979 දී සඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට උත්සාහ දැරුව ද එය අසාර්ථක විය. එයින් වටහාගත යුත්තේ පෞද්ගලික සමාගම් සහ එක්ව මේ බලවත් රාජ්‍යයන් සඳේ ලෝහ නිධන්, මිදුණු ජලය කොල්ලකෑමට සූදානම් වන බව නොවේද ?

● නිධන්ගත ජලය

නාසා විශේෂඥයන් සිතන අන්දමට සඳේ මිදුණු ජලය (අයිස්) කිලෝග්‍රෑම් බිලියන 600කට වඩා අඩංගු ය. එය අඩු වශයෙන් ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාක 240,000 ක් පිරවීමට සමත් ය. පෘථිවියේ ජලය කියුබික් කිලෝමීටර් බිලියනයකට වඩා අඩංගු බවට විශ්වාස කරයි. සඳ මත ජනාවාස ඇතිකිරීමේදී පෘථිවියෙන් සඳට ජලය රැගෙන යා නොහැකි ය. ජලයේ බර මෙන්ම ඒ සඳහා වැය වන අධික මුදල ද ඊට බාධාවකි. ගගනගාමීන්ට පානය කිරීමට සහ සේදුම් කටයුතුවලට සඳේ ජලය ඉතා ප්‍රයෝජනවත් ය.

● අඳුරු ආවාටවල සැඟවුණු ලෝහ

විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට පෘථිවියේ දුලබ ලෝහ ගණනාවක්ම සඳේ දක්ෂිණ ධ්‍රැවයේ සීතල, අඳුරු ආවාටවල සැඟවී පවතියි. මේ ලෝහ ස්මාට්ෆෝන්, පරිගණක, හයබ්‍රිඩ් මෝටර් රථ බැටරි සහ වෛද්‍ය උපකරණ නිපදවීමේදී අත්‍යවශ්‍ය ය. අතිශය දුලබ ලෝහ අතර ස්කැන්ඩියම් (scandium), ය්ට්‍රයම් (yttrium) වැනි ලෝහ ද තිබෙයි. මේ ලෝහ වාහන එන්ජින්, වීදුරු, සිරිමැටි (සෙරමික්), විදුලි උපකරණ, රේඩාර් පද්ධති වැනි දේ නිපදවීමේදී අත්‍යවශ්‍ය වෙයි. සඳ මත ඒවා අධික ප්‍රමාණයෙන් පවතියි.

මේ වන විට බසෝල්ට්, යකඩ, සිලිකොන්, ප්ලැටිනම්, පැලේඩියම්, රෝඩියම්, ටයිටේනියම් වැනි වටිනා ලෝහ සඳේ ඇති බව අනාවරණය කරගෙන තිබෙයි. පෘථිවියට වඩා දස ගුණයකටත් වැඩියෙන් ටයිටේනියම් ලෝහය ඇති බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත. හීලියම් 3 පෘථිවියේ අතිශයින්ම දුලබ ය. එහෙත් සඳේ සයුරක් මෙන් හීලියම් 3 පැතිර පවතියි. සූර්ය කුනාටුවලින් සඳ මත හීලියම් 3 තැන්පත් වෙයි. සඳෙහි ඇති හීලියම් 3 නිධානයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ක්වඩ්‍රීලියන 1.5 ක් වන බවට විද්‍යාඥයන් ඇස්තමේන්තුගත කර තිබෙයි. හීලියම් 3 න්‍යෂ්ටික විලයන කටයුතු සඳහා විද්‍යාඥයන්ට අත්‍යවශ්‍ය ය. උදාවී තිබෙන්නේ ජාතික ආරක්ෂාවට වෛද්‍ය විද්‍යාවට කර්මාන්තවලට වැඩි වැඩියෙන් හීලියම් 3 අවශ්‍ය යුගයකි. සඳේ ඇති හීලියම් 3වල වටිනාකම වඩාත් දැනෙන යුගයකි.

● අනාගත සඳ චාරිකා

2022 සිට 2032 දක්වා රජයේ සහ පෞද්ගලික චාරිකා 400කට වඩා සැලසුම්කර ඇති බවට ඇස්තමේන්තුගත කර තිබෙයි. ඇමෙරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාවට පසු තවත් රටවල් සඳ ගමනට රහසේ සූදානම් වනු ඇත. මේ සියලු සඳ ගමන්වල අරමුණ සඳෙන් සොරාගත හැකි සම්පත් සොයා ගැනීම සහ මුලින්ම සඳේ ආධිප්‍ය දැරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම ය. ඉක්මන් වන බලවතා මේ ඉලක්ක ජය ගනු ඇත. එනම් සිය ආත්මාර්ථකාමී අභිලාෂයන් උදෙසා පෘථිවිය උලා කා අවසන් කළ මානවයා සඳේ අවසානයට ද මුල පුරනු නියත ය.

අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment