බෞද්ධ දර්ශනයට පහර ගහන කණ්ඩායම් ඉන්නවා – බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා

212

භික්‍ෂුන් වහන්සේගේ විනය ස්ථාපිත කිරීම මෙන්ම කුල දරුවන් සසුන් ගතකළ යුතු වයස පිළිබඳව මෙන්ම කුරුන්දි විහාරය පිළිබඳව ඇතිවී තිබෙන ගැටලුකාරී පසුබිම පිළිබඳව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති විදුර වික්‍රමනායක මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය- භික්‍ෂු විනය ස්ථාපිත කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අපේක්‍ෂා කරන බව ඔබ සඳහන් කරලා තිබුණා. ඒ සඳහා ගැනීමට අපේක්‍ෂා කරන පියවරයන් මොනවාද?

පිළිතුර- එක් භික්‍ෂුවක් විසින් කරන දෙයක් නිසා මුළු භික්‍ෂු සමාජයට ම දොස් අහන්න වෙන අවස්ථා තිබෙනවා. ඒ පහර වදින්නේ භික්‍ෂු සමාජයට පමණක් නොවෙය,ි එම පහර බෞද්ධ දර්ශනයටත් වදිනවා. දැන් සෑම කෙනෙකුගේ අතේම ජංගම දුරකතනයක් තිබෙනවා. එම ජංගම දුරකතන හරහා යූ ටියුබ්, ෆේස් බුක් යොදාගෙන එම සිදුවීම් සුළු මොහොතකින් ලෝකය පුරාම ප්‍රචාරය කර හැරීමේ හැකියාව තිබෙනවා.

බෞද්ධ දර්ශනයට පහර ගැසීම සඳහා සූදානමින් තවත් කණ්ඩායම් සිටිනවා. අපි මේ කතා කරන්නේ ඒ අය පිළිබඳව නොවෙයි. අපිට විනයක් තිබිය යුතුයි.

එසේම යම් භික්‍ෂුවක් බෞද්ධ දර්ශනයට පටහැනිව යම් කටයුත්තක යෙදී තිබෙනවා නම් එම භික්‍ෂුව එසේ කටයුතු කර තිබෙන්නේ ඇයිද කියන එකත් අපි සොයා බැලිය යුතුයි. වරදකට දඬුවම් දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.

එම කාරණා පිළිබඳව භික්‍ෂු සමාජය තුළම කථිකාවතක් ඇතිවිය යුතුයි. භික්‍ෂුවකගේ පැවැත්ම තිබිය යුත්තේ කොයි ආකාරයට ද යන්න පිළිබඳව ඒ වගේම එම කථිකාවත ක්‍රියාත්මක වීමත් සිදුවිය යුතුයි.

ප්‍රශ්නය- මෙම අවස්ථාවේදී මෙම කාරණය පිළිබඳව අවධානය යොමු වීමට බලපෑ ප්‍රධාන කාරණය කුමක්ද?

පිළිතුර- ඒ සඳහා බලපෑ හේතුව තමයි අපේ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න මතුකිරීම. ඒ වගේම විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම. එම යෝජනාත් සමග තමයි මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ. ඒ අනුව ඉදිරියේදී කථිකාවන් පනත නමින් පනතක් ගෙන ඒමට කටයුතු කරනවා. ඒ වගේම මීට කලකට ඉහත ගෙන එන ලද විහාර දේවාලගම් පනතත් සංශෝධනය කිරීමට හෝ ඒ සඳහා අලුත් පනතක් ගෙන ඒමටත් බලාපොරොත්තු වෙනවා.

එම සියලුම කටයුතු සිද්ධ කරන්නේ ගෞරවණීය මහානායක හිමිවරුන් සහ කාරක සංඝ සභාවන් සමග ඇති කර ගන්නා එකඟතාවයන් අනුව පමණයි. මේ වනවිටත් උන්වහන්සේලා ඒ සම්බන්ධයෙන් අපට විවිධ යෝජනා සහ අදහස් ඉදිරිපත් කරලත් තිබෙනවා. එම යෝජනා සහ අදස් අනුසාරයෙන් තමයි ඉහතින් සඳහන් කළ සියලුම පියවරයන් ගන්නේ.

ප්‍රශ්නය- මීට පෙර බලයේ සිටි ආණ්ඩු විසිනුත් කථිකාවන් පනත් ගෙන ඒමට කටයුතු කළා. නමුත් එම පනත් සම්මත කර ගැනීමට නොහැකි වූවා. අලුතින් ගෙන එන පනතටත් එම ඉරණම ම අත්වේවිද?

පිළිතුර- අපේ රටේ නිකායන් කිහිපයක් තිබෙනවා. විනය කටයුතු සිද්ධ කරන්නේ එම නිකායන්ගේ සම්ප්‍රදායයන්ට අනුව තමයි. අපි කල්පනා කරන්නේ සමස්ථයක් ලෙස සියල්ල එකට එකතු කරලා හොඳ දේ තෝරගෙන අවශ්‍ය කටයුත්ත කරන්න පුළුවන් නම් හොඳයි කියලා. එම කටයුත්ත සිද්ධ කරන්නෙත් ගෞරවණීය මානායක හිමිවරුන්ගේ සහ කාරක සංඝ සභාවන්ගේ එකඟතාවය ඇතිව. එම නිසා ගැටලුවක් මතුවන්න හේතුවක් නැහැ.

ප්‍රශ්නය- කුලදරුවන් සසුන් ගතකළ යුතු වයස් ප්‍රමාණය පිළිබඳවත් ඔබ සඳහන් කරලා තිබුණා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම්,

පිළිතුර- ඒ පිළිබඳවත් අපි ගෞරවණීය මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. නමුත් ඇමැතිවරයා ලෙස නොවෙයි පෞද්ගලිකව ඒ පිළිබඳව මට මගේ අදහස කියන්න පුළුවන්. අපි දැකලා තිබෙනවා වයස අවුරුදු 5 හේ 6 යේ දරුවන්ව මහන කරනවා. එම වයසේ දරුවන්ගේ මොළය හරියට වැඩිල නෑ. සාමාන්‍යයෙන් ළමයකුගේ මොළය හොඳින් වර්ධනය වන්නේ වයස අවුරුදු පහේදී හා හයේදී. එම වයස හඳුන්වන්නේ හය හතර නොතේරෙන වයස කියලා.

එම වයසේ දරුවන් මහණ කිරීම නිසා යම් යම් ප්‍රශ්න ශාසනය තුළ ඇති වෙනවා. යම් අවබෝධයක් ඇතිව මහණ වීම තමයි වඩා වැදගත්. එම වයස කුමක්ද කියන එක පිළිබඳව ගෞරවණීය මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න අපේක්‍ෂා කරනවා. ගිහියන් ලෙස එම කාරණා පිළිබඳව මැදිහත් වෙන්න අපි අපේක්‍ෂා කරන්නේ නැහැ. නමුත් පැවරිලා තිබෙන බලතල අනුව ගෞරවණීය මහානායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා මැද අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා.

ප්‍රශ්නය- බුදුන්වහන්සේ විසින් තමන්ගේම පුත්‍රයා වූ රාහුල කුමාරයාත් ළඳරු වයසේදීම මහණ කළා. ඒ අනුව බැලුවම නම් එම වයසේදී මහණ කිරීම ගැටලුවක් වන්න විධියක් නැහැ නේද?

පිළිතුර- රාහුල කුමාරයා මහණ කළේ වසර 2600 කටත් පෙර. කාලානුරූපීව වෙනස් වියයුතු දේවල් තිබෙනවා. අද තාක්‍ෂණය සහ ශිල්පීය ඥානය අපිව අභභවාගෙන යනවා, සමාජයට අනවශ්‍ය දේවල් ඉතිරි කරමින්. ඒ වගේම අපි ගන්නෙත් අවශ්‍ය දේවල් නොවෙයි.

පළමුවෙනි දේ තමයි ප්‍රායෝගික බෞද්ධයෙක් බිහි කරන්නේ කොහොමද කියන එක. දෙවන කාරණය තමයි ධර්මය කියල දෙන්න කවුරුත් නැතිනම් බෞද්ධයෙක් හිටියට වැඩක් නැහැ. එතැනදි තමයි ගෞරවණීය මහා සංඝරත්නයේ මැදිහත්වීම අවශ්‍යය. උන්වහන්සේලා විසින් තමයි එම කාර්යය කරන්නේ.

ප්‍රශ්නය- භික්‍ෂුන් වහන්සේලා පක්‍ෂ දේශපාලනයේ නිරතවීම, මැතිවරණවලට තරග කිරීම පිළිබඳව මහා සංඝරත්නය තුළින්ම විරෝධය එල්ල වී තිබෙනවා. වෙනත් ආගම්වල පූජක පක්‍ෂය මේ ආකාරයට පක්‍ෂ දේශපාලනයේ නිරත වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සමහර භික්‍ෂූන් වහන්සේලා විසින් මහානායක හිමිවරුන්ගෙන් ද ඉල්ලා තිබෙනවා.ඒ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර- ඒ සම්බන්ධයෙන් මට මගේ පෞද්ගලික මතය ප්‍රකාශ කිරීමට නම් පුළුවන්කම තිබෙනවා. ගෞරවණීය මහා සංඝරත්නය හෝ ගෞරවණීය පූජක පක්‍ෂය දේශපාලන මතිමතාන්තර දරාගෙන එම මතිමතාන්තරවල වහලුන් බවට පත්වෙලා කටයුතු කිරීමෙන් සිදුවන අගතිය පිළිබඳව අපිට ලොකු කනගාටුවක් තිබෙනවා.

ප්‍රශ්නය- කුරුන්දි විහාරය පිළිබඳව මේ වනවිට බෞද්ධ ජනතාවගේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා. දෙමළ දේශපාලනඥයන් කුරුන්දි විහාරය හින්දු කෝවිලක් කිරීමට දරන උත්සාහය පිළිබඳව මෙන්ම එම විහාරය සතු ඉඩම්වල අයිතිය පිළිබඳවත් බෞද්ධ ජනතාවගේ අවධානය යොමුවී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර- මෙම විහාරය පිළිබඳව ප්‍රශ්නය ගරු අධිකරණය හමුවේ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. එම නිසා ඒ සම්බන්ධයෙන් මට අදහස් දැක්වීමේ හැකියාවක් නැහැ.

එහෙත් පුරාවස්තු සංරක්‍ෂණය කිරීමට අපේ පැත්තෙන් ගතයුතු පියවර මේ වනවිටත් අරගෙන තිබෙන බව සඳහන් කිරීමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දෙමළ ජනතාවට එම ප්‍රදේශයේ ඉඩම්වලට අයිතියක් තිබෙන බව ඔප්පු කළ හැකි නම් එම ඉඩම් නිදහස් කිරීමටත් අපි තීරණය කරලා ඉවරයි. නමුත් පුරාවිද්‍යාව පැත්තෙන් කරන්නාවූ ගවේෂණ හෝ කැණීම් හෝ සංරක්‍ෂණය කිරීම් නවත්වන්නේ නැහැ.

පුරාවස්තුවල අයිතිය තිබෙන්නේ එක් ආගමකට හෝ ජාතියකට නොවෙයි. එපමණක් නොවෙයි, එහි අයිතිය තිබෙන්නේ අපේ රටට පමණකුත් නොවෙයි. පුරාවස්තුවල අයිතිය මුළු ලෝකයට ම තිබෙනවා. මොකද පුරාවස්තු කියන්නේ මානව ශිෂ්ටාචාරයේ කොටස්. මානව ශිෂ්ටාචාරය මොන ආකාරයට පරිණාමය වුවාද කියන එක මුළු ලෝකය ම දැනගත යුතු දෙයක්.

ඒ වගේම පුරාවිද්‍යාව භාවිත කරලා අපි කිසිම ආගමකට හෝ ජාතියකට හානි කරන්න හෝ ඔවුන් තලා පෙළන්න සූදානම් නැහැ. එසේම අපි ඔවුන්ගේ අයිතීන් උදුරා ගැනීමට කටයුතු කරන්නෙත් නැහැ.

ඒ වගේ අපි දැන ගන්න ඕනී, මේ රටේ වැලි කැටයක් ගාණේ පුරාවස්තු තිබෙනවා කියන එක. ඒ අතරින් වැඩිපුර ම තිබෙන බෞද්ධ දර්ශනය හා සම්බන්ධ පුරාවස්තු එක අපේ වරදක් නොවෙයි අපේ රටේ හැදියාව, ශිෂ්ටාචාරය, සංස්කෘතීන් යන සියල්ලක් ම මේ සමග බැඳී තිබෙනවා. ඒවා මතුකර ගැනීම එම වස්තූන් වර්තමාන ලෝකයට හඳුන්වාදීම සහ අනාගතයට වලංගු වන ආකාරයට සංරක්‍ෂණය කිරීම යන සියල්ල අපි කරන්න ඕනී. ඒක අපට පනතකින් පැවරිලා තිබෙන බලයක්.

ප්‍රශ්නය:- තමිල්නාඩුවේ පුරවැසියකු එම ප්‍රදේශයේ පැවැති කෝවිලක් අතීතයේදී බෞද්ධ පන්සලක් ලෙස පැවැති බවත් එම ස්ථානයේ දේව ප්‍රතිමා ලෙස තිබුණු ප්‍රතිමා බුදුන්වහන්සේ ගේ ප්‍රතිමා බවටත් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණා. එම නඩුව විභාග කළ අධිකරණය අතීතයේදී එම ස්ථානයේ පන්සලක් තිබී ඇති බවත් එම ස්ථානයේ ඇති ප්‍රතිමා බුදුන් වහන්සේගේ ප්‍රතිමා බවත් තීන්දු කර තිබෙනවා. නමුත් අපේ රටේ සමහර විනිසුරුවන් මතභේදකාරී ප්‍රශ්න හමුවේ ඒ ආකාරයට කටයුතු කරන බවත් දකින්න නැහැ. ඒ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර- ව්‍යවස්ථාදායකයත්, විධායකත්, අධිකරණයත් අතර බල තුලනයක් තිබිය යුතුයි. යම්කිසි විධියකින් ව්‍යවස්ථාදායකයෙන් යම් අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් එය විධායකයට හෝ අධිකරණය විසින් නිවැරදි කළ යුතුයි. එම ආයතන තුනට ම එම තර්කය වලංගුයි. එම නිසා ව්‍යවස්ථාදායකයේ සාමාජිකයකු ලෙස අධිකරණය විවේචනය කිරීමෙන් වැළකිලා සිටිනවා.

එහෙත් අධිකරණයේ තීන්දු සාධාරණ විය යුතුයි. එක් ආගමකට හෝ ජාතියකට ගැති වුවහොත් එතැන සාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment