මවගේ ඝාතනයට පුතා අත්අඩංගුවට

420

යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදී කාන්තාවක් මරා දමන ලද සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පුතා තෙලිප්පලෙයි පොලිසිය මගින් පෙරේදා (6දා) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ දාසය හැවිරිදි එම තරුණයා මන්ද බුද්ධික තරුණයෙකු ලෙස හැසිරුණු බව ප්‍රදේශවාසීන් සඳහන් කළත් ඔහු එම තත්ත්වයට පත්ව ඇත්තේ ජංගම දුරකතන ආධාරයෙන් සිදු කෙරෙන වීඩියෝ ගේම් ක්‍රීඩා කිරීම නිසා ඇති වූ මානසික සංකූලතාවයක් නිසා බවයි.

ස්වාමියා විදේශ ගතවී සිටින කාන්තාවකගේ මළ සිරුරක් යාපනයේ තෙලිප්පලෙයි නිවසක තිබී පොලිසිය විසින් පසුගිය 4 දා සොයා ගෙන තිබූ අතර මළ සිරුර කැපුම් තුවාල වලින් යුත් නිසා පොලිසිය ඒ පිළිබඳව සිදු කළ පරීක්ෂණ වලදී මියගිය කාන්තාවගේ වැඩිමල් පුතා විසින් මේ ඝාතනය සිදු කරන්නට ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.

මියගිය කාන්තාවට දරුවන් දෙදෙනකු සිටින අතර ඉන් 16 හැවිරිදි දරුවා මන්ද මානසික තත්ත්වයකින් පසුවන අයෙකි.

සිද්ධිය වූ දිනයේදී මන්ද මානසික දරුවා උල් පිහියක් ගෙන ඔහුගේම ගෙලට තබාගෙන බොහෝ දේ කීම නිසා තමන් බියට පත්ව අසල්වැසි ඥාතී නිවසකට ගොස් රාත්‍රියේ නිදාගත් බව අනෙක් දරුවා පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

ඔහු පසුදින උදෑසන නිවසට පැමිණ බලන විට මව මියගොස් සිටි බවත් ඇගේ සිරුරෙන් හා කටින් ලේ වහනය වී තිබූ බවත් ප්‍රකාශ කරන ඔහු ඒ වන විට තම සහෝදරයා නිවසේ නොසිටි බවත් පවසා ඇත.

මියගිය කාන්තාවගේ නිවසේ බිත්තියක රුධිරයෙන් ලියන ලද කිසියම් වචන පෙළක් දක්නට ලැබෙන නමුත් එම වචන පැහැදිලිව තේරුම් ගැනීමට නොහැකි බවද පොලීසිය සඳහන් කරයි.

ලැබුණු තොරතුරු මත එම ඝාතනය සිදු කළේ මන්ද මානසික රෝගී තත්ත්වයකින් ජීවත් වූ කාන්තාවගේම වැඩිමල් පුතා බවට ලද තොරතුරු මත ඔහුව අත්අඩංගුවට ගත් තෙලිප්පලෙයි පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment