පුරාණ සිංහලයන් භාවිත කළ ඉලක්කම්

271

දැනට අප රට පමණක් නොව සකල ලෝකවාසීන් පාහේ පොදුවේ පාවිච්චි කරනු ලබන්නේ 1, 2, 3 ආදී වශයෙන් ඇති අරාබි ඉලක්කම්ය. මේ ඉලක්කම් බෝවීමට පෙර සිංහලයන්ට විශේෂ වූ ඔවුන්ගේ ඉලක්කම් වූහ. සිංහල ඉලක්කම් ලියන ලද්දේ අරාබි ඉලක්කමින් අංකවලින් නොව අකුරෙනි. පෙර විසූ නොයෙක් ජාතීන් විසිනුදු ඔවුන්ගේ ඉලක්කම් දක්වන ලද්දේ අංකවලින් නොව අකුරුවලිනි. ද්‍රවිඩ භාෂාව කථා කරන ජාතීන්ගේ ඉලක්කම් ද මෙකල පවා භාවිත කරන රෝම ඉලක්කම් ද නියම වශයෙන්ම අංක නොව ඒ ඒ භාෂාවලට අයත් අක්ෂර වෙති.

පයිතගෝරස්ගේ ගණිතය

පුරාණ සිංහල ඉලක්කම් ද සිංහල අක්ෂර ආශ්‍රය කරගෙන සෑදී ඇති බැව් සලකන්නට පිළිවන. දැනට බහු ප්‍රමාණයට පැමිණ තිබෙන 1, 2, 3 ආදී වශයෙන් ඇති අරාබි ඉලක්කම් දෙවියන් විසින් නිපදවන ලදැයි ඇතැම් අය විශ්වාස කරති. පුරාණ අරාබීහු ගණිතයෙහි මෙන්ම ජ්‍යොතිෂයෙහි ද අතිදක්ෂව විසූහ. යුරෝපයට බෝවූ මේ ඉලක්කම් ‘අරාබි’ ඉලක්කම් හැටියට හඳුන්වන ලදී. ක්‍රිෂෙටාදයට පෙර 580 වැන්නෙහි ‘සැමෝස්’ දූපතෙහි උපන් පයිතගෝරස් නම් විද්‍යාඥයා ගණිත ශාස්ත්‍රයෙහි හසළ බුද්ධිමතකුව සිටි බැව් පෙනේ.

භාෂ්කරගේ සිද්ධාන්ත ශිරෝමනීය

ගණිතය මිනිසාට සමාකාරයෙන්ම අවශ්‍ය වූ ද නිතර ප්‍රයෝජන වන්නාවූ ද ශාස්ත්‍රයක් බැවින් මෙය ආදීම මනුෂ්‍යයන් විසිනුදු ඔවුන්ගේ වුවමනාකම්වලට ප්‍රමාණ වන අන්දමින් දැන සිටින්නට ඇතැයි සිතිය හැක. මේ ශාස්ත්‍රය ඉතා පුරාණ කාලයෙහි සිට ම ඉන්දියාවේ පැවැති බැව් පෙනේ. අන්‍ය රටවලට එය ප්‍රචාරය වන්නට ඇත්තේ ඉන්දියාවෙන් යැයි සිතිය හැක.

ගණිතයෙහි මෙන්ම ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙහි ද අතිදක්ෂයකු හැටියට විශ්‍රැත කීර්තියට භාජනය වූ භාස්කර නම් ගණිත විද්‍යාඥයෙක් දොළොස් වැනි සියක්වස හරියේ ඉන්දියාවේ විසුවේය. ඔහු විසින් සිද්ධාන්ත ශිරෝමනී නම් වූ ශ්‍රේෂ්ඨ ගණිත ග්‍රන්ථයක් නිපදවන ලදී.

සිංහල ඉලක්කම්

අප මුතුන් මිත්තන් භාවිත කළ ඉලක්කම් දැන් අභාවයට ගොස් තිබීම එක් අතකින් කනගාටුවට කාරණයකි. එක් කලෙක මේ ඉලක්කම් ඉංග්‍රීසි ආණ්ඩුවේ අණපනත් සංගෘහිතවූ පොත්පත්වලට ද ඇතුළත් කරන ලදී. 1824 වැන්නෙහි ද පමණ මේ සිංහල ඉලක්කම් හැර දමා ඒ වෙනුවට දැන් ව්‍යවහාර වන අරාබි ඉලක්කම් ව්‍යවහාරයට ගන්නා ලදී.

ප්‍රතිකාල් සහ ලන්දේසි අධිපත්‍යයට යටත්ව තුබූ ලංකාවේ මුහුදු බඩ ප්‍රදෙස්වල ක්‍රි. ව. 1505 සිට ම අරාබි ඉලක්කම් ව්‍යවහාරයට ගෙන තිබුණේය. පසු කාලයෙහි එය ලංකාව මුළුල්ලෙහිම පැතිරෙන්නට විය.

අකුරෙන් ලියන මේ පැරණි සිංහල ඉලක්කම් 1824 වැන්නෙහි දී පමණ හැර දමා ඒ වෙනුවට 1, 2, 3, 4, ආදී වශයෙන් ඇති අරාබි ඉලක්කම් ව්‍යවහාරයට ගන්නා ලදී.

(සටහන ලබා ගන්නා ලද්දේ කොළඹ කෞතුකාගාරයෙනි.)

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment