ප්‍රථම බොයින් අභ්‍යවකාශ ගමන හදිසියේ කල් දමයි

286

ඇමරිකාවේ නාසා ආයතනය විසින් ඊයේ (07දා) අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබූ බොයින් සමාගමේ ප්‍රථම ගගනගාමීන් රැගත් අභ්‍යවකාශ යානා ගමන අවසන් මොහොතේ ආරක්ෂණ පරීක්ෂාවක් වෙනුවෙන් කල් දැමීමට නාසා බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. ප්‍රකට බොයින් සමාගම විසින් නිපදවා ඇති අදාළ අභ්‍යවකාශ යානයට එහි ගමන් ගන්නා ගගනගාමීන් දෙදෙනා ඇතුළු වී සිටියදී එය අභ්‍යවකාශගත කිරීමට පැය දෙකකට පෙර මෙසේ හදිසියේ එම ගමන කල් දැමීමට පියවර ගෙන තිබේ.

බොයින් සමාගම මගින් නිපදවා ඇති අර්ධ වශයෙන් නැවත වතාවක් භාවිත කළ හැකි බොයින් ස්ටාර් ලයිනර් අභ්‍යවකාශ යානය මගින් ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ අතර ගගනගාමීන් වන බුච් විල්මෝ හා සුනී විලියම්ස් එම යානය තුළ ස්ථානගත වී සිටියදී එම ගමන කල් දමා ඇති බව වාර්තා වේ. අභ්‍යවකාශ යානයේ දෝෂයක් නොමැති වුවද එම යානය මුදා හරින ඇට්ලස් රොකට්ටුවේ ඔක්සිජන් සපයන වෑල්වයේ පැවති ගැටලුවක් හේතුවෙන් අදාළ අභ්‍යවකාශ ගමන කල් දමා ඇති බව නාසා ආයතනය විසින් නිවේදනය කර තිබේ. වසර ගණනක් තිස්සේ කල් දමමින් පැවති මෙම බොයින් අභ්‍යවකාශ යානා ගමන මෙම සිකුරාදා (10දා) ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් නැවත ගමන් ඇරඹීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment