මර්වින් සිල්වා රූපවාහිනියට කඩා වැදී යකා නැටූ නඩුව අවුරුදු 17ක් යනකම් සැකකරුවන් උසාවි දැම්මේ නැත්තේ ඇයි?

540

මහෙස්ත්‍රාත්වරියගෙන් පොලිසියට දැඩි දෝස් මුරයක්

හිටපු ඇමැති මර්වින් සිල්වා හා කුඩු නුවන් ඇප මත මුදාහරී

කුරුඳුවත්ත පොලිසියේ යටගිය නඩුව සී.අයි.ඩී.ය උඩ ගනී!

මෙයට වසර දාහතකට පමණ පෙර එනම් 2007.12.27 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට මැර පිරිසක් සමඟ කඩා වැදී රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ටී. එම්. ජී. චන්ද්‍රසේකර මහතාට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ දෙවන සැකකාර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හා පළමුවන සැකකාර බැස්ටියන් දොන් නුවන් උදය ගුණසේකර හෙවත් කුඩු නුවන් නමැත්තා රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (07දා) නියෝග කළාය.

එම නඩුවේ තෙවන සැකකාර ලාල් පීරිස් නමැත්තා විදේශ ගතවීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කළ අතිරේක මහෙස්ත්‍රත්වරිය එම සැකකරු විදේශ ගතවී ඇතිනම් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස නම් කොට තිබූ එවකට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ටී. එම්. ජී. චන්ද්‍රසේකර මහතා ඊයේ (07දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්‍ෂක කේ. එස්. ආරියරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි ලබාදුන්නේය. එම සාක්‍ෂිකරුගෙන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රසාද් සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන්ට හරස් ප්‍රශ්න ඇසීම සඳහා කල් ලබාදුන් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම සාක්‍ෂිකරුට ලබන ජූලි 15 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවා ද කළාය.

එනම් 2007.12.27 වැනිදා පෙරවරු 9.30-10.00ත් අතර තමා එදින සිය නිල මැදිරියේ රාජකාරියේ නිරතව සිටින විට එවකට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ මර්වින් සිල්වා මහතා තවත් 4-5 දෙනකු සමඟ පැමිණ “කෝ නිවුස් ඩිරෙක්ටරයා මම ඕකව එළියට ඇදල දමනවා” කියමින් නිල මැදිරියට ඇතුළු වූ බව සාක්‍ෂිකාර චන්ද්‍රසේකර මහතා සාක්‍ෂි කූඩුවේ සිට සාක්‍ෂි ලබාදෙමින් පැවැසීය.

අමාත්‍යවරයා තමාව දුටුවිට “ආ උඹ තමයි මට ඕන කළේ යැයි පවසා තමාව සිය නිල මැදිරියෙන් පිටතට ඇද දමන ලෙසට පළමු වන සැකකාර නුවන් නමැත්තාට නියෝග කළ බවත් එවිට නුවන් නමැත්තා තමා හැඳසිටි කමිසයේ කොලරයෙන් අල්ලා තමාව පිටතට ඇද දැමීමට උත්සාහ දරන විට ඔහුගෙන් බේරුණු තමා කාමරයෙන් එළියට පැන සභාපතිවරයාගේ නිල මැදිරියට ඉක්මන් ගමනින් ගොස් සිදුවූ සිද්ධිය ගැන ඔහුව දැනුවත් කළ බවත් සාක්‍ෂිකරු පැවැසීය.

එවිටම මර්වින් සිල්වා මහතා එම පිරිස සමඟ සභාපතිවරයාගේ නිල මැදිරියට ඇතුළු වූ බවත් තමා ඉක්මනින් ඉන් පිටවූ නිසා එහි සිදුවූයේ කුමක්දැයි නිසියාකාර නොදන්නා බවත් සාක්‍ෂිකරු පැවැසීය. තමා එළියට ගොස් සිටින විට එතැනට පැමිණි නුවන් නමැති පළමුවන සැකකරු නැවත තමාගේ කමිසයේ කොලරයෙන් අල්ලා පහරදුන් බවත් සිය නිලධාරීන් ඇතුළු පිරිසක් පැමිණ තමාව ඔහුගෙන් බේරාගත් බවත් පැවැසූ සාක්‍ෂිකරු තමා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර කොළඹ ජාතික රෝහලට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බවත් සාක්‍ෂිකරු වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් පැවැසීය.

පුරා වසර ගණනාවක් විධිමත් පරීක්‍ෂණයක් නොපැවැත්වීම නිසා ඒ පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට එම සාක්‍ෂිකරු පැමිණිලි කොට තිබූ අතර ඉන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන අනුව එම නඩුව පවරා තිබිණි. නීති මාධ්‍ය පර්ෂදයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනක පෙරේරා මහතා නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා සමඟ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය. දේශපාලන බලපෑම් නිසා විමර්ශන අඩපණ වී තිබූ සමයේ තුන්වන සැකකාර ලාල් පීරිස් නමැත්තා විදේශ ගතවී ඇති බැවින් එම සැකකරු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන ලෙස නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම සිද්ධිය සිදුවී වසර 17ක පමණ කාලයක් ගතවනතුරුත් විධිමත් ආකාරයෙන් විමර්ශනයක් නොපැවැත්වීම හා නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අතිරේක මහෙස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට සිය දැඩි අප්‍රසාදය පළ කළාය. අධිකරණය හමුවට කරුණු වාර්තා කර ඇතත් එම සැකකරුවන්ට ඇප නියම කිරීමට හෝ උසාවියට ඉදිරිපත් කිරීමට මෙතෙක් පියවර ගනුනොලැබුවේ ඇයිදැයි අතිරේක මහෙස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටියාය.

සිය දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරනු ලැබුවේ සිද්ධිය සිදුවී බොහෝ කලකට පසුව බවත් එකී විමර්ශනවලින් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් මත මොවුන් සැකකරුවන් ලෙස නම් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දෙනු ලැබීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment