පොතක් ලියා පළකිරීම ලේඛක, ප්‍රකාශක දෙපාර්ශ්වයටම අද වනවිට ගැටලුවක්

169

රාජ්‍ය සම්මාන ලාභී නවකතාකරු කෙටිකතා රචක හා ළමා කතා රචක ලීලානන්ද වික්‍රමසිංහ

රාජ්‍ය සම්මාන ලාභී නවකතාකරුවකු කෙටිකතා රචකයකු හා ළමා කතා රචකයකු වන ලීලානන්ද වික්‍රමසිංහ අප අතර සිටින ප්‍රතිභා සම්පන්න ලේඛකයෙකි. නවකතා, කෙටිකතා, ළමා කතා, නාට්‍ය හා තීරුලිපි අධ්‍යාපන ග්‍රන්ථ රැසක් රචනා කර ඇති ඔහුගේ අලුත්ම නවකතාව වන ‘කඳුකරයට ආදරයෙනි’ ගොඩගේ ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත් වී ඇත. ඒ ගැන කතුවරයා හා සමග කළ සංවාදයකි මේ.

ඔබ මුලින්ම නවකතා හා අනතුරුව කෙටිකතා සංග්‍රහ කීපයක් රචනා කොට අනතුරුව නවකතා දෙකක් ලියනවා මේ මාරුව සිදුවුණේ කොහොමද? කෙටිකතාවත් ලියනවාට වඩා නවකතාවක් ලියන එක පහසු යයි ඔබ කල්පනා කළාද?

නවකතාවක් ලියනවාට වඩා හොඳ කෙටිකතාවක් ලියන එක දුෂ්කර කාරියක්. එය ඉතා පටු මඟක සීරුවෙන් ගමන් කළ යුතු අමාරු කාරියක් වගේ. කෙටිකතාවේ මූලික ධාරණාවට චරිත හා සිදුවීම් කේන්ද්‍රීයව සම්බන්ධ කරන්නට ගියාම එය අතිශය වේදනාකාරීයි. නවකතාවේ විශාල වපසරියක වැඩෙන ගසක් වගේ අතු ඉති ලා ලියලන්නට ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. එහෙත් නවකතාවෙත් චරිත හා සිදුවීම තේමාවට අනුරූපව බද්ධ වන විට පරෙස්සමෙන් සකස් කරන එකත් ලේසි වැඩක් නෙවි. ඒත් හේතුව ඒකම නොවේ. කලක පටන් මේ නවකතාවට අදාළ වස්තු බීජය මගේ සිතේ තිබුණා. මම නිවීී සැනසිල්ලේ එයට වැඩෙන්නට ඉඩ හැරියා. සුදුසු කාලය ආවාම ලියන්නට පටන් ගත්තා.

පොතක් ලියා පළකිරීම ලේඛක, ප්‍රකාශක දෙපාර්ශ්වයටම අද වනවිට ගැටලුවක්

ඉන් පසු ඔබ නිවී සැනසිල්ලේ ලියාගෙන ගියා?

චරිතවලට සම්බන්ධ සිදුවීම් එකිනෙකට පටලැවී ඒවා නිරවුල් කර ගන්නත් සෑහෙන වෙහෙසක් දරන්නට වුණා. මම මගේ චරිතවලට සුදුසු සේ ක්‍රියා කරන්නට ඉඩ දුන්නාම කාරිය පහසු වුණා.

ඔබ කියන්නෙ ඔබ මැවූ චරිත ඔබව ඉක්මවා ගියා කියලද?

සමහර විට ඔව්, ඔවුන්ට මැදිහත් නොවී සිටීම වඩාත් සුදුසු යයි මට සිතුණා. මම ඔවුන්ට බලපෑමට ගියේ නෑ.

මේ නවකතාව ගොඩනැගීමේදී ඔබට බාධා මතුවන්නට ඇති?

අපොයි ඔව් මුලදී කතාව ආරම්භ කරන අයුරු ගැන දින ගණනාවක් කල්පනා කළා. පසුව තේමාවට සරිලන අන්දමේ මා ලැබූ හා මා ඇසූ දුටු වෙනත් අත්දැකීම් ප්‍රතිර්මාණය කරමින් කතාව ආරම්භ කළා.

මේ නවකතාවට ඔබ අපූරු නමක් යොදා තිබෙනවා. ඇයි එවැනි නමක් යෙදුවේ?

අපේ රටේ කඳුකරය ඇත්තෙන්ම ආදරණීය එකක්. අදාළ පසුතලය ඉදිවෙන්නේ ඒ මනරම් කතාවෙහි එන ප්‍රධාන චරිත දෙක වන ධනු හා මලර් සියලු ජීවන ගැටලුවලට මුහුණ දෙන්නෙත් එහි දීි.

එහෙත් ඔබ නවකතාවේ වර්ණනාවල දී කඳුකරයේ සුන්දර බව වෙනුවට එහි ඇති කටුක බව පෙන්නුම් කරනවා නේද?

ඇත්තෙන්ම මට එවැනි අදහසක් තිබුණෙ නෑ. එහෙත් කඳුකරයේ වතු ආශ්‍රිතව විශාල දෙමළ ජනතාවක් වාසය කරනවා. ඔවුන්ට අපට නොපෙනෙන හුඟාක් ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න බව මට තේරුණා. ඉතින් ඔවුන්ගේ චරිත ගොඩ නගන විට එම ගැටලු මතු කළ යුතු යයි මට සිතුණා. සිංහල මිනිසුන් තුළ පවතින සමාන ගත්ි ලක්ෂණ හා සිතුම් පැතුම් දෙමළ අයටත් පොදු බව පෙන්වන්නට මට සිතුණා.

ඔබ මෙම අදහස නවකතාව තුළින් මතු කළේ කොහොමද?

නවකතාවේ දැක්වෙන දෙමළ සම්භවයක් සහිත මලර් කාර්තිකා රාජේන්ද්‍ර වැනි අය මතුපිටින් සිනා දැක්වුවද ඇතුළතින් ඔවුන් නිගරු කිරීම් කොන්කිරීම් සමාන හිමිකම් අහිමිවිම් නිසා මානසික හා කායික අවපීඩනයෙන් පසුවන අයුරු දැක්වීමට ඇතැම් සිදුවීම් මම රූපණය කළා.

නවකතාව ඉදිරියට ගෙන යාමේ දී අපහසු වූ අවස්ථා තියෙනවාද?

මලර් හා ධනු එක්වීම අවස්ථා කීපයකදීම මට ගැටලු සහගත වුණා. මලර් වැන්දඹු ගැහැනියක්. මුල් සැමියාගේ මරණයත් ඒ වගෙ තැනක්. ඒත් ඒ අවස්ථාවල ගැටලුව ඔවුන්ටම විසඳා ගැනීමට දී මා නිහඬ වුණා.

පොත පතට ඉතා අවම ස්ථාවරයක් දෙන අද්‍යතන සමාජ ප්‍රවාහය තුළ ලේඛන කලාවට ඇතිවන අඳුරු ලොව ඔබ දකින්නෙ කොහොමද?

තත්ත්වය කිසිසේත් සතුටුදායක නැහැ. පොත් ලියා පළකිරීමෙන් ලේඛකයාත් ප්‍රකාශකයාත් යන දෙපාර්ශ්වයම ඉතා දුෂ්කර අඩියකයි ඉන්නේ. ප්‍රකාශකයා කියන්නෙ කඩදාසි, තීන්ත, මුද්‍රණ වියදම් අධික නිසා පොතක මිල වැඩි කරන බවයි. ඒක ඇත්ත උනත් මෙහිදී පොත් ගැනීමට පාඨකයාගේ උනන්දුව පහළ මට්ටමකට බහිනවා. පොතක් කියන්නෙ කරවල කිලෝවක් හෝ සිමෙන්ති කොට්ටයක් නෙවි. එය මිනිසාගේ ආකල්ප වඩාත් සාධනීය මගට හරවන දිව්‍ය ඔසුවක්.

අද දරුවන් පවා ස්මාට් ෆෝනයට යට වී ඕලාරික වින්දනයට කොටුවී ඉන්නවා. ඔවුන් බොහෝවිට පොත් කියවීමෙන් ඈත් වෙලා. අනාගතයේ අවම වින්දන පරාසයකට අයිති හිස් මනසකින් යුතු රොබෝවරුන් ගෙන් රට පිරී ගියොත් එය පුදුමයක් නෙවි. පොත පත කියවීමෙන් ලැබෙන වින්දනය හා ජීවිතාවබෝධය තාක්ෂණික උපකරණවලින් ලබා ගන්න බැහැ. ඒවායින් ලැබෙන සතුට තාවකාලිකයි. ඒත් පොත් කියවීමෙන් ලබන සතුට ජීවිතාන්තය දක්වා පවතිනවා.

මේ තත්ත්වය දැන දැනම ඔබ නිර්මාණකරණයේ යෙදෙනවා?

ගුවන් යානා කඩා වැටුණත් නැවත නැවතත් මිනිසුන් ඒවාට ගොඩ වී ගමන් බිමන් යනවා. ඒවගේම මා නිරත වන මේ කාරිය සමාජමය වශයෙන් තදබල ලෙස බලපානවා. මිනිසුන්ගේ ජීවිත පවා වෙනස් කරනවා පුදුම විදියට.

ඔබ සිතනවාද මේ තාක්ෂණීය සමාජ දේහය තුළ ලේඛකයකු වීම ආකර්ෂණීය දෙයක් කියලා?

ඔබ කියන දෙයෙහි සත්‍යයක් තියෙන්න පුළුවන්. ඒත් අඳුරේ සිහි මුළා වූ දෙඇස් ආලෝකය දෙසට යොමු කිරීමත් ඒක්තරා විදියකට අපූර්ව දෙයක් නේද? ඔබ කියන්නේ ලේඛකයාට අපේ රටේ පිළිගැනීමක් නැත කියා වෙන්න පුළුවන්. එහෙම වුණාට ලොව බොහෝ රටවල ලේඛකයන්ට ඇති පිළිගැනීම ඉතා ඉහළයි. එහෙත් මේ කාරියේ යෙදෙන්නේ ගරු නම්බු අපේක්ෂාවෙන් නම් නොවෙයි.

මට නම් ලේඛනය අත්හරින්නට බැහැ. එය මගේ ප්‍රාණය හා සමානයි. මා එයින් අපමණ සතුටක් ලබනවා. එය මිල කළ නොහැකියි. මා එය කිසි දෙයක් සඳහා මාරු කරන්නේ නැහැ.

පොත් කියවීමෙන් ලැබෙන වින්දනය හා ජීවිතාවබෝධය තාක්ෂණික මෙවලම්වලින් ලබා ගන්න බැහැ. ලැබුණත් එය තාවකාලික වින්දනයක්. ඒත් පොත් කියවන්නා සමීපයෙහි මරණ තෙක් ඉන්නවා. තාක්ෂණය අපට ප්‍රතික්ෂෙප කරන්න බැහැ. එහෙත් ඒවාට වහලුන් වී පොතපත නොසලකා හැරීම අනුමත කළ නොහැකියි.

සාකච්ඡා කළේ – විශ්‍රාමලත් මහාචාර්ය සුසිරිපාල මානවඩු
රුහුණ විශ්වවිද්‍යාලය
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment