ඇමෙරිකාවේ ප්‍රබලම රාජ්‍ය ලේකම්වරයා මියයයි

391

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටි බලවත් හා බලපෑමක් සිදු කළ හැකි මට්ටමේ සිටි ප්‍රබලම රාජ්‍ය ලේකම්වරයකු වූ හෙන්රි කිසින්ගර් වයස අවුරුදු 100ක් ආයු වළඳා පෙරේදා (29) සිය නිවසේදී මියගොස් තිබේ. රිචඩ් නික්සන් හා ජෙරල්ඩ් ෆෝඩ් යන ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ පාලන සමයන්හි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හා ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කර ඇති හිටපු රාජ්‍ය ලේකම් කිසින්ගර් ඇමෙරිකාවේ කනෙක්ටිකට් නගරයේ පිහිටි සිය නිවසේදී මියගොස් ඇති අතර ඔහුගේ මරණයට මුල්වූ හේතුව අනාවරණය වී නොමැත.

ඇමෙරිකාව හා පැරණි සෝවියට් දේශය අතර සීතල යුද්ධයක් (කෝල්ඩ් වෝ) පැවති සමයේ ඇමෙරිකානු රජය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ කිසින්ගර් උපතින් යුදෙව් ජාතිකයකු වන අතර ඔහු වයස අවුරුදු 15දී නාසි ජර්මනියෙන් ඇමෙරිකාවට පැන ආ අයකු ලෙසද ප්‍රකටය. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ධුරයට පත් ප්‍රථම යුදෙව් ජාතිකයාද වන අතර ඇමෙරිකානු රජයේ වගකිවයුතු නිලධාරියකු ලෙස කටයුතු කිරීමේදී සෑමවිටම සිය යුදෙව් ජාතික පදනම පසෙකලා කටයුතු කරනු ලැබීය. ඇමෙරිකාව සමග චීනය හා රුසියාව පැවැත්වූ සබඳතා දියකර දැමීමට මුල් වූ තැනැත්තා කිසින්ගර් බව ප්‍රකටය. ඔහුගේ මැදිහත්වීමෙන් විසඳුණු ලෝක අර්බුදයන් අතර වියට්නාම යුද්ධය අවසන් කිරීම, 1973 වසරේදී ඇරඹුණු අරාබි – ඊශ්‍රායල අර්බුදය විසඳීම ප්‍රධානය. ඔහු විසින් ලෝක සාමය උදෙසා කරන ලද සේවය අගයමින් 1973 වසරේදී ඔහුට හා උතුරු වියට්නාම නායකයාට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිණි.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පෙර සිටම යුක්‍රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නවාට විරෝධය පෑ කිසින්ගර් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්‍රේනයේ භූමිය රුසියාවට ලබා දිය යුතු බව ප්‍රකාශ කර තිබිණි. ඔහු බොහෝ දෙනකුට වීරයකු වුවද ඔහුගේ විවේචකයන් පවසනුයේ කිසින්ගර් වියට්නාම යුද්ධයේදී යුද අපරාධකරුවකු ලෙස කටයුතු කළ බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment