O/L ගණිතය ගොඩදාන්න හැදූ – ගුරු ගෝල සූත්තරය ලත් තැනම ලොප්වෙලා

622

බිබිල අධ්‍යාපන කලාපයට අයත් වෙල්ලස්ස ජාතික පාසලේ ශාලා අංක දෙකෙහි පෙරේදා (06 දා) පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය (1) ප්‍රශ්න පත්‍රය ජංගම දුරකථනයක් මඟින් ඡායාරූප ගතකොට ගුරුවරයකුට අයත් මිනි ලැප්ටොප් පරිගණකයේ වට්ස්ඇප් වෙත යොමුකර ඒ සඳහා අදාළ ගුරුවරයාගෙන් පිළිතුරු ලබාගෙන ලියමින් සිටි විභාග අපේක්‍ෂිකාවක් විභාග ශාලා නිරීක්ෂණය කරන ගුරු භවතාට හසුවී ඇත.

මෙම අපේක්‍ෂිකාව දෙවැනි වර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව සිටින අතර මොනරාගල වෙල්ලස්ස ජාතික පාසලේ 12 වැනි වසරේ ගණිත විෂය ඇපයට තබා කලා අංශයෙන් උසස්පෙළ හදාරන ශිෂ්‍යාවකි.

ශාලා අංක 02 වෙත පිවිසීමේදී ඇය ජංගම දුරකථනය සඟවා ගෙනැවිත් ප්‍රශ්න පත්‍රය ලද පසුව මෙම වංචාව සිදුකර ඇත.

ඇයට මෙලෙස පිළිතුරු යොමුකර ඇත්තේ වෙල්ලස්ස ජාතික පාසලේ 11 වැනි වසරේ ගණිත විෂය උගන්වන ගුරුවරයෙකි.

සිද්ධිය පිළිබඳව බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. ජේ. සුසිල් විජේතිලක මහතාගේ උපදෙස් පිට මහියංගණය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. එම්. එස්. ඩී. ඩයස් යන අය විසින් ශිෂ්‍යාව භාවිතා කළ ජංගම දුරකතනය සිය භාරයට ගෙන අදාළ වංචාවට සහාය දුන් ගුරුවරයා බිබිල අධ්‍යාපන කලාපයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇත. බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment