ගජේන්ද්‍ර කුමාර් අල්ලයි – ලක්‍ෂ 05ක ඇප මත මුදාහරී

197

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරකම් කිරීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් මරදන්කේනි පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඊයේ (07දා) සවස කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පන්ලක්‍ෂයක ශරීර ඇපයක් මත මුදාහැරිණි.

කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව මහතාගේ අධීක්ෂණය යටතේ පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ පෙරවරුවේ කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.

කිලිනොච්චිය මරදන්කේනි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසල රැස්වීමක් පැවැත්වීමට සැකකාර මන්ත්‍රීවරයා උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඊට විරුද්ධ වී ඇත.

ඒ අවස්ථාවේ පොන්නම්බලම් මන්ත්‍රීවරයා එහි රාජකාරියේ නිරත වී සිටි පොලිස් නිලධාරීන්ට ඉතාම අශෝභන ආකාරයට බැන වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කර තිබේ.

එහි සිටි බුද්ධි අංශ නිලධාරියකු සිය ග්‍රහණයට ගෙන ඔහුට දැඩි බලපෑම් එල්ල කිරීමට ද මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටයුතු කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මරදන්කේනි පොලිසිය කිලිනොච්චිය අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකාර මන්ත්‍රීවරයා රටින් පලා යෑම වැළැක්වීම සඳහා විදේශ ගමන් වාරණයක් ලබා ගත්හ.

පසුව අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මරදන්කේනි පොලිසියේ නිලධාරීන් පිරිසක් කොළඹට පැමිණ ඇත.

ඊයේ පෙරවරුවේ සැකකාර මන්ත්‍රීවරයාගේ නිවසට පොලිසිය ගිය අවස්ථාවේ තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව දැඩි විරෝධතාවක් දැක්වීමට එම මන්ත්‍රීවරයා කටයුතු කළේය.

ගජේන්ද්‍ර කුමාර් මහතා ඒ අවස්ථාවේ සිය ජංගම දුරකථනයෙන් කථානායකවරයා ද සම්බන්ධ කරගෙන මේ පිළිබඳව දැනුම් දීමක් කළේය.

අධිකරණ නියෝගයක් ඇති පොලිසියේ රාජකාරියට බාධා නොකරන ලෙස කථානායකවරයා එහිදී උපදෙස් ලබාදී ඇති අතර පසුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන් සමග මරදන්කේනි පොලිසිය වෙත පැමිණ තිබේ.

මේ අතර කිලිනොච්චිය අධිකරණය ලබාදුන් විදෙස් ගමන් තහනම පිළිබඳව දැනුම් දීමට කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පෙරේදා (06 වැනිදා) රාත්‍රියේ ගජේන්ද්‍ර කුමාර් මහතාගේ නිවසට ගිය අවස්ථාවේ එම නියෝගය සිංහල භාෂාවෙන් සටහන් කර තිබෙන බැවින් එය පිළිගත නොහැකි බව පවසා ඇත. පසුව පොලිස් නිලධාරීන් විසින් එම නියෝගය කියවා පැහැදිලි කර දීමට කටයුතු කර තිබිණි.

මරදන්කේනි පාසල අසල මෙම සිද්ධිය වන අවස්ථාවේ සැකකාර මන්ත්‍රීවරයා සමග සිටිමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ කාන්තාවක් සහ තවත් පුද්ගලයකු මහෙස්ත්‍රාත්වරයා විසින් ඊයේ ඇප මත මුදාහැර තිබිණි.

කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජිව මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු සහ දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment