තෑ – ගුටි

873

(මේ රටේ මුදල් ආයෝජනය කළ ඕමානයට තෑගි වශයෙන් ගුටි දීම ගැනයි)

ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින පස් බිස්නස් කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර කණ්ඩායමක් කටානේ පිහිටි ඇඟලුම් කම්හලකට කඩා පැන එහි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඕමාන් ජාතිකයකුටත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාටත් නැවකට ගුටි දී අදාළ පරිශ්‍රයේ පිහිටි දේපළද විනාශ කර පලාගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විභාග කරන බඩල්ගම පොලිසිය පස් දේශපාලනඥයාගේ මැර කල්ලියේ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ මැර කල්ලිය පාලනය කරන දේශපාලනඥයාගේ නම ……. (සුදුසු නම ඔබට යොදාගත හැකිය) ය. සිද්ධියෙන් අත පය තලාගත් ඕමාන් ජාතිකයා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබයි. එපමණටම තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. ඕමාන් ජාතිකයාට සල්ලි ඇති බැවින් ඔහු ජ’පුර රෝහලේ ගෙවන වාට්ටුවක සිටිනවා ඇත. මීගමුව රෝහලේ ගෙවන වාට්ටු නැත. ගුටි කෙළියට පසුබිම් වන කතාව මෙසේය. පස් ඇමැතිගේ ගෝලයෙක් ඇඟලුම් කම්හලට පැමිණ තමන්ට අයත් වෑන් රියක් කුලී පදනම මත හයර් එකට ගන්නා ලෙස ඉල්ලා ඇත. එවිට කළමනාකාරිත්වය දන්වා ඇත්තේ දැනට එවැන්නක් කිරීමට තමන් සතුව ප්‍රතිපාදන නැති බැවින් පසුව දැනුම් දෙන බවය. එයින් මළ පිනූ හෙයින් පස් ඇමැතිගේ ගෝලයා ඇඟලුම් කම්හලේ ප්‍රධානීන්ට තර්ජනය කොට පලාගොස් ඇත. එදාම රෑ 10.30 ට පමණ වාහන හයර් කරන මැරයා ඇතුළු තවත් පස් දෙනකු කම්හලට කඩා පැන ඕමාන් ජාතිකයාටත් ආරක්ෂක නිලධාරියාටත් ගුටි දී දේපළද විනාශ කර ඇත. ඉහත සඳහන් කම්හල ආයෝජන මණ්ඩලය යටතේ මෙරටට ගෙන ආ ව්‍යාපෘතියකි. මෙහි ඇති භයානකම කාරණය ඕමාන් ජාතිකයා හෝ ආරක්ෂක නිලධාරියා ගුටි කෑම නොවේ. ඔවුන්ගේ තුවාල බෙහෙත් දමා සනීප කළ හැකිය. අප බිය විය යුත්තේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඕමාන් තානාපති කාර්යාලය අපේ විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කර තිබීමය. ඕමානය යනු ලෝකයේ වැඩිම ඒක පුද්ගල ආදායමක් තිබෙන රටකි ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් තුන් හාරදාහක් වෙද්දී ඕමානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 23,000 ඉක්මවයි. මේ රටේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන් එකසිය එකොළහකි. ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 73 කි. ඒ නිසා ඕමානය අපට බොහෝ ඉදිරියෙන් සිටින බව අප දැනගත යුතු අතර එකී රට තුළ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සේවය කරන බවද කල්පනාවට ගත යුතුය.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් විසින් මැර කණ්ඩායම් නඩත්තු කිරීම ලොකු ප්‍රශ්නයක් වී තිබේ. 1977 දක්වා මේ රටේ සිටියේ ගමේ චන්ඩි පමණකි. ඔවුහු දේශපාලන චන්ඩි නොවූහ. 1977 න් පසු දේශපාලන චන්ඩි නමැති සංකල්පය බිහිවී ක්‍රමයෙන් ප්‍රසාරණය වීමට පටන් ගත්තේය. ඇමැති වෙනුවෙන් සියලු දහදුරා වැඩ කිරීමත්, කප්පම් එකතු කිරීමත් මෙකී දේශපාලන චන්ඩි නමැති බත් බැලයන් විසින් කරනු ලැබේ. මෙයට කලකට පෙර රාජපක්ෂවරුන් මේ රට කරන සමයේදී දකුණේ සිට පැමිණ රාජපක්ෂවරුන්ගේ දෙපා ලෙවකමින් සිටි දකුණේම මිනිහෙක් දේශපාලනඥයෙක් බවට පත්විය. පසුව කැලණියේ සංවිධායක ලෙස පත්කෙරුණු මේ අමනයා දූෂණ ක්‍රියා රැසක් කළේය. කැලණිය නගා සිටුවීමට යැයි කියමින් සංවිධානයක් පිහිටුවාගත් හෙතෙම ඒ හරහා කප්පම් එකතු කිරීමට පටන් ගත්තේය. මේ රටේ කුඩු වෙළඳාමෙහි ප්‍රමුඛ coordinator කෙනකු වූ කුඩු ලාල් නමැත්තා එම දේශපාලනඥයාගේ ප්‍රමුඛ ශ්‍රාවකයෙක් විය. කුඩු ලාල් යනු තමන් ජීවත් වූ නිවසේම පාතාල උසාවියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි. පසුව ගෝඨාභය රාජපක්ෂට බියෙන් ඔහු රටින් පැන ගියේය. කුඩු ලාල් සහ මැර ගෝල බාල පිරිස සිය ප්‍රධානියා වූ දේශපාලනඥයා යටතේ සිට ඉතා නීච ක්‍රියාවලියක් පවත්වාගෙන ගියේය. දැන් මේ දේශපාලනඥයා බලයේ නැත. ඔහු වීසි වී ගොස් ඇති අතර දැනට කරන්නේ පුවත්පත් සාකච්ඡා පවත්වමින් ආණ්ඩුවට බැන වැදීමය. හැබැයි ආණ්ඩුව ඔහුට රාජ්‍ය ඇමැතිකමක් දුන්නොත් රාජපක්ෂවරුන්ගේ දෙපා ලෙව කෑ පරිදිම රනිල් වික්‍රමසිංහගේ දෙපා ලෙව කෑමද මේ දේශපාලනඥයා විසින් සිදුකරනවා ඇත.

ඕමාන් ඇඟලුම් කම්හලට ස්වකීය මැරයන් පහරදුන් බවක් සමහරවිට පස් දේශපාලනඥයා නොදන්නවා විය හැකිය. එහෙත් මේ ප්‍රහාරයේ වගකීම සිදුකර ඇත්තේ ඔහුගේ ගෝලයන් බැවින් ඔහු එම වගකීම භාරගත යුතුමය. ලංකාවේ ආයෝජනය කිරීමට ගොස් තමන්ට තෑගි වශයෙන් ගුටි ලැබීම සම්බන්ධයෙන් ඕමානය කුමක් කල්පනා කරනවාද යන්න අපි නොදන්නෙමු. මෙහි තිබෙන රාජතාන්ත්‍රික ඇදය දිගහැරීම මහත් සේ අපහසු කාරණයකි. ණයට සල්ලි සහ තෙල් ලබාගැනීම සඳහා ඕමානය ඇතුළු මැද පෙරදිග රටවල් අපට හැමවිටම අවශ්‍ය වේ. එහෙත් පස් දේශපාලනඥයාගේ පස් අදින මී හරක් රැලට ඒ බවක් නොතේරේ. ඕමාන් ඇඟලුම් ආයතනයට වෑන් එකක් හයර් එකට දීමට ගොස් මෙකී මැර පිරිස විසින් ඇතිකරන ලද භයානක තත්ත්වය දෙරට අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාව පලුදු කිරීමට ඉඩ තිබේ. මේ සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා ලෙස අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් තරයේ ඉල්ලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment