ලොකු ලූනුමහත් අගයක්

561

‘බොම්බයි ලූනු’ ඉන්දියන් නාමයකි. බී ලූනු, ලොකු ලූනු, රට ලූනු තවත් නම් කිහිපයකි. ලොකු ලූනු සුද්ධ කරනවිට මිනිසුන්ගේ ඇස් රතු වන තරමට සැරය. එහෙත් දැන් මිනිසුන්ගේ දෑස් රතු වනුයේ ලූනුවල සැරට නොව, මිල දකින විටය. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති මගෙඩ් මොශ්ලේහ් මහතා අතර සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. එහිදී අමාත්‍යවරයා ඊජිප්තුවෙන් මෙරටට ලූනු ගෙන්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද තානාපතිවරයාගෙන් විමසා තිබෙන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. ඉන්දියානු ලොකු ලූනු යළි මෙරටට එන බවක් ප්‍රකාශ වුවද මෙතෙක් ලොකු ලූනු මිල පහළ බැස නැත. එළවළු මිල පහළ බැස තිබුණද ලොකු ලූනු මිල ඇස් නිලංකාර කරවයි. නමුත් රතු ලූනු මිල නම් පහළ බැස තිබේ. මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 250,000ක් තරම්ය. එහෙත් රට තුළ නිපදවෙන්නේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි. ඉකුත් කාලයේදී විවිධ ගැටලු නිසා මෙරට සරුවට ලොකු ලූනු වගා කළ නොහැකි විය. බීජ, අමුද්‍රව්‍ය, යෙදවුම් මිල අතිශයින් ඉහළ යෑම ඒ අතුරෙන් කැපී පෙනිණ. වාර්ෂිකව ඒවා ආනයනයට විශාල විදේශ විනිමයක් වැය වෙයි. එසේම, ආනයනික බීජ ගුණාත්මක බවෙන් අඩු බවත්, එහි අස්වනු අඩු වීමත් ගොවීන්ගෙන් නැඟුණු මැසිවිලි අතර විය. දේශීය ලොකු ලූනු බීජ ලබා දෙන බව පවසා ගොවීන්ගෙන් ලක්ෂ 50 කට අධික මුදල් වංචාවෙන් ලබාගත් බව කියන පුද්ගලයකු සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගත් පුවතක්ද පසුගියදා අසන්නට ලැබිණි. දඹුල්ල අවට දේශීය ලොකු ලූනු ගොවීන් 50ක් පමණ දෙනා දඹුල්ල පොලිසිය ඉදිරිපිටට පැමිණ මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දඹුල්ල නගරයේම පිහිටි ගොවි සමාගමක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ලොකු ලූනු වැඩි වශයෙන් වගා කරනු ලබන්නේ මාතලේ, අනුරාධපුරය, පොලොන්නරුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සහ මහවැලි එච් කලාපයට අයත් ප්‍රදේශවලය. ලොකු ලූනු මුහුදු මට්ටමේ සිට මී. 2000 දක්වා වූ ප්‍රදේශයන්හි වගා කළ හැකි බෝගයකි. එහෙත් වගා කාලසීමාව තුළ ලැබෙන වර්ෂාපතනය මි. මී. 750ක් (අඟල් 30) නොඉක්මවිය යුතුය. වගාවේ ආරම්භයේදී මෙන්ම අවසාන කාල සීමාවේදී ද තද වර්ෂාව පැවතීම සුදුසු නොවේ. මේ දේශගුණික තත්ත්වයන් පවතින ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ යල කන්නයේදී ජල සම්පාදනය යටතේ ඉතා සාර්ථකව ලොකු ලූනු වගා කළ හැකිය.

පිටකොටුවේ ලූනු වෙළෙඳුන් සඳහන් කරන්නේ ජනතාව මිල අධික ලොකු ලූනු මිලදී ගැනීමෙන් බැහැර වී ඇති අතර රතු ලූනු සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවය. මේ වන විට පාකිස්ථානයද ලූනු අපනයනය නවතා දමා තිබේ. එනිසා චීනය, තුර්කිය හා ඕලන්දය වැනි රටවලින් ලොකු ලූනු ආනයනය කිරීමට ලොකු ලූනු ආනයනකරුවෝ පියවර ගනිමින් සිටිති. කවරක් නමුත් ලංකාවේ ලොකු ලූනු තරම් වෙන කොහෙවත් ලූනු අපට රස නැත. එහෙත් අපට අපේ රටට අවශ්‍ය ප්‍රමාණයට ලොකු ලූනු අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිවීම කනගාටුදායකය. මේ ලක් දූපතේ වගාව සඳහා යන වියදම වැඩිවීම බරපතළ ප්‍රශ්නයකි. එනිසා ඉන්දියාවෙන් ලොකු ලූනු ගෙන්වීම වඩා ලාභදායකය. නමුත් මෝදි ආණ්ඩුව ලොකු ලූනු අපනයනයට තහංචි පැනවීම නිසා බඩේ පාර වැදුනේ මෙරට වැසියන්ටය. එම නිසාම කුස්සියේ ලොකු ලූනු වලට මහත් අගයක් නියම විය.

advertistmentadvertistment
advertistmentadvertistment