සෞඛ්‍ය අතිරේක ලේකම්ගෙන් ඖෂධ මගඩියේ මුල් පුරුක් ගැන අද රහස් ප්‍රකාශයක්

392

ජනතාවගේ බදු මුදල් බිලියන දෙකක් ගිලලා: මොහුත් මහමොළකාරයෙක්
හිටපු ඇමැතිගේ ඇඟේම ගහලා බේරෙන්න දෙන්න බෑ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීම ඇතුළු චෝදනාවල දසවන සැකකරු ලෙස නම්කර අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් රහස්‍ය ප්‍රකාශයක් සටහන් කිරීම සඳහා ඔහු අද (04 දා) තමන් හමුවට ඉදිරිපත් කරන ලෙසට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කළාය. එමෙන්ම ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියම කෙරිණි.

එම එන්නත් මිලදී ගැනීම හා සියලු ක්‍රියාවලිය පිළිබඳව තමා දන්නා තොරතුරු මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලෙස අනාවරණය කිරීමට සූදානම් බවත්, ඒ සඳහා අවසර ලබාදෙන ලෙසත් සැකකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් කළ ඉල්ලීම අනුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝග කළාය.

එම සැකකරු අධිකරණ නියෝග අනුව ප්‍රකාශයක් ලබාදීමට පසුගිය 1 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර පැය නමයකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු, එදින රාත්‍රි ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. එම සැකකරු පෙරේදා (02 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙලෙස ප්‍රකාශ කළාය.

‘ස්වාමීනී, මේ සැකකරු ඔබතුමියගේ ගරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නේ රජයට අයත් රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි. මෙම සැකකරු තමයි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි අවශ්‍යතාවක් ලෙස පෙන්වා ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ. ඔහු කියනවා මේ නඩුවේ අටවන සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත එය සකස් කළා කියලා. ඖෂධ මිලදී ගැනිමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබියදී තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අවභාවිත කරලා ප්‍රශ්නගත ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දියත් කරලා තියෙන්නේ. මෙම සැකකරු අටවන සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ එක්ව හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමුවීම සඳහා ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ වංක චේතනාවෙන් බව මෙතෙක් සිදුකළ විමර්ශන අනුව පැහැදිලි වෙනවා.

නොතිබූ හදිස්සියක් මවාපාලා ඖෂධ 285 ක් සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමුකර ඇත්තේම රටේ ජනතාවගේ රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක්. සාපරාධි සාවාද්‍ය පරිහරණය කිරීමේ චේතනාවෙන් බව පැහැදිලියි. වෛද්‍ය සැපයුම් අංශයේ ලේඛන මතම රට තුළ ඖෂධ හිඟයක් ඇති බව නිගමනය කළ නොහැකි බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා. ව්‍යාජ හිඟයක් මවාපා ඖෂධ 182 ක් පිළිබඳ ගැසට් පත්‍රයට අදාළ මුල් ගොනුව මේ සැකකරු යටතේ පවත්වාගෙන ගොස් තිබෙන බව අනාවරණය වී තිබෙනවා. නමුත් ඔහු කියන්නේ ඊට අදාළ කිසම මුල් ලේඛනයක් ඔහු සතුව නොමැති බවයි. අමාත්‍ය සම්බන්ධීකරණ කමිටුවේ නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ විමසූ විට ඔවුන් කියන්නේ ඔවුන් සතුව ඇත්තේ පිටපත් පමණක් බවයි. ප්‍රසම්පාදන කටයුතු භාරව සිටි ස්ථිර නිලධාරියා 2006 වසරේදී ඉවත් කරලා හයවන සැකකරු වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත එම තනතුරට පත්කිරීමට කටයුතු කරලා තියෙන්නෙත් මෙම සැකකරු තමයි.

එතෙක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පරීක්‍ෂා කිරීම් සිදු කළ තාක්ෂණික කමිටුව වෙනුවට ඇගයීම් කමිටුවක් පත්කරලා තිබෙනවා. එම ඇගයීම් කමිටුවේ සාමාජිකයන් ලෙස මේ වනවිට රටින් පලාගොස් සිටින වෛද්‍ය ජනනාත් බුත්පිටිය සහ වෛද්‍ය තුසිත සුදර්ශන කටයුතු කරලා තියෙනවා. ප්‍රශ්නගත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අභිලාෂ කැඳවිමටත් ලියාපදිංචි නොවූ අයදුම්කරුවන්ට ඖෂධ සැපයීමට හැකිවන ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලිහිල් කිරීමටත් මේ සැකකරු සම්බන්ධ වෙලා තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම සැකකරු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය. එහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ කංචන රත්වත්තේ මහතා මෙසේ පැවසීය. ස්වාමීනි, මගේ සේවාදායකයා ඔබතුමිය හමුවේ ඔහු දන්නා තොරතරු පිළිබඳ ප්‍රකාශයක් කරන්න අවසර ඉල්ලා සිටිනවා.

මහෙස්ත්‍රාත්වරිය: සැකකරුට මා ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් දෙන්න පුළුවන්. නමුත් එම ප්‍රකාශය පාපොච්චාරණයක් ලෙස සලකා ඔහුට එරෙහිව සාක්ෂියක් ලෙස යොදාගන්න පුළුවන්. ඉන්පසුව ඔබව රජයේ සාක්ෂිකරුවෙක් කරනවා ද නැතිනම් තවදුරටත් සැකකරුවෙක් ලෙස සලකා කටයුතු කරනවා ද කියලා තීරණය වේවි. ඒ නිසා හොඳට හිතා බලලා කියන්න.

ඒ අනුව සැකකරු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කළ නියෝගය අවලංගු කර අද (04 දා) දක්වා පමණක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය ඔහුව එම නඩුවේ සෙසු සැකකරුවන්ගෙන් වෙන්ව රඳවා තබන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment