ආණ්ඩුව නිහඬ නම් සටන දැඩි කරනවා

105

ඊයේ නිල ඇඳුම ගැලවූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කියයි

ලබාදීමට අනුමත කළ දසදහසේ දීමනාව සහ අනිකුත් ඉල්ලීම් පිළිබඳව රජය අවධානය යොමු නොකරන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

මෙම ඉල්ලීම් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා එම සංගමයේ හෙද හෙදියෝ ඊයේත් (6 දා) නිල ඇඳුම් වර්ජනය කරමින් සාමාන්‍ය ඇඳුමින් සැරසී රෝහල් සේවයේ නිරත වූහ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අනුමත කර තිබූ රුපියල් දසදහසක දීමනාව සහ තවත් ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේ ද පැවසූහ.

අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන්ට සහ රජයට අනතුරු අඟවනවා විසඳුම් ලබා දෙන්න කියලා. ඔවුන් නිහඬව සිටියොත් ඉදිරියේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් ව්‍යාප්ත කරන්න සිදුවෙනවා. සාරි ඇන්දත්, ගවුම් ඇන්දත්, කලිසම් ඇන්දත් රෝගී සත්කාර කළ හැකියි. නමුත් ප්‍රශ්නයට උත්තර අවශ්‍යයි.

සුජීව තත්සර

සෞඛ්‍ය සටන කල්දමයි – ගැටලුව කමිටුවකට

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහ වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් කමිටුවක් පත් කළ අතර එය ඉදිරි සතිය තුළ ස්ථාවර පිළිතුරක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට තීරණය කරන ලදී.

මෙම තත්ත්වය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව හෙට දිනයේ සිට යෝජනා කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය තවත් එක් සතියකින් කල් දැමීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කරන ලදී.

මෙම කමිටුවේ තීරණය පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරන අතර යම් හෙයකින් විසඳුම් ලබාදීම ප්‍රමාද කරන්නේ නම් නැවත වර්ජන ක්‍රියාමාර්ගයන්ට අවතීරණය වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment