අධ්‍යයන නිවාඩු ගෙන රට ගිය 9 දෙනකුගෙන් පොල් පර්යේෂණ මණ්ඩලයට කෝටි 5ක පොල්ලක්

325

පොල් පර්යේෂණ මණ්ඩලයේ බැඳුම්කර ගිවිසුම් කඩකළ නිලධාරින් 09 දෙනකුගෙන් රුපියල් පන්කෝටි දෙලක්ෂ තිස්නවදහස් හත්සියහැත්තෑවක් (50,239,770) අයවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

පොල් පර්යේෂණ මණ්ඩලයේ සේවය කරමින් සිටියදී අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරින් 06 දෙනකු මණ්ඩලය සමග ඇති කරගත් ගිවිසුම් උල්ලංඝනය කරමින් යළි සේවයට වාර්තා කොට නොතිබුණි. එම සේවකයින්ගෙන් අයවිය යුතු මුදල රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂ අසූදෙදහස් තිස්පහකි (13,582,035). එමෙන්ම මණ්ඩලයේ අධ්‍යයන නිවාඩු ලබාගත් පර්යේෂණ නිලධාරින් තිදෙනකු ගිවිසුම් ප්‍රකාරව අධ්‍යයන නිවාඩු අවසන් කර සේවයට වාර්තා කර තිබුණ ද වසර තුන හතරක සේවයෙන් පසු ඔවුන් අනිවාර්ය සේවා කාලය ද ඉක්මයෑමට පෙර මණ්ඩලයේ සේවය හැරගොස් තිබුණි. මෙම පර්යේෂණ නිලධාරීන් තිදෙනාගෙන් මණ්ඩලයට අයවිය යුතු බැඳුම්කර වටිනාකම රුපියල් තුන්කෝටි හැටහයලක්ෂ පනස්හත් දහස් හත්සියතිස්පහකි(36,657,735).

මේ පිළිබඳව පොල් පර්යේෂණ මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ සේවා ගිවිසුම් කඩකළ නිලධාරීන් 6 දෙනකුට එරෙහිව නඩු පවරා ඇති බවත්, අනික් නිලධාරින් තිදෙනාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත්ය. පොල් පර්යේෂණ මණ්ඩලය සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කොට තිබුණි.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment