හරක් කටා සහ කොස්තාපල් මාතර වෙරළට ගෙන යෑමේ කොන්ත්‍රාත්තුව ගත් 2 ක් දැලේ

1751

සැලසුම ඩුබායි පැන්න මිදිගම රුවන්ගේ

ආරක්‍ෂකයන්ට වෙඩි තබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායෑමෙන් පසු හරක් කටා සහ පොලිස් කොස්තාපල්වරයා මාතර වෙරළ තීරය වෙත රැගෙන යෑමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (23 දා) අත්අඩංගුවට ගෙන ඇත.

හරක් කටා සහ පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගිය පසු ඔවුන් දෙදෙනා සුරක්‍ෂිතව රැගෙන යෑමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි සැකකරුවන් සියලු දෙනා සහ ඒ සඳහා යොදාගත් මෝටර් රථය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකයන් වන අතර ඔවුහු මාතර හා මිදිගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

හරක් කටා මාතර දක්වා රැගෙන යෑමට සූදානමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට මෝටර් රථයක පැය කිහිපයක් තිස්සේ රැඳී සිට ඇත්තේ මෙම දෙදෙනා බව හඳුනාගෙන ඇත. හරක් කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායෑමෙන් පසු ඔහු ඩුබායි වෙත ගෙන්වා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ඩුබායි හි සැඟවී සිටින මිදිගම රුවන් නමැති පාතාල ප්‍රබලයා බවට මේ වන විට හඳුනාගෙන ඇත.

හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු වන මිදිගම රුවන් මාස කීපයක සිට මෙම සැලසුම සකස් කර ඇති අතර ඔහු මෙරට සිටින හරක් කටාගේ කල්ලියේ සාමාජිකයන් සම්බන්ධ කරගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව ද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිව්දෙනාව රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවාගෙන කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කරගෙන යයි.

ඉකුත් 10 වැනිදා හරක් කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිය ආරක්‍ෂාවට සිටි විශේෂ කාර්ය බළකා නිලධාරියාට පහර දී පිස්තෝලය පැහැරගෙන පලායෑමට උත්සාහ කළ අතර පසුව එය ව්‍යර්ථ විය.

ඒ අවස්ථාවේ හරක් කටාට සහාය දුන් පොලිස් කොස්තාපල්වරයා පලාගිය අතර ඔහු පිළිබඳව මේ වනතුරුත් තොරතුරක් නැත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ නෙවිල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විමර්ශන පැවැත්වේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment