ආණ්ඩුවෙන් විපක්‍ෂයට ගිය 43 දෙනා කෝප් – කෝපා කමිටුවලට නෑ – දයාසිරි ජයසේකර

259

ආණ්ඩුව නියෝජනය කොට විපක්ෂයට ගොස් සිටින ස්වාධීන මන්ත්‍රීවරුන්ට පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) ඇතුළු කාරක සභා සඳහා සාමාජිකත්වය ලබා නොදීම සහ අදහස් දැක්වීමට කාලය ලබා නොදීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) දැඩි උද්වේගයෙන් අදහස් පළ කළහ.

එහිදී ඇති වූ උණුසුම් සංවාදය මෙසේය.

දයාසිරි ජයසේකර මහතා- ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවේ සිටි 43ක් විපක්ෂයට පැමිණ ස්වාධීනව වැඩ කරන්න පටන් ගත්තා. නමුත් පාර්ලිමේන්තු කමිටු පත් කිරීමේදී මේ 43 දෙනාගෙන් කිසිම කෙනෙක් කිසිම තේරීම් කාරක සභාවකට පත් කරලා නෑ. තේරීම් කාරක සභා පත් කිරීමේදී මේ 43 දෙනාගේ අදහස් ගත්තේ නෑ. අපේ නියෝජනය නොතිබීම නිසාම විශාල අර්බුදයක් ඇති වෙලා. අපේ වරප්‍රසාද අහිමි කරලා. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා තමයි මගේ නම කෝප් කමිටුවට දැම්මේ. හැබැයි අද මගේ නම කෝප් කමිටුවෙන් ඉවත් කරලා. මම විතරක් නොවෙයි. කෝපා කම්ටුවේ හිටපු විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නමත් කපලා. තිස්ස විතාරණ මන්ත්‍රීතුමාව ඉවත් කරලා. ආචාර්ය රත්නසේකර මන්ත්‍රීතුමාව, වෛi උපුල් ගලප්පත්ති සහ ජයන්ත සමරවීර ඉවත් කරලා තිබෙනවා. දැන් ඒ අය වෙනුවට ගෙනත් දාලා තිබෙන අය ගැන මම කතා කරන්නේ නෑ. මේවා ඇතුලේ අපට සාධාරණයක් කරලා දෙන්න.

පසුගියදා තීරණයක් අරගෙන තිබුණා අපට අදහස් දක්වන්න ආණ්ඩු පක්ෂයෙන් විනාඩි 40ක් දෙන්න. නමුත් අපේ මන්ත්‍රීවරුන්ගෙන් බෙදලා බැලුවාම එක් මන්ත්‍රීවරයකුට ලැබෙන්නේ විනාඩි 7.5යි. නමුත් උදේ ඇතිවුණ තත්ත්වයත් එක්ක විනාඩි 04කට බහිනවා. ඒ නිසා අපට වෙලාව ලබා දෙන්න. මම විපක්ෂ නායකතුමාගෙනුත් ඒක ඉල්ලනවා. විශේෂයෙන්ම කෝප් සහ කෝපා කමිටුවලට අපි අතරින් යම් ප්‍රමාණයක් නම් කරන්න කියලාත් ඉල්ලනවා. චරිත හේරත් නම් කිරීම ගැන විපක්ෂ නායකතුමාට මම ස්තුතිවන්ත වෙනවා.

මම අවුරුදු 16ක් 18ක් මේ කමිටුවල වැඩ කරපු කෙනෙක්. අපි විවිධ පුහුණු වැඩසටහන්වලට ගියා. විවිධ අයගේ බලපෑම්වලට යටනොවී, හොරු ආරක්ෂා කරන්නේ නැතුව කටයුතු කළ නිසාම හොරුන්ව මංකොල්ලකාරයන්ව ආරක්ෂා කරපු පිරිසක් අද පත් කරලා. මම ගෞරවයෙන් ඉල්ලනවා අපෙන් යම් පිරිසක් මේ කමිටුවලට දාන්න කියලා. මේ වන විට අපේ 35ක් ඉන්නවා.

විමල් වීරවංශ මහතා- කෝප් කමිටුවට ආණ්ඩුවෙන් එළියට පැමිණි කිසිම කෙනෙක් පත් කරලා නෑ. ඒ වෙනුවට අර මොළ හතාගේ පිරිසක් පත් කරලා. එයා ඇමරිකාවේ ඉඳලත් කරන්නේ කෝප් කමිටුවට සාමාජිකයන් පත් කරන එක. ලැජ්ජයි තාමත් ඒ අවතාරෙට ඕනා විදිහට තමයි වැඩ වෙන්නේ.

ඒ වගේම අපට ආණ්ඩු පක්ෂයෙන් සියයට 05ක් වෙලාව දෙන්න එකඟ වුණා. කිරිඇල්ල මන්ත්‍රීතුමා යෝජනා කළා පැය භාගයක් වැඩි කරලා ඒකෙන් විනාඩි 15ක් දෙන්න. අපි එය ප්‍රමාණවත් නෑ කියපු නිසා කිරිඇල්ල මන්ත්‍රීතුමා කිව්වා විපක්ෂයෙනුත් කාලයක් දෙන්නම් කියලා. එහෙම වුණොත් මේක සාධාරණ වෙයි. නැත්නම් මන්ත්‍රීවරුන් 35ටම විනාඩි 33යි එන්නේ. එය ප්‍රමාණවත් නෑ. විපක්ෂයේ සිට ගිය හරීන් සහ මනූෂට කාලය දෙන්නේ ආණ්ඩුවෙන් නම් ආණ්ඩුවෙන් විපක්ෂයට ආපු අපටත් ඒ කාලය වෙන් වෙන්න ඕනා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- කෝප් කමිටුවට අප කාගේවත් නම් කැපුවේ නෑ. වැරදි මතයක් ඇති වෙයි. කැපුවේ ආණ්ඩුවෙන්. මොළ හතානෝ කියලා මන්ත්‍රීවරයෙක් නෑනේ. විපක්ෂ නායකතුමා දැන් චරිත හේරත් නම් කළා. ඒ වගේම දැන් පැය භාගයක් දික්කරලා ඒ ස්වාධීන කණ්ඩායමට වෙලාව ලබා දෙන්න කටයුතු කළේ විපක්ෂයේ අපි.

විමල් වීරවංශ මහතා- මම මොළ හතානෝ කිව්වේ ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රී කෙනෙක්ට. නැතුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට නොවෙයි.

ඩලස් අලහප්පෙරුම මහතා- දයාසිරි සහ විමල් මන්ත්‍රීතුමන්ලා අදහස් දැක්වූවේ පුද්ගලික අවශ්‍යතාවන් සඳහා නොවෙයි. අපට වෙලාව ලබාදීම සඳහා කථානායකතුමා මැදිහත් වුණා. චරිත හේරත් මන්ත්‍රීතුමා නම් කරලා අද විපක්ෂ නායකතුමා ආණ්ඩුව කරපු අසාධාරණය වළක්වන්න කටයුතු කළා යම් පමණකට. චරිත හේරත් මහතා ඉතා සාධාරණව කෝප් කමිටුව තුළ කටයුතු කළා. මුළු රටම ඊට ගරු කළා. ඇයි දේශපාලනය මේ තරම් පහත් ගෝත්‍රික තත්ත්වයට ගෙනියන්නේ? මේ වගකීම්වල ප්‍රධානියා කථානායකතුමා. මේවාට නම් පමණක් නොවෙයි ඕනා වෙන්නේ. මම දැක්කා කෝප් කමිටුව ද පෝක් කමිටුව ද කියලා අහලා තිබෙනවා ෆේස්බුක් එකේ. ජනතාව මේ 225ටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එහෙම වෙලා තිබෙන්නේ මේ වගේ අඥාන තීන්දු නිසායි.

කථානායක- අපි මේ ගැන පක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එහිදී මම මැදිහත් වුණේ කාලය දීර්ඝ කිරීමට පමණයි. කෝප් කෝපා කමිටුවලට සාමාජිකයන් පත් කිරීම ඒ ඒ පක්ෂ නායකයන් කරපු දෙයක්. මම පත් කළේ නෑ.

නිමල් ලන්සා මහතා- කථානායකතුමා හරියට කාර්යය කළොත් හැම මන්ත්‍රීවරයකුටම අදහස් දක්වන්න වෙලාව දෙන්න පුළුවන්. ඔය කතා කරන මන්ත්‍රීවරු සහයෝගය දෙනවා නම් මේ සභාව කරගෙන යන්න පුළුවන්.

දයාසිරි ජයසේකර මහතා- කෝප් සහ කෝපා කමිටුවට නම් පත් කිරීම සම්බන්ධයෙන් අපේ යෝජනා ගත්තේ නෑ. මේක අසාධාරණයක්. අපේ අවස්ථාව අපට දෙන්න. මෙතන අපේ විශාල පිරිසක් ඉන්නවා.

විමල් වීරවංශ මහතා- කෝප් කමිටුවලට පත් කිරීම් කළේ ආණ්ඩුවේ අයයි. විපක්ෂයේ අයයි. ආණ්ඩු පක්ෂයෙන් පත් කළේ ‘මොළ හතානෝ’ නිසායි අපට අවස්ථාව නොලැබුණේ.

නිමල් ලන්සා මහතා- දයාසිරි ජයසේකර මහතා මට වඩා ජ්‍යෙෂ්ඨ වුණාට උගත් වුණාට මට කියන්න තියෙන්නේ එතුමා මෝඩයෙක් කියලායි. පාර්ලිමේන්තුවේ තිබෙන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයයි. මේක දන්නේ නැති මෝඩ දයාසිරි ජයසේකර එනවා වෙන දේවල් කතා කරන්න.

කථානායක- මෝඩයා කියන වචනය හැන්සාඩ් එකෙන් ඉවත් කරනවා.

හර්ෂණ රාජකරුණා මහතා- මේක අසාධාරණයක් කියලා පෙනෙනවා. අද විපක්ෂයේ මන්ත්‍රීවරු ස්වාධීන වෙලා තිබෙනවා. ඒ ගැටලුව විසඳන්න කථානායකතුමා මැදිහත් වෙන්න.

දයාසිරි ජයසේකර මහතා- අපි විපක්ෂයේ ඉන්නේ ආණ්ඩුවේ අතකොලු නොවෙයි. මෝඩයා කව්ද බුද්ධිමතා කව්ද කියලා ජනතාව දන්නවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා- ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 128ක් ඉන්නවා.ඒ අතරින් තමයි අපි මන්ත්‍රීවරුන් කෝප් සහ කෝපා එකට පත් කළේ. ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය අය ගැන කටයුතු කරන්න ඕනේ විපක්ෂය. ඒකට ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. තනතුරු ගන්න බැරුව විපක්ෂයට ගිය අය අද චෝදනා කරනවා. ආණ්ඩුවට එකතුවෙන අය වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

රංජිත් බණ්ඩාර මහතා- විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ කතාව ඉවත් කරන්න කියා මම කියනවා. මම මහාචාර්යවරයෙක්. ඔය මේ අය පුම්බන අය මහාචාර්ය නොවෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment