මහ බැංකු සේවකයන්ගේ සුපිරි වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් මේ දිනවල ලොකු කතාබහක් ඇත. මෑතක දී මහ බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ වැටුප් විශාල වශයෙන් ඉහළ නංවාගෙන තිබීම එයට හේතුවයි. මේ කාරණය ගැන පාර්ලිමේන්තුව තුළ ද කතාබහට ලක්ව ඇත. අමාරුවෙන් ජීවත්වන සාමාන්‍ය ජනයා ද මේ ගැන ප්‍රශ්න කරති. ඔවුන් විමසන්නේ රටේ බහුතර ජනයාට ජීවත් වීමට පවා නොහැකි දුෂ්කර තත්ත්වයට පත්ව සිටිය දී මෙහෙම මහ බැංකුව තමන්ටම සුපිරි වැටුප් වැඩිවීමක් කර ගැනීම හරි ද කියාය. රට මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා විනිමය අර්බුදයටය. උග්‍ර විදේශ විනිමය හිඟය නිසා තෙල්, ගෑස් ඇතුළු පෝලිම් ඇති වී විදුලිය පැය ගණන් කැපී ජනයාට අත්විඳින්නට සිදු වූ අති දුෂ්කර තත්ත්වය නැවත සිහිපත් කළ යුතු නැත. එය අප කාටත් හොඳට මතකය. එහෙත් ඒ අතිශය අමාරු කාලයේ පවා රජයේ මැතිඇමැතිවරු මෙන්ම මේ මහ බැංකු නිලධාරීන් පවා රටේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මෙන් දුකට පත් වූයේ නැත. රට බංකොලොත් වීමෙන් පසු මේ වන විට රට තරමක් දුරට යහපත් තත්ත්වයට පත්ව කිසියම් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව තිබේ. ඒ සඳහා ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල වැඩිම පීඩාව විඳිමින් සිටින්නේ ද අන් කවුරුත් නොව බහුතර සාමාන්‍ය ජනයාමය. එහෙත් යම් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති ආර්ථිකය වඩා යහපත් තත්ත්වයට පත්කර ගැනීම සඳහා තවත් බොහෝ දුරක් යෑමට තිබෙන අතර ඒ කාලය තුළ ද සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල බර දැරීමට සිදු වනු ඇත්තේ ද අන් කාටවත් නොව මේ රටේ බහුතර සාමාන්‍ය ජනයාටමය.

හැන්ද තියාගෙන තමන්ටම බෙදා ගැනීම හරිද?

මේ පසුබිම තුළ අපට මහ බැංකුවේ මේ කියන සුපිරි වැටුප් වැඩි කිරීම ගැන දුකට පත්ව සිටින සාමාන්‍ය මහජනයාගේ පැත්තේ සිට කතා කිරීමට සිදුව ඇත. තවමත් රට තිබෙන්නේ අමාරු තැනකය. අතිමහත් බහුතර ජනයා ජීවත් වන්නේ අධික බඩු මිලෙන් සහ බදු බරින් මිරිකී ඉතා අමාරුවෙනි. ජීවන වියදම අහස උසට නැග ඇත. හැම දෙයකම මිල ගණන් දරා ගැනීමට නොහැකි පරිදි අතිශය ඉහළ ගොස් ඇත. එහෙත් ඔවුන්ගේ ආදායම එතනමය. යම් ආදායමක් හෝ වැටුප් වැඩි වීමක් සිදු වූ අයගේ පවා එය සිදුව ඇත්තේ ඔවුන්ගේ වියදම් වැඩි වීමට සාපේක්ෂව ඉතාමත් අවම වශයෙනි. කොහොමත් මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් මට්ටම් තිබෙන්නේ ඉතා ඉහළ මට්ටමකය. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, හැකියාවන් සහ දක්ෂකම් ගැන අපි ප්‍රශ්න නොකරමු. ඒවා ඉහළ මට්ටමක තිබෙන බවත් ඒ අනුව ඔවුන්ට ඉහළ වැටුපක් තිබිය යුතු බවත් අපට පිළිගත හැකිය. එහෙත් මෙවර සිදුව ඇතැයි කියන වැටුප් වැඩි වීම් නම් සුළුපටු ඒවා නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රජයේ චක්‍රලේඛ කිසි විටෙකත් අදාළ නොවන බවයි. ඒ සත්‍යයකි. එහෙත් රටත් ජනයාත් අමරුවෙන් සිටියදී හැන්ද තමන් අතේ තියෙන නිසා මෙසේ තමන්ටම ඇති තරම් රිසි සේ බෙදා ගැනීම හරිද යන ප්‍රශ්නය බොහෝ දෙනා විමසන කරුණකි. මහ බැංකු මාධ්‍ය හමුවල දී කියවෙන කරුණක් වන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණවල පීඩාව, වේදනාව මහජනතාවට විඳ ගැනීමට සිදුවෙන බවයි. එහෙත් මේ වේදනාවෙන් සාධාරණ කොටසක්වත් මහ බැංකු නිලධාරීන් විඳගැනීමට සූදානම් නැද්ද ? දැනට මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්ව ඇති මහ බැංකු නිලධාරීන්ගේ ඉහළ වැටුප් වැඩිවීම් අනුව මහජනයාට ඇතිවෙන අදහස නම් රටේ ආර්ථික අර්බුදයෙන් මිදීමේ වේදනාව විඳ ගැනීම ගැන මහ බැංකුව රට වැසියාට බණ දේශනා කළත් ඒ ආදර්ශය ඔවුන් රටට ලබා නොදෙන බවයි. ඒ නිසා මේ වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් මහජනයා කිසියම් කෝපයකට පත්ව සිටීම අසාධාරණ නොවේ. මේ සම්බන්ධයෙන් මහ බැංකුවට ද කියන්නට කතාවක් තිබෙනවා විය හැකිය. ඒ කතාව හෝ කරුණු පැහැදිලි කිරීම ද වහාම රටට කියන ලෙස අපි මහ බැංකුවට කියා සිටිමු.

2022 අප්‍රේල් 12 වැනිදා රජය සිදුකළේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම නොවිය හැකිය. එහෙත් එය ප්‍රකාශ නොකළත් අප මේ සිටින්නේ බංකොලොත් වී ඉන් ගොඩ ඒමට වෙර දරමින් සිටින රටකය. ඒ නිසා රට වැසියාට ප්‍රධාන පීඩාවන් දෙකකට මුහුණ දීමට සිදුව ඇත. එකක් නම් උග්‍ර විදේශ විනිමය හිඟය හමුවේ රට බංකොලොත් වීමෙන් ඇති වූ පීඩාවන්ය. ඒවාට 2022 වසරේ දී මෙරට ජනයා ඇති තරම් මුහුණ දී ඇත. පෝලිම්වල දවස් ගණන් දුක් විඳිමින් මියැදෙන්නට ද ඔවුන්ට සිදු විය. දැන් රට වැසියා මුහුණ දෙන්නේ එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අයිඑම්එෆ් එකේ වැඩසටහනට අනුව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණවල පීඩාවන්ටය. මේ නිසා මහජනයා සිටින්නේ ඉතාම අමාරුවෙන් බව කිසිවකුටත් රහසක් නොවේ. ලංකා ඉතිහාසයේ කිසිදු පරම්පරාවක් පොදුවේ මේසා විශාල ආර්ථික පීඩාවකට මුහුණ දී ඇති යුගයක් තවත් ඇතැයි ද අපි නොසිතමු. ඒ බව අපට වඩා හොඳට මහ බැංකු අධිපතිවරයාගේ සිට මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායකයා දක්වා සියලු දෙනාමත් මහ බැංකුවේ නව පාලක මණ්ඩලයත් හොඳටම දන්නා කරුණකි. එසේ නම් මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් රටත්, රටවැසියාත් වෙනුවෙන් මේ වැටුප් වැඩි වීම් ගැන මීට වඩා සාධාරණව සහ ආදර්ශමත් ලෙස තීරණය කළ යුතුව තිබුණා නොවේ ද ?

2022 අප්‍රේල් මාසයේ 12 වැනිදා රජය විසින් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ ඇත්ත වශයෙන්ම විදේශ ණය පියවීමට ප්‍රමාණවත් විදේශ විනිමයක් අපගේ විදේශ සංචිතය තුළ නොතිබුණු නිසාය. මේ නිසා සිදුකළ විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමට රජයට සිදු වූයේ රට බංකොලොත් තත්ත්වයට පත්වීම නිසා බව බොහෝ දෙනාගේ පිළිගැනීම විය. මේ තත්ත්වය උදා කිරීමට ද මේ රටේ සමාන්‍ය ජනයා වගකිව යුතු නොවේ. ඒ සඳහා වැඩි වශයෙන් වගකිව යුතු වන්නේ ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරදි සහ අදූරදර්ශී ආර්ථික කළමනාකරණයයි. මේ සඳහා බලපාන ලද දිගුකාලීන හේතු ද නැතුවා නොවේ. එහෙත් එහි විපාක වැඩි වශයෙන්ම විඳීමට සිදු වූයේ ද මේ රටේ සාමාන්‍ය ජනයාටය. රට බංකොලොත් කිරීමට වගකිව යුතු වැරදි ආර්ථික තීන්දු තීරණ ගත් සහ නිසි කලට නිසි තීන්දු තීරණ නොගත් අය අදත් ඉතා සුවසේ සිටින බව ද පෙනේ. මේ ආර්ථික අර්බුදය සඳහා මහ බැංකුවේත් එසේම මහ බැංකුවේ එවකට මුදල් මණ්ඩලයේත් වගකීමක් ඇත. ඒ ගැන මේ වන විට රටේ ඉහළම අධිකරණයෙන් පවා වගකිව යුත්තන් පවා නම් කරමින් අධිකරණ තීන්දු පවා ලැබී ඇත. ඒ අයට කිසිදු දඬුවමක් නැතත් ආර්ථික අර්බුදයේ පීඩාවන් මෙන්ම ආර්ථික අර්බුදයෙන් මිදීමේ ආර්ථික ප්‍රතිසංස්කරණවල වේදනාවන් පවා විඳිමින් මේ සඳහා සැබෑ ලෙසම දඬුවම් විඳීමට සිදු වූයේ මේ කිසිවකට වගකිව යුතු නැති සාමාන්‍ය ජනයාටය.

මේ මහ බැංකු වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසා තිබුණේ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකුට රු. ලක්ෂ 7කින් පමණ පඩි වැඩිවී ඇති බවත් එසේම ඊළඟ ශ්‍රේණියේ සිටින අයකුට ලක්ෂ 5කින් පමණ පඩි වැඩි වී ඇති බවත්ය. තවද මේ වන විට මහ බැංකු කාර්යාල කාර්ය සහායකවරයකුගේ වැටුප රු. 183,000 ඉක්මවා යන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි. මේ මහ බැංකුවේ සියලුම මට්ටම්වල නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම්වලට අදාළ වගුවක් ද සමාජජාල මාධ්‍යවල හුවමාරු වෙමින් තිබේ. එයට අනුව මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකුගේ පඩි වැඩිවීම පමණක් රු. 712,179 කි. ඒ අනුව මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකුගේ දළ වැටුප රු.16 ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ඒ අනුව වැටුප් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 73කි. මහ බැංකු සහකාර අධිපතිවරයකුගේ වැටුප ද රු.522359 කින් පමණ වැඩි වී ඇතැයි පැවසේ. එම වැටුප් වැඩි වීම් ද සියයට 73 ක් පමණ වේ. අනිත් සෑම නිලධාරී මට්ටමකටම විශාල වැටුප් වැඩිවීම් සිදුව ඇත. පහළම මට්ටමේ සිටින මහ බැංකු කාර්යාල කාර්ය සහායකයකුගේ වැටුප් වැඩිවීම පමණක් රු.39112 කි. ඒ අනුව ඔවුන්ගේ දළ වැටුප රු. 183388 ක් දක්වා වැඩි වී ඇත. මේ ඉලක්කම් දැනට අනාවරණය වී ඇති අතර මේවා වැරදි බවට හෝ මෙසේ වැටුප් වැඩිවීමක් සිදු වී නැති බවක් මහ බැංකුව තවමත් කියා නැත. ඒ නිසා මහ බැංකුව විසින් මේ පුවත මූලික වශයෙන් ප්‍රතික්ෂේප කර නැත.

හැන්ද තියාගෙන තමන්ටම බෙදා ගැනීම හරිද?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පළ කර තිබුණේ මෙවැනි අදහසකි.

“ලෝකේ හැම මහ බැංකුවක්ම ගන්නේ අතිවිශේෂ වූ ශ්‍රමයක්. විශේෂ වූ පුද්ගලයන්. ඒ නිසා මහ බැංකු පනතින්ම තියෙනවා, මහ බැංකුවේ, තියෙන වැටුප් තලයන් තීරණය කරන්නේ, මහ බැංකුව කියලා. ස්වාධීන ආයතනයක් හැටියට. ඒකට හේතුව තමයි මහ බැංකුව වාගේ දෙයකට අතිවිශේෂ මිනිස්සු ගත්තේ නැත්නම් වෙන දේ අපි දැක්කනේ. නැත්තන් ඒ වාගේ විශේෂ ශ්‍රමයක් රඳවා ගන්නත් අමාරු වෙනවා.”

මහ බැංකු සේවකයන් සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී පසුගිය පෙබරවාරි 21 වැනිදා දැඩි ලෙස විරෝධය පළ කළහ. මහ බැංකු පනත ද උල්ලංඝනය කරමින් වැටුප් වැඩිකර ගත් මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තු කාරක සභාවකට කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කර තිබුණේ මුදල් කාරක සභාවට හෝ කැඳවා පාර්ලිමේන්තුවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බවය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉකුත් පෙබරවාරි 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී මෙසේ විමසා තිබුණ අතර ඒ සඳහා රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය ඇමැතිවරයා පිළිතුරු දී තිබුණි.

‘මහ බැංකුවට ඕනෑ විධියට වැටුප් වැඩි කර ගන්න බැහැ. මහ බැංකුවට අදාළ පනතක් තියෙනවා. ඒ අයට වැටුප් වැඩි කර ගන්න පුළුවන් වගන්තිය මට පෙන්වන්න’.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය – පනතේ බලතල මහ බැංකුව මට පෙන්වා තිබෙනවා. නමුත් ඒකෙන් මම කියන්නෙ නැහැ මමත් ඒකට කැමතියි කියලා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක – මම කියන්නෙ වගන්තිය පෙන්වන්න කියලා. එච්චරයි. මම පනත සම්පූර්ණයෙන්ම කියෙව්වා. එවැනි වගන්තියක් නැහැ.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා – පනතේ විසි තුන එක වගන්තිය අනුව මහ බැංකුවේ පාලක මණ්ඩලයට සේවකයන් පත් කිරීම ඉවත් කිරීම කළ හැකි වන අතර ඔවුන්ගේ පාරිශ්‍රමිකය ඇතුළු සේවා නියුක්ති කොන්දේසි නිශ්චය කළ හැකි ය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක – ඒ අයට ගණනය කළ හැකියි. නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. මෙතැන කියලා නැහැ පාර්ලිමේන්තුවේ මුදල් බලය ඉවත් කරලා කියලා. ඒ නිසයි මම කියන්නේ නිලධාරීන් කැඳවන්න පාර්ලිමේන්තු කමිටුවකට.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා – මහ බැංකුව ස්වාධීන වීම තුළ මහ බැංකුවට තියෙන වගකීම වැඩියි. පාර්ලිමේන්තුවට වගකීමට අදාළව මහ බැංකුවට තියෙන වගකීම වැඩියි. ඒ නිසා පාර්ලිමේන්තුවට අවශ්‍ය කටයුතු කරන්න ඔබතුමාලා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක – පාර්ලිමේන්තුවෙ බලතල ඉවත් කරලා නැහැ. පාර්ලිමේන්තු කටයුතුවලටත් වෙනම පනතක් තියෙනවා. නමුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩිකරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර – මේ කතාවට අපිත් එකඟයි. බරපතළ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක හැන්ද අතේ තියෙන අය බෙදා ගන්නවා වගේ වැඩක්. මේක මහා අපරාධයක්. සාමාන්‍ය රජයේ සේවකයකුගේ වැටුප රුපියල් දෙසීයකින් වැඩි කරන්න කියද්දි මුදල් අමාත්‍යාංශය මහ බැංකුව පට්ට විධියට විරුද්ධ වෙනවා. එහෙම විරුද්ධ වෙලා ඒ ගොල්ල ලක්ෂ ගණන් බෙදා ගන්නවා. මේක වහාම නතර කරලා පාර්ලිමේනතුව බලය පාවිච්චි කරලා හැම දෙනාට සාධාරණයක් සලසන්න.

මුදල් රාජ්‍ය ඇමැති – මම පෙන්වා දුන්නෙ පනත අනුව ඔවුන්ට තියෙන අයිතිවාසිකම. වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් මුදල් කාරක සභාවට හෝ කැඳවා පාර්ලිමේන්තුවට අවශ්‍ය පරිදි කටයුතු කිරීම ගැන ගැටලුවක් නැහැ. මුදල් කාරක සභාවට හෝ ගෙන්වන්න.

වරාය – නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා – මහ බැංකුවෙ පියන්ලා ඩ්‍රයිවර්ලාගේ විශේෂත්වය මොකක්ද. රට මේ විධියට අමාරු තත්ත්වයක තියෙද්දි අනිත් අය රුපියල් දසදහසක් පමණක් ලබා ගනිද්දී මේ අය විතරක් ලක්ෂ ගණන් බෙදා ගැනීම සදාචාරාත්මක නැහැ.

මේ ආකාරයට මහ බැංකුවේ සුපිරි වැටුප් වැඩි කිරීම් ගැන මැති සබයේ ද විරෝධය පළ වී ඇත. පක්ෂ විපක්ෂ මත මේ ගැන පළ වී ඇත. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රජයේ චක්‍රලේඛ කිසි විටෙකත් අදාළ නොවන බවයි. සෑම වසර තුනකටම වරක් වෘත්තීය සමිති සහ මහ බැංකුව අතර අත්සන් කරන ලද සාමූහික ගිවිසුම් මත සිය වැටුප් සංශෝධන සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුව සිය වෘත්තීය සමිති සමග සාකච්ඡා කර පසුගියදා නව සාමුහික ගිවිසුම් අත්සන් කිරීමට ද කටයුතු කර ඇත. මහ බැංකුවේ දැනට පවතින වැටුප් ව්‍යුහය සැලකිල්ලට ගනිමින් මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් සෑම විටම මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් තීරණය කරන බව ද මහ බැංකුව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පවසා ඇත. එසේ නම් මේ ගැන තීරණය ගෙන ඇත්තේ මහ බැංකුවේ පාලක මණ්ඩලයයි. එසේ නම් මේ සම්බන්ධයෙන් රට සහ රට වැසියා ගැන සිතා අලුත් තීන්දුවක් ගත යුතු වන්නේ ද මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින්ම බවත් පැහැදිලි වේ. මේ නව වැටුප් වැඩි වීම් කිසිවක් රජය විසින් සිදු කළ ඒවා නොවන බවත් මේවා රජයේ අයවැයට ඇතුළත් වැටුප් නොවන බවත් අප තේරුම්ගත යුතු වේ. මහ බැංකුව ස්වාධීන කිරීමේ නව පනත සම්මත කළේ පාර්ලිමේන්තුවයි. එසේ නම් මහ බැංකු පනත සම්මත වී ඇත්තේ ජනතා පරමාධිපත්‍ය බලය යටතේය. ඒ නිසා මහ බැංකුවත් අවසාන වශයෙන් මේ රටේ මහජනතාවට සහ ජනතා පරමාධිපත්‍ය බලය නියෝජනය වන පාර්ලිමේන්තුවට වගකිව යුතු වන බව අපගේ අදහසයි. ඒ නිසා මෙවැනි අවස්ථාවක සිදුකර ඇති මේ අති විශාල වැටුප් වැඩි කිරීමේ තාර්කිකභාවය, සාධාරණත්වය සහ සදාචාරය ගැන තවදුරටත් මහ බැංකුවෙන් ප්‍රශ්න කර මේ අමාරු වෙලාවේ අසරණ සාමාන්‍ය මහජනයා වෙනුවෙන් යම් තීන්දුවක් පාර්ලිමේන්තුව විසින්ම ගැනීම සුදුසු විය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment