මහබැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සීයට 70කින් වැඩි කර ඇති බවට පුවත් පළ වූ සතියේම ඉතා බියජනක පුවතක්ද වාර්තා විය. ඒ, ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවූ 200කට වැඩි පිරිසක් මෑත භාගයේදී සියදිවි හානි කරගෙන ඇති බවය. ඒ බව හෙළි වුණේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදීය.

මීට හරියට මාසයකට පෙර, දඹුල්ල මාගන්දන ප්‍රදේශයේ 36 හැවිරිදි පුද්ගලයකු ජීවිතය හානි කරගෙන තිබුණේ ණය ගෙවා ගැනීමට නොහැකිවය. ඉස්සර තරම් ණය ගෙවාගත නොහැකිව ජීවිත හානි කරගැනීමේ සිදුවීම් ප්‍රවෘත්ති ලෙස වාර්තා කෙරෙන්නේත් නැති තරම්ය. වාර්තා කළත්, එය ප්‍රවෘත්ති පත්‍රයක කුඩා තීරුවක පුවතක් වනු ඇත.

එහෙත් එවැනි තනි සිදුවීම් එක් වූ කළ අපට අසන්නට ලැබෙන්නේ දරාගන්නට නොහැකි තරම් දැවැන්ත සංඛ්‍යාවන්ය. මෙරට සිවිල් වැසියන්ට එල්ල කර ඇති බෝම්බ ප්‍රහාරවලින් පවා එතරම් සංඛ්‍යාවකගේ ජීවිත නැති වූ අවස්ථා සීමිතය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය රැගෙන පසුගිය සතියේ පෙබරවාරි 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මුණගැසීමටද ණයවලින් පීඩාවට පත්වූවන්ගේ සංවිධාන කටයුතු කර තිබුණි. ඊට පෙර ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුණගැසී තිබුණි. මේ කරුණු මතු වුණේත්, වින්දිතයන් මෙලෙස නිලධාරීන් මුණගැසුණේත් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය උදෙසා වූ පනත් කෙටුම්පත ආණ්ඩුව ඉදිරිපත් කර ඇති නිසාය.

පසුගිය සතියේ ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව වගන්ති කිහිපයක් සංශෝධනය කළහොත් එම පනත සරල බහුතරයකින් සම්මත කරගත හැක.

පනත සම්මත වීමට ඔන්න මෙන්න තිබියදී, ඒ පිළිබඳ කතා කිරීමට ඉඩ නිර්මාණය වී ඇත. ගැටලුව වන්නේ 2016 දී සම්මත කරගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන පනත මෙන්ම, අලුත් පනතද අර්බුදය විසඳීමට දායකත්වයක් නොදක්වන බව ණය වින්දිතයන් ප්‍රකාශ කිරීමය. ඊටත් වඩා භයානක තත්ත්වය වන්නේ වින්දිතයන් එසේ කියද්දීම, උද්දච්ච නිලධාරීන් සහ රජය එම පනත සම්මත කරගැනීමට අත්තනෝමතික ලෙස කටයුතු කිරීමය.

මෙරට ලක්ෂ 28ක් පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිර වී සිටින බවත්, ඉන් ලක්ෂ 24ක් කාන්තාවන් බවත් අප ප්‍රථමයෙන් සඳහන් කළ කාරක සභාවේදී වැඩිදුරටත් වාර්තා විය. ඒ අනුව එම කාන්තාවන් හා සාකච්ඡා නොකර පනතක් කෙටුම්පත් කරන්නේ කෙලෙසදැයි කෙනෙකු විමසිය හැක. රජය එම කටයුත්ත කරමින් සිටී, ණය ගෙවීමේ අසීරුවෙන් සිටි මේ වින්දිතයන්ගේ අදහස් නොවිමසුවේ මන්දැයි විමසද්දී ආණ්ඩුවේ ප්‍රතිචාරය වී තිබුණේ අදහස් විමසීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබුණු බවය.

සියයට 38% සියයට 48% වැනි ඉහළ පොළී අනුපාත යටතෙත් ණය ලබාගෙන ඇති වින්දිතයන් නොමැරී සිටියත් ණය ගෙවාගත නොහැකිව මහත් අර්බුදවලට මුහුණපායි.

අන් සියල්ල පසෙක දමමු, මෙම ණය වින්දිතයන් හා කටයුතු කරන ගොවි නායකයෙකු පෙන්වා දුන්නේ, අම්මා කෙනෙකු ණය දෙන පිරිමින්ගෙන් සැඟවෙන ආකාරය, ‘අම්මා ගෙදර නැහැ කියා’ දොර වසා දරුවන් ලවා අසත්‍ය ප්‍රකාශ කරවන ආකාරය මවක සහ දරුවකු අතර සම්බන්ධය පවා විනාශ කරන බවය. එතැනින් පසු අම්මා කෙනකු තමන්ගේ පෞරුෂය රැකගෙන දරුවෙකුට අවවාදයක්වත් දෙන්නේ කෙලෙසදැයි ඒ ගොවි නායකයා විමසීය.

‘සමහර වෙලාවට හරි ලැජ්ජාවෙන් පාවිච්චි කරපු සබන් කෑල්ලක් අරගෙන ඇවිත් තියෙනවා, මේක අරගෙන කීයක් හරි දෙන්න කියලා. නැත්නම් ගෙදර උයන භාජනයක් අරගෙන ඇවිත් විකුණන්න බලනවා.’ මෙසේ කීවේ බදුල්ලේ ඌව පරණගම පදිංචි ණය වින්දිත කාන්තාවක් තමන්ගේ ගමේ කාන්තාවන් පීඩාවට පත්ව ඇති ආකාරය පෙන්වන්නටය. ඇය තමන්ගේම ජීවිතය නැති කරගැනීමට උත්සාහ කළ නමුත්, පසුව අසීරුවෙන් සටන් කරමින් තමන්ගේ ජීවිතය ගොඩනඟාගත් කාන්තාවකි. එනම්, ඇයට ඇත්තේ දුර්ලභ කතාවකි. ඇය ගෙදර සබන් කෑල්ල හෝ උයන භාජනය විකිණීම ගැන කියන්නට හේතුව වන්නේ ණය උගුලේ සිර වූ පසු නිවෙසක විකුණන්නට සුදුසු භාණ්ඩයක්වත් ඉතිරි නොවන හැටි පෙන්වන්නටය.

අප සමග අදහස් දැක්වූ ගැමි ගොවි ආර්ථිකය පිළිබඳ විශේඥවරියක වන ආචාර්ය අමාලි වෙදගෙදර කීවේ, සැබෑ ලෙසම පසුගිය කාලසීමාවේ 200කට වඩා වැඩි පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙන් සියදිවි නසාගෙන ඇතැයි අනුමාන කළ හැකි බවය. ඇය එයට පදනම් කරගත්තේ, පොලිසිය වාර්ෂිකව සියදිවි නසාගැනීම් වාර්තා කිරීමත්, එම වාර්තාකරණයන් අනුව වසරකට 100ක පමණ පිරිසක් ණය ගෙවාගැනීමේ අසීරුවෙන් ජීවිත නැති කරගත් බව වාර්තා වීමත්ය. ඒ අනුව සැබෑ ලෙස 200කට වැඩි පිරිසක් ජීවිත නසාගත්තා විය හැක.

එවැනි එක් සිදුවීමක් ලෙස 2023 මාර්තු 07 වැනිදා වවුනියාව ගුඩ්ෂෙඩ් පාරේ පදිංචිව සිටි සිව්දෙනෙකුගේ පවුලක් ජීවිත හානි කරගත් පුවත පෙන්වාදිය හැක. තම 36 හැවිරිදි බිරිඳ සහ වයස අවුරුදු තුනක හා නවයක් වූ දරුවන් දෙදෙනාගේ ජීවිත නැති කිරීමෙන් පසු 42 හැවිරිදි පියා තමන්ගේ ජීවිතය නැති කරගෙන තිබුණි. ඊට වසර කිහිපයකට පෙර ඕමන්තේ තරුණ මවක් දියණියක් තිදෙනාත් රැගෙන ළිඳට පැන තිබුණි.

2022 දී කළුතර 37 හැවිරිදි පියෙකු, බිරියගේ අතට රුපියල් දෙසීයක් දී මම ගිහින් රුපියල් 10,000ක් හොයාගෙන එන්නම් කියා නිවසින් පිටව තිබුණේ ණය ගෙවන්න මෙන්ම කුසගින්න දරාගන්නත් බැරි පසුබිමකය. ඔහු රබර් වත්තක ජීවිතය හානි කරගත් අතර, පවුලේ අය අවසන් කටයුතු කිරීමටත් රුපියල් 17,500ක ණයක් ගෙන තිබුණි.

ජීවිත නැති කරගැනීම පමණක් නොව, ණය නිසා තමන්ගේ ශරීර දන්දෙන්නට පවා කාන්තාවන්ට සිදු වී තිබේ.

‘ණය මහත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයි එළියට යනවා. ණය මහත්තයා වාරිකය එකතු කරන්න එන දිනය සහ වෙලාව මට දුරකථනයෙන් දැනුම් දෙනවා. මම ඒ බව මගේ මහත්තයාට කියනවා. ඉතින් එයත් බිම බලාගෙන ගෙදරින් පිටවෙලා යනවා. පැය දෙක තුනකට පස්සේ තමයි ආපහු එන්නේ. වාරික පහක්ම ගෙව්වේ එහෙම තමයි.’ මේ මෑතකදී ත්‍රිකුණාමලයේ කාන්තාවක මාධ්‍ය වෙත කියා තිබුණු කතාවකි. මෙවැනි කතා නිතර අසන්නට ලැබේ.

‘ගත්ත ණය ගෙවා ගන්න බැරිව අපි දන්නා කියන ගෑණු අය කීප දෙනෙක්ම සියදිවි හානි කර ගත්තා. තවත් අය මැද පෙරදිග රැකියාවලට ගියා. කොරෝනා ප්‍රශ්නය නිසා දැන් ඒ අයට ආපහු ලංකාවට එන්නත් බෑ.‘ තවත් කාන්තාවක එසේ කියා තිබුණි.

ඒ අනුව සියදිවි නසාගැනීමට අමතරව රට අත්හැර යෑමටත් ණය වින්දිතයන්ට සිදුව ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය ණයට බොටුව හිරවී දිවි තොරකර ගත් සිය ගණනක්

මෙම සටහනට හේතු පාදක වූ ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස් වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ ප්‍රධානත්වයෙනි. එයට ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවෙන් අගතියට පත්වූවන්ගේ සංවිධාන කැඳවා තිබුණි. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීන් ගෙන්වා තිබුණි.

එහෙත් වැදගත්ම කරුණ එය නොවේ. මෙම අර්බුදයට මුහුණ දී සිටින අය අතර වැඩි පිරිසක් මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තිබෙන බැංකු නොවන මූල්‍ය සමාගම් හයක් වෙතින් ණය ලබාගත් පිරිස් බවය. මුළු ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රමාණය වන මිලියන 84,000ක් ණය අතරින් සියයට 80ක් හෙවත් රුපියල් මිලියන 67,000ක් මෙම ආයතන ණය ලෙස ලබා දී ඇති බවත්, ඒ ණය ලබාගත් අයගේ දේපළ අත්පත් කරගැනීම සිදුවන බවත් කියැවිණි.

යෝජිත ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත නැවත සමාලෝචනයට ලක් කිරීමට අවශ්‍ය බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ප්‍රකාශ කර තිබුණි. ප්‍රධාන මූල්‍ය සමාගම් හයක් ආරක්ෂා කිරීමට නොව, වින්දිතයන්ගේ සැබෑ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් වන ආකාරයට පනත සංශෝධනය කරන ලෙසත්, ඒ සඳහා වාර්තාවක් සතියක් ඇතුළත ලබා දෙන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබුණි. මෙම පනත නිසි පරිදි සංශෝධනය නොකරන්නේ නම්, මෙරට ලක්ෂ 30, 40ක් වන ක්ෂුද්‍ර මූල්‍ය පාරිභෝගිකයන්ට ගැටලුවකට මුහුණදීමට සිදුවන බව ඔහු කියා තිබුණි.

පසුගිය සතියේ රූපවාහිනි වැඩසටහනකදී වලේබොඩ මන්ත්‍රීවරයා ඒ ගැන කළ අදහස් දැක්වීම, ඔහුට මේ ප්‍රශ්නය යම් දුරකට අවබෝධ වී ඇති බව තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.

‘ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ ආර්ථික අර්බුදයට කලින්. ප්‍රධාන මූල්‍ය සමාගම් මේ කටයුත්තට ප්‍රවේශ වුණා. දැනට ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල නිරත වෙලා ඉන්න කණ්ඩායම ලක්ෂ 30ක්. මිලියන 84,000ක් ණය දෙනවා. ඒකෙන් 67,000ක් දෙන්නේ මහබැංකුව යටතේ පාලනය වන මූල්‍ය සමාගම් හයක්. ඒ හය තමයි ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අයයි මේකට වග කියන්න ඕනෑ. මේ වෙනකොට ආයතන හය හඳුනාගෙන තියෙනවා. ඔවුන් අරගෙන තියෙන ණය ප්‍රමාණය හඳුනාගෙන තියෙනවා. ඒ අය ගන්න ණය පොළිය සියයට 48ක්. ඉංග්‍රීසියෙන් අත්සන් කරවාගෙන ණය දෙනවා.’

එහෙත්, එම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් පමණක් ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් බේරාගැනීමේ හැකියාවක් නැත. ඔහු මන්ත්‍රීවරයෙක් පමණි. නීති සැකසීමේ ක්‍රියාවලිය වින්දිතයන් නොතකා ඉදිරියට යමින් පවතී.

‘ක්ෂුද්‍ර මූල්‍ය ණය සපයන ආයතන සහ කණ්ඩායම් 11,000ක් ලංකාවේ ඉන්නවා. ඒකෙන් පස්දෙනෙක් විතරයි ලියාපදිංචි වෙලා ඉන්නේ. ඒක ගිනි පොළී මුදලාලිලා නිසා ඇති වූ ප්‍රශ්නයක්, ඒ අය නියාමනයටයි මේ පනත ගෙනාවේ.’ යනුවෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ නිලධාරියකු කීය.

‘පොළී කාරයන් තමයි, ගම්වල මිනිස්සු අසරණ කරන්නේ වගේ අදහසක් තමයි ආණ්ඩුව පෙන්වන්නේ. මං කියන්නේ ඒක මවාපෑමක්. අපි දන්නවා 2005 ඉඳලා තමයි අර්බුදය තිබුණේ. 2010න් පස්සේ ඒ මූල්‍ය සමාගම් ධනස්කන්ධයක් උපයලා පෝසත් වුණාට පස්සේ ඔවුන්ට ඕනෑ වුණේ ලාභය විතරයි. ඒ නිසා අපිම තමයි නියාමනය ඉල්ලුවේ. ඒත්, අපි ඉල්ලූ නියාමනය මෙතැන නැහැ.’ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය ගැන පෙනී සිටින සුනෙත් අරුණ කුමාර එසේ කීවේ, සැබෑ ලෙසම ණය අර්බුදයට වගකිව යුත්තේ මහා පරිමාණ සමාගම් බව පෙන්වා දෙමිනි.

‘නිල අපව සලකන්නේ නියාමනයට විරුද්ධ පිරිසක් විදියට. මහබැංකුවේ නිලධාරීන් පසුගියදා ඒ බව අපේ මූණටම කීවා. ඒත් අපි නියාමනයට විරුද්ධව නෙවෙයි මේ කතා කරන්නේ. නියාමනය නොකිරීම තරම්ම, සමහරවිට ඊටත් වඩා අධි නියාමනය බරපතළ විය හැකියි. ඒ වගේම ක්ෂුද්‍ර මූල්‍ය නියාමනය කරනවා කියා ඔවුන් මේ කරන්නේ ක්ෂුද්‍ර මූල්‍ය නියාමනය නෙවෙයි. ඒ වෙනුවට, ඔවුන් කරන්නේ ප්‍රජාමූල මූල්‍ය සංවිධාන නියාමනය කිරීම. මේ නිලධාරීන් දන්නේ නැහැ මරණාධාර සමිති ණය දෙන විත්තිය. අද මරණාධාර සමිතිවලින් පවා වගා ණය දෙනවා.’ ආචාර්ය අමාලි වෙදගෙදර මේ පෙන්වා දෙන්නේ ණය ලබාදීම ව්‍යාපාරයක් කරගත් කම්පැණිකාරයන් ගැන නොවේ. ජනතාවම එකතු වී මුදල් ඉතිරි කළ ණය ලබාදීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම ගැනය.

ප්‍රජාමූල ඉතුරුම් හා ණය සේවා සපයන්නන්ගේ ජාතික එකමුතුවේ රේණුකා භද්‍රකාන්ති මේ අලුත් නීති සම්පාදනය ගැන තමන්ගේ අත්දැකීම මෙසේ බෙදා ගත්තාය.

ක්ෂුද්‍ර මූල්‍ය ණයට බොටුව හිරවී දිවි තොරකර ගත් සිය ගණනක්

‘අපි රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයාට, ෂෙහාන් සේමසිංහ ඇමැතිවරයාට සාකච්ඡාවක් ඉල්ලලා ලියුමක් ඇරියා. සාකච්ඡාවක් නොදුන් නිසා ගමේ ඉඳන් කොටුව දුම්රියපළ ඉස්සරහට එන්න වුණා. ඒ ඇවිල්ලා තමයි දිනයක් ගන්න පුළුවන් වුණේ ඇමැතිවරයා හමුවෙන්න. අව්වේ ඉඳලා, ක්ලන්තය දාලා අසීරුවෙන් තමයි ඒක ගත්තේ. ගමේ මිනිස්සු උද්ඝෝෂණවලට සාමාන්‍යයෙන් කොළඹට එන්නේ නෑ. මිනිස්සු ඇවිදලා තමයි අපේ ඡන්දයෙන් තේරී පත් වූ නායකයන් මුණගැහෙන්න එච්චර අමාරුද කියන ප්‍රශ්නය තමයි අපට පළවැනියට ආවේ. අපි එහෙම බලය දුන්නාට පස්සේ කන්න ඉල්ලන්න නෙවෙයි, සාකච්ඡා කරන්නවත් දෙන්නේ නැහැ කියන එක දැක්කා. අපි ක්ෂුද්‍ර මූල්‍ය පනත ගැන කතා කරන්න හවස හතරට එන්න කීවා. පොළොන්නරුව, රත්නපුරේ වැලිගපොල ඉඳන්, ගාල්ලේ ඉඳන් හතරට තියෙන සාකච්ඡාවක් වෙනුවෙන් කොළඹට ඇවිත් නැවත යන්නේ කොහොමද? ඒත්, අපි අමාරුවෙන් ඒකට ආවා.’

ඇය ඒ ආකාරයෙන් පැහැදිලි කළේ, වින්දිතයන්ගේ හඬ ආණ්ඩුව නොතකන අන්දම පැහැදිලි කරමිනි. ඒ ගැන සුනෙත් වැඩිදුරටත් මෙසේ කීය.

‘ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් තමන්ගේ රුපියල දෙක හරි ඉතුරු කරලා ගම ඇතුළේ හදාගන්නවා සමිතියක්. මරණාධාර සමිතිය හෝ වෙනත් සමිති හරහා තමන්ගේ මූලික අවශ්‍යතා ටික හදාගෙන යන වෙලාවේ තමයි මේ පනත ගේන්නේ. ඒගොල්ලන්ගේ වාසියට තමයි මේක හදලා තියෙන්නේ. අපි කිහිප වතාවක් ඇමැතිවරයා, මුදල් අමාත්‍යාංශය සහ ඇමැතිවරු මුණගැහෙන්න ගියා, දුන්නේ නෑ. අපි දරුවෝ උකුලේ ගහගෙන කොටුවට ඇවිත් දුම්රියපළ ඉස්සරහා කෑගහනකොට තමයි අපිව මතක් වුණේ.’

රේණුකා මහත්මිය වැඩිදුරටත් මෙසේ කියන්නීය. ‘මේ අහිංසක ගෑණු ටික එකතු කරලා, කුඩා කණ්ඩායමක් හදලා, ස්වයංව අපට දිළිඳුකමින් ගොඩ එන්නට දවසකට රුපියලක් හරි ඉතුරු කරන්න කීවා. කම්පැණිවල ණය දෙන්නේත් පිරිමි, ණය එකතු කරන්න එන්නේත් පිරිමි. ප්‍රජාමූල මූල්‍ය සංවිධානවල ණය දෙන්නේ කාන්තාවන්ම එකතු වෙලා. ඒ ණය ලබාගත් අයව අපි හඳුනනවා. හදිසියේ වගා පාලුවකින් ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් නම් දන්නවා. කියන්න ඕනෑ නැහැ දන්නවා. ගෙදර ලෙඩෙක් ඉන්නවා නම් ඒ අය දන්නවානේ.’

ඒ අනුව මරණාධාර සමිතියේ පවා නම වෙනස් කිරීමට සිදු වේ, එහි තනතුරුලාභීන්ගේ සුදුසුකම් පිළිබඳ සීමාවලට යටත් විය යුතුය, ගාස්තු ගෙවීමට සිදු වේ, ණය නැවත අය කරගැනීමේදී ණය ගත් අය වෙත දැක්වූ සහනශීලී ප්‍රතිපත්ති කිසිවක් අනුගමනය කරන්නට නොහැකි වේ, ආණ්ඩුවේ නියාමනයන්ට යටත් වීමට සිදු වේ, ණය තොරතුරු කාර්යාංශය ඇතුළු ආයතනවලට තල්ලු කරනු ඇති වේ. කුඩා සංවිධානවලට දරාගත නොහැකි තරම් නියාමනය බරපතළ වේ.

‘2016 දී ක්ෂුද්‍ර මූල්‍ය පනත ගේනවා. එයින් අවුරුදු දෙකක් යනකොට පේනවා පනත ෆේල් කියලා. ඒක හදන්නේ ඔය උගත් විශේෂඥයන්. ඔවුන් අවුරුදු දෙකක් යද්දී තේරෙනවා නම්, ඔවුන් කරන්න ඕනෑ වින්දිතයන් සහ විකල්ප විදියට ප්‍රජාමූල මූල්‍ය සංවිධාන හැදූ අය එක්ක සාකච්ඡා කිරීම. ඔවුන් හිතනවා අපි තමයි ලොක්කෝ කියලා. ආයේ පනතක් ගේනවා. අපි කියනවා මේ පනත හකුළාගන්න, සාකච්ඡා කරලා තව පනතක් ගේමු කියලා. ඒත්, හිතුවක්කාරකමට ඒක හකුළාගන්නේ නෑ. අපි කියනවා මේ පනතත් ෆේල්. ඊට වඩා අර්බුද එනවා.’ සුනෙත් වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ පනත් කෙටුම්පත් කරන්නන්ගේ අසංවේදීත්වය ගැනය.

පසුගිය කාලසීමාව තුළ ණය අර්බුදය පිළිබඳ සාකච්ඡාවලට සහභාගි වූ අය කියන්නේ මහබැංකුවේ නිලධාරිනියක සම්පූර්ණයෙන් මූල්‍ය සමාගම් වෙනුවෙන් පෙනී සිටි බවය. වින්දිතයන්ගේ සංවිධානවල මුහුණටම අප්‍රසන්න ආකාරයෙන් ප්‍රතිචාර දක්වමින් එම නිලධාරිනිය හැසිරුණේ තමන්ගේම ප්‍රශ්නය පිළිබඳ තමන්ටම උගන්වන ආකාරයෙන් බව ඔවුන් පවසයි. එනම්, ගහ දන්නා අයට කොළ කඩා පාන අයුරිනි.

ශීත කාමරවල සිට මේ නිලධාරීන්, නිලධාරිනියන් වින්දිතයන්ගේ අත්දැකීම් නොදැන වින්දිතයන්ටම කියා දෙන්නට උත්සාහ කිරීම හාස්‍යයට කරුණක් නොව, ඛේදවාචකයකි. මෙය ජීවිත විනාශ කරන මට්ටමේ අර්බුදයක් බව අප නැවත සිහිපත් කළ යුතුය.

‘අපි ත්‍රස්ත සංවිධාන වගේ නීතියෙන් පිට පවතින්න උත්සාහ කරනවා නෙවෙයි. අපිත් කැමතියි අපට නිත්‍යානුකූලභාවයක් ලබා දෙන, වංචා සහගත ක්‍රියාවන් කරන අයට දඬුවම් කළ හැකි ආකාරයට නීති සම්මත වෙනවා නම්. එහෙත් අපි ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන නෙවෙයි. ඉතිරි කරන සංවිධාන. අපි කියන්නේ, මේ පනත ඒ වෙනුවෙන් ගෙනා එකක් නෙවෙයි.’ රේණුකා භද්‍රකාන්ති මහත්මිය නැවත අවධාරණය කළේ, තමන් මේ විරුද්ධ වන්නේ තමන්ගේ සංවිධානය වැනි ඒවා නීතියකට යටත් කිරීම පිළිබඳ නොවන බව තහවුරු කිරීමටය.

‘අද මේ පනත් කෙටුම්පත ගෙනල්ලා ආණ්ඩුව කියනවා, නෑ නෑ එහෙම ඉතුරු කරන එක බරපතළ වැරැද්දක් කියලා. ආණ්ඩුව ඉතුරු කරන්නේත් නෑ, ණය ගන්නවා විතරයි. ඒක තමයි අපේ වැරැද්ද වෙලා තියෙන්නේ. අපිත් ඒක අහන්නේ නැතිව ඉතුරු කරනවානේ.’ රේණුකා එසේ කියන්නීය.

‘මේ වෙලා තියෙන්නේ අපේ ආර්ථික ස්වෛරීත්වය ඇහිරීමයි. එක්කෝ පනත හදනකොට වැරදුණා. නැත්නම් හිතලා වැරැද්දුවා. මේ කරන්නේ මූල්‍ය සමාගම්වලට ඕනෑ විදියට සෙල්ලම් කරන්නට පිට්ටනිය හදන එක.’ සුනෙත් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, මේ පනත සම්මත වීමෙන් පසුවත්, ණය උගුල්වල සිරවී ජීවිත අහිමි කරගන්නා සංඛ්‍යාව වැඩි වීම මිස අඩු වීමක් සිදු නොවන බවය. වින්දිතයන්ගේ අදහස් නොවිමසා මේ නීති හදන අසංවේදී නිලධාරී පිරිස් සහ ඒවාට අත උස්සන අසංවේදී දේශපාලන නායකයන් එයට වගකිව යුතු බව අපි ඉතිහාසයේ ලියා තබන්නෙමු.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment