අධිආරක්ෂිත බන්ධනාගාරයක් පාලනය කරන සිරකරුවෙක්

3930

මෙරට බන්ධනාගාර පද්ධතිය පිළිබඳ කතා කිරීමේදී ඉකුත් සතියේ සිදුවූ එක්තරා සුවිශේෂී සිදුවීමක් වූයේ වසර ගණනාවක සිට රටේ මාධ්‍ය සමඟ ඉතා සුහදශීලීව කටයුතු කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතාගේ විශ්‍රාම යෑමය.

වසර තිහකටත් අධික කාලයක් බන්ධනාගාර සේවයේ නිරතව ක්‍රමයෙන් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ධුරය දක්වා ඉහළට පැමිණි ඔහු ඉකුත් පස් වැනිදා සිට සිය බන්ධනාගාර රාජකාරි දිවියෙන් ඉසිඹු ලැබීය.

ඉහළම නිලධාරියකු ලෙසින් චන්දන ඒකනායක මහතා එසේ විශ්‍රාම ලබද්දී එයද යටපත් කරමින් අපට වාර්තා වූ එක්තරා කාරණයක්ද තිබිණි. එම කාරණය වූයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් විශ්‍රාම ලබද්දී මෙරට එක් සුවිශේෂී බන්ධනාගාරයක නිල නොවන අධිකාරීවරයා බවට රට වැනසූ මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු පත්ව සිටීමය. එකී බන්ධනාගාරයට නිල වශයෙන් පත් කෙරුණු අධිකාරීවරයෙක් ඇත. එහෙත් වාර්තා වූ අන්දමට සමස්ත බන්ධනාගාරයේ සියලු කටයුතු මේ වන විට මෙහෙයවනු ලබන්නේ කුඩු ජාවාරමාය. කුඩු ජාවාරමාට ඉහළින් යන කිසිවකුත් එහි නැත. මෙම බන්ධනාගාරය කුමක්ද?

එය වූයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පමණක් නොව, ආරක්‍ෂක අමාත්‍යාංශයේද ඍජු අධීක්‍ෂණය යටතේ නවීන තාක්‍ෂණයද යොදා අලුතින්ම සකස් කරන ලද බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය ය. පසුගිය කාලයේ උසස්ම බන්ධනාගාර නිලධාරීන් වගකීමෙන් සඳහන් කළ පරිදි බූස්ස බන්ධනාගාරයේ ජංගම දුරකථන නොමැති විය.

හිතුමතේ අමුත්තන් මුණ ගැසීමේ අවස්ථාවද එහි රඳවා සිටින්නවුන්ට අහිමි යැයි ඔවුහු කීහ. එහි රඳවා සිටියවුන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට පිටතට ගෙනගිය කල්හි යළි ඇතුළට ගෙන එන්නේ දැඩි පරීක්‍ෂා කිරීම්වලින් අනතුරුව බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.

එපමණක් නොව අති විශාල මුදලක් වැය කරමින් බූස්ස බන්ධනාගාරයේ විශේෂිත සිරකුටි සියල්ල ආවරණය වන පරිදි සීසීටීවී කැමරා පද්ධතියක් සවි කිරීමද මේ වැඩපිළිවෙළ ආරම්භයේදී සිදුවිය.

බන්ධනාගාර ප්‍රධානීන් කියන පරිදි එසේ සියලු බාධක යොදා සීසීටීවී පවා සවිකර තිබුණේ නම් බූස්ස බන්ධනාගාරයේ පාලනය මේ අන්දමට කුඩු ජාවාරමකු අතට පත්වූයේ කෙසේද? බන්ධනාගාර මූලස්ථානයේ මෙන්ම බූස්ස බන්ධනාගාරයේ සිටි සහ දැනටත් සිටින ඉහළම නිලධාරීන්ගේ රෙදි ගැළවෙන කතාව වී තිබෙන්නේ කුඩු ජාවාරමා මසකට රුපියල් ලක්‍ෂ විස්සක මුදලක් වැය කරමින් එකී වික්‍රමය කර තිබීමය.

මේ අන්දමට බන්ධනාගාර මූලස්ථානයේ සහ බූස්ස බන්ධනාගාරයේ ප්‍රධානීන්ගේ ආත්මය මසකට වරක් ලබා දෙන රුපියල් ලක්‍ෂ විස්සකට මිලදී ගෙන අද බූස්ස බන්ධනාගාරයේ නිල නොවන අධිකාරිවරයා ලෙසින් කටයුතු කරනු ලබන කුඩු ජාවාරමා වන්නේ කවරෙක්ද?

හේ අන්කිසිවකුත් නොව ජාත්‍යන්තර කුඩු ජාවාරමුන් සමඟ ඍජු සබඳතා ගොඩනඟා ගනිමින් කාලාන්තරයක් පුරා මේ රටත් රටේ තාරුණ්‍යයත් හෙරොයින් මත්කුඩුවලින් සිත්සේ වනසා දැමූ රැඳවියෙකි.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ඔහු යළි හොරොයින් ජාවාරම ජයමට අරඹා ඇතැයි අප අදාළ බලධාරීන්ට පෙන්වා දුන්නේ ඉකුත් පෙබරවාරි මස 19 වැනිදාය. එහෙත් අප එය පෙන්වා දුන්නද එයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත්තකු නොවීය.

අප කිසි දිනෙකත් අසා දැක නැති ආරක්‍ෂක අමාත්‍යාංශයේ පිහිටි බව කියන සැඟවුණු රාජ්‍ය ඔත්තු සේවයකට අනුව වැඩකරන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලොකුම තැන්වල සිටින්නෝද එහිදී මුනිවත රැක්කාහ. බූස්සේ රඳවා සිටින මොහු සඟවාගෙන සිටින නවීන ජංගම දුරකථන තුනක් යොදාගෙන බූස්සේ සිට ජාත්‍යන්තර ජාවාරමුන් අමතමින් කුඩු ජාවාරම කරගෙන යන අන්දම මැනවින් පහදා දෙන්නට ඒ අවස්ථාවේදී අපි කටයුතු කළෙමු.

එහෙත් වගකිවයුතු කවුරු කවරුත් සිටියේ කුඩු කෑ වුන් පරිදිය. එදා මොහු සතු ජංගම දුරකථන තුන ඔහුගේ සිරකුටියෙන් පිටත සඟවාගෙන සිටියේ බූස්ස බන්ධනාගාරයේ කටයුතු සඳහා පැමිණෙන පාටි කාරයෝය. ඒ මීට මාස අටකට ඉහත පැවති තත්ත්වය විය. එහෙත් අද මේ එකී ජංගම දුරකථන සඟවා තැබෙන්නේ කෙසේද?

එකී රාජකාරිය මුදලට කෑදර වී අද සිදු කරනුයේ ඇතැම් බන්ධනාගාර නිලධාරීන්මය. එකී නිලධාරීන්ට ඔහුට සපෝර්ට් කිරීම වෙනුවෙන් අදාළ ගෙවීම් කෙරෙන්නේද හරි අපූරු ක්‍රමයකටය. එය මාස් පතා සිදු වන්නකි. මෙහිදී බැංකු ගනුදෙනු නැත. සිදුවන්නේ ඔහුගේ ගෝලබාලයන් පැමිණ අදාළ නිලධාරීන් හමුවී අතටම එම මුදල් ලබා දීමය.

මෙකී පොඩි පොඩි සූපින් ගෙවීම් හැරුණු කොට ඉහත සඳහන් කළ මාසික රුපියල් විසි ලක්‍ෂය ඔහු අද බූස්ස බන්ධනාගාරයේ ප්‍රධානියෙක් වෙත පිරිනමන්නේද එම සුපුරුදු ක්‍රමවේදයටම ය. අප මුල් අනාවරණය කරන සමයේ මොහු සන්තකයේ වූයේ නවීන ජංගම දුරකථන තුනකි. එහෙත් අද ඒ එක් දුරකථනයක් වෙනුවට ඔහු චන්ද්‍රිකා දුරකථනයක් භාවිත කරන බව බූස්සේ සේවය කරන ඇතැම් බන්ධනාගාර පොඩ්ඩෝ සඳහන් කරන්නාහ.

මෙකී දුරකථන භාවිත කරමින් බූස්ස බන්ධනාගාරයේ සිට අද කුඩු ජාවාරම මෙහෙයවද්දී ඒ ආසන්නයේ පවතින සියලු සීසීටීවී කැමරා අක්‍රීය ය. ඒවායේ කාර්මික දෝෂය. ඔහු සිය ජාවාරමේ කටයුතු මෙහෙයවා අවසන් වූ පසු එකී කැමරා සියල්ලේ දොස් ස්වයංක්‍රීය නිවැරදි වන්නේය. එක් අතකට බලන කල සිදුවන සියල්ල හරිම ආතල්ය.

බූස්සේ රඳවා සිටින කිසියම් රැඳවියකුගෙන් කිසියම් පලිගැනීමක් සිදු කරන්නට අවැසි නම් අද එසේ කටයුතු කිරීම ඔහුට හරිම සිම්පල්ය. බූස්ස බන්ධනාගාරයේ ඉහළට ඔහු සිය ජංගම දුරකථනයකින්ම ලබා දෙන උපදෙස් අනුව වහාම පැමිණෙන නිලධාරියෙක් අදාළ රැඳවියා වෙනතක ගෙන යෑමට කටයුතු කරන්නේය. ඉන් පසුව ඔහුව රඳවනු ලබන්නේ ඉතා කටුක අද්දැකීම් ලැබෙන සිරකුටියකය. එයට හේතුව ලෙසින් සඳහන් කරන්නේ අදාළ රැඳවියා රඳවා සිටි මුල් සිරකුටියේ සීසීටීවී කැමරා අක්‍රීය වී ඇතැයි යන්නය. මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බහුතර රැඳවියන්ට දැඩි රැකවල් යටතේ කටයුතු කරන්නට සිදුව තිබුණද ඔහුට සහ ඔහුගේ හිතවතුන්ට එවැනි රැකවල් නැත.

සිත්සේ විසිට් ලබාගනිමින් ඔවුන් කිසිදු බාධාවකින් තොරව සුවසේ වාසය කරන බව සිදුවන අසාධාරණයට අකැමැති බන්ධනාගාර නිලධාරීහුම අනාවරණය කරන්නාහ. අධිආරක්‍ෂිතය යැයි සඳහන් කරමින් පසුගිය කාලයේ කුඩු ජාවාරමුන් ඇතුළු දරුණු ගණයේ සිරකරුවන් රඳවනු ලැබූ බූස්ස බන්ධනාගාරයේ කටයුතු මෙසේ ඈලියාවට ගියේ කවදා කොතැනක සිටද?

එය බන්ධනාගාර මූලස්ථානයේ එක්තරා ප්‍රබලයකු විසින් ආරම්භ කෙරූවකි. විශේෂිත රැඳවියන් බූස්සට යැවීම ඇරඹීමෙන් පසු උපක්‍රමශීලීව ක්‍රියාත්මක වූ හේ අපූරු වැඩපිළිවෙළක් දියත් කළේය. ඒ අනුව බූස්ස බන්ධනාගාරයට යැවිය යුතු ආකාරයේ විශේෂිත රැඳවියකු සිරගත වූ වහා ඔහු කරනු ලබුවේ බූස්ස බන්ධනාගාරයට නොයවන්නට නම් ඔහුට ලන්සුවක් ඉදිරිපත් කිරීමය. එය රුපියල් විසිපන් ලක්‍ෂයක් පමණ වූවකි.

එතැන් සිට ඉදිරිපත් කරන ලන්සුවට රැඳවියා එකඟ වූයේ නම් ඔහුට ඇතිවන ගැටලුවක් නැත. දරුණුම පාතාල මැරයකු වුවත් බූස්සට නොගොස් ඔහුට රිසි සේ සිටීමට අවස්ථාව ලැබෙන්නේ ඉහත බන්ධනාගාර ප්‍රබලයාගේ ආශීර්වාදය හේතුවෙනි. කලක් යනතුරු එසේ විශේෂිත රැඳවියන් බූස්ස බන්ධනාගාරයට නොයැවීම සිය අමතර ආදායම් මාර්ගය බවට පත්කරගෙන සිටි මෙකී බන්ධනාගාර ප්‍රබලයා මාස කිහිපයක ඇවෑමෙන් එයට එක් සංශෝධනයක් ගෙන එනු ලැබිණි.

ඒ අනුව එතැන් සිට ඔහු කරනු ලැබුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් වෙනත් බන්ධනාගාරයකට මාරු කරවීම පිණිස මිලක් නියම කිරීමය. එහිදී අය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ දහය, පහළව සහ විස්ස ආදී වශයෙන් විය. අදාළ බන්ධනාගාර ප්‍රබලයාගේ මෙම වැඩපිළිවෙළ අනුව ඉකුත් කාලයේ බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂිත ගණයේ සිරකරුවන් විසි දෙනකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීම සිදුවිය.

මේවා පිළිබඳ විමසීම් කෙරෙද්දී ඇතැම් බන්ධනාගාර ප්‍රධානීන් කරනු ලැබුවේ සියල්ල සිදුවන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඊනියා රාජ්‍ය බුද්ධි සේවයෙන් බව පවසා හතර අතට බොරු දෙසා බෑමය. රට තුළ නොමැති බුද්ධි අංශ මවා පාමින් ඔවුහු සිය නිරුවත වසා ගත්හ. එසේ මාරුවීම් ලද ඇතැම් රැඳවියන් සුපුරුදු ලෙසින් බන්ධනාගාරගතව සිටිමින් විවිධ අපරාධ සහ ජාවාරම් සිදු කළද පෙර කී බන්ධනාගාර ප්‍රබලයාට ඒවා අදාළ වූයේම නැත. ඔහු කරනු ලැබුවේ ආත්මය පාවා දෙමින් උපයා ගත් මුදල් මිටි රහසේ ගණන් කිරීමය.

මේ අන්දමට තවකෙකුට වෙනස් කොට සලකමින් මුදල හමුවේ කටයුතු සිදු වෙද්දී ක්‍රමයෙන් බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයද කෝලම් මඩුවක් බවට පත්වූයේ කාගේත් දෑස් ඉදිරිපිටදීමය. පෙරකී ජාවාරමුන් නිල නොලත් බන්ධනාගාර අධිකාරීවරුන් බවට පත්ව බූස්ස බන්ධනාගාරය පාලනය කරනු ලබන්නේ බන්ධනාගාර ප්‍රධානීන්ගේ මේ අලජ්ජී කෙරුවාව හමුවේ නොවේද?

බූස්ස බන්ධනාගාරය මෙසේ ආදායම් ලබන මහා ධන උල්පතක් කර ගැනීමට මොවුහු එය ආරම්භයේ සිට ක්‍රියාත්මක කළ ඉතා අමානුෂික ක්‍රමවේදයක්ද විය. එකී මුල් යුගයේ බූස්ස බන්ධනාගාරයෙන් නඩුවක් සඳහා අධිකරණයට රැගෙන යන සිරකරුවා නැවත බන්ධනාගාර සිර මැදිරියට ගෙන ගියේ හත් අට දෙනකු ඉදිරියේ ප්‍රසිද්ධියේ නිරුවතින් වැසිකිළි කිරීමෙන් අනුතුරුවය.

සිරකරුවන් පශ්චාත් භාගයේ යමක් සඟවාගෙන එනු ඇතැයි සැකය හමුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එය විසඳුම් සෙව්වේ එවැනි අමානුෂික ක්‍රම තුළිනි. එසේම බූස්ස යැවූ එකාට හරි හැටි කෑම ටික නොලැබුණේය. මුලින් සිදු කෙරුණේ බූස්ස බන්ධනාගාරය අමු අපායක් බවට පත් කරමින් එහි රැඳවූවන් දැඩි පීඩනයකට ගොදුරු කිරීමය.

අද සමහරු මසකට රුපියල් විසි ලක්‍ෂයක් පමණ මුදලක් ගෙවමින් බූස්ස බන්ධනාගාරය පාලනය කරන තැනට පත් කරන්නට කවුරු කවුරුත් සමත්ව සිටින්නේද එසේ මුලදී ඇති කරනු ලැබූ අමානුෂික පීඩනය තුළිනි. එසේ රුපියල් විසි ලක්‍ෂයක මාසික කුලියකට මොවුන් බූස්ස බන්ධනාගාරය කුලියට ගනිද්දී මේ මොහොතේ නැති බැරි රැඳවියනට සිදුව ඇත්තේ ඔහුගේ තාඩන පීඩනවලටද මුහුණ දෙමින් තව තවත් විඳවන්නටය. එය මොනතරම් නින්දිතද? මොනතරම් අසික්කිතද?

කොතෙක් පෙන්වා දෙනු ලැබුවද කාලයක සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිදුවන මෙවැනි කාලකණ්ණි වැඩවලට තිත තැබෙන බවක් නම් පේනමානයකවත් නැත. බලධරයිනි තවත් කොපමණ කලක් මේ රට තුළ මෙසේ කටයුතු සිදුවිය යුතුද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment