රොබරෝසියා නුඹ මෙතරම් නපුරුයි ද?

315

ජීවිතය යනු නිමේෂයක් එසේත් නැත්නම් ඇසිපිය ගසන මොහොතක් බව යළි යළිත් පසක් වෙමින් ඇත. කල්යල් බලා එල්ල කළ වෙඩිල්ලක් සේ රොබරෝසියා ගස බස් බද මතට කඩා වැටෙන්නේත් බසය ඒ නිමේෂය තුළ ගස පාමුල නතරව හිඳින්නේත් මරු විසින් කළ විධානයක් අනුවදැයි සිතෙන තරමට එම සිදුවීම් දෙක එකිනෙකට සමපාතය. ඛේදවාචකය නිමාවට පත්වන්නේ පුද්ගලයන් පස්දෙනෙකුගේ ජීවිත තලා පොඩිකර දමමිනි. මේ සටහන තබන මොහොත වනවිට ඔවුන් කවුරුන් දැයි නොදනිමි. එම අනතුරට මුහුණ දුන් තවත් පස්දෙනෙකු ජීවිතයත් මරණයත් අතර සටනක බව සංවේගයෙන් ලියා තබමි. අනතුර සිදුවන්නේ දෙණියාය සිට කොළඹ බලා එන අතරතුර මුණගැසෙන කඳුහෙල් අතර නම් එසේත් නැතිනම් රියැදුරන්ගේ නොහික්මීම මත නම් තරමක් දුරට හෝ හිත හදාගැනීමට තිබුණි. එහෙත් විපත පැමිණියේ සිටි නුගයක් ලෙසිනි.

සුපුරුදු පරිදි අලුයම 1.30ට දෙණියායෙන් පිටත් වූ බස් රථය මොරවක, නෙළුව, යට්ටපාත, පැලවත්ත, හොරවල, මතුගම, කළුතරට පැමිණ ගාලු පාර ඔස්සේ පැමිණ කොළඹ ප්‍රධාන බස් නැවතුමේ නතර වන්නේ සිය දීර්ඝ සංචාරය අතරතුර හෝරාවක පමණ විරාමයක් ගැනීම පිණිසය. ඉන් අනතුරුව නැවතත් දෙණියාය බලා ගමන් අරඹන බස් රථය බලාපොරොත්තුවෙන් මගීන් කීපදෙනෙක් රැඳී සිටීම දිනපතා සිදුවන්නකි. ඔවුන් අතර කොළඹ සිට පිට පළාත් බලා රැකියා පිණිස යන අය මෙන්ම සාමාන්‍ය මඟී ජනතාව ද වෙති. උදෑසන 5.45 ට කොළඹින් ගමන් අරඹන බස් රථය ඉන් අනතුරුව සුපුරුදු දෙණියාය බලා පිටත් වන්නේය. මෙය දිනපතා සිදුවන්නකි. බස් රථය ධාවනය කරනු ලබන්නේ පළපුරුදු රියැදුරෙකු විසින් ය. කඳුහෙල් ගහන දෙණියාය, නෙළුව ප්‍රදේශය පසු කරමින් රාත්‍රි අන්ධකාරය ඉරා දමමින් පැමිණෙන එම ගමන, ගමන් මඟ පිළිබඳ හොඳින් දත් රියැදුරෙකුට හැර අන් අයෙකුට කළ නොහැක.

ඉකුත් 06 දා අලුයම ද එසේමය. දෙණියාය සිට කොළඹ පැමිණි බස් රථය නැවත දෙණියාය බලා පිටත්වීමට සූදානම් ය. වේලාව අදෑසන 5.45 වූවා පමණි. ඇන්ජිම පණගැන්වූ රියැදුරු තැන බස් රථ අංගණයෙන් පිටව ක්‍රමයෙන් ඉදිරියට ධාවනය කරන්නට විය. ඒ වනවිට බස් රථය තුළ අසුන්ගත් පිරිස 15ට ආසන්නය. බසය කොල්ලුපිටිය මංසන්ධියට ආසන්න වනවිට ද අසුන් සම්පූර්ණ වීමට ප්‍රමාණවත් මඟීන් පිරිසක් එහි නැත. කොල්ලුපිටිය වටරවුම පසුකළ බස් රථය ඒ ආසන්නයේ වූ බස් නැවතුමක් අසල නතර වන්නේ තවත් මගීන් කීපදෙනෙකු එහි නංවා ගැනීම පිණිසය.

එවෙලෙහි ද යෝධ රොබරෝසියා ගසක් ඒ ගස වෙලාගත් නුගයත් නිසොල්මන් ය. ඩුප්ලිකේෂන් මාවතේ නිතර දකින්නට ලැබෙන රථවාහන තදබදය ද නැත. උදෑසන බැවින් මාර්ගය සන්සුන් ය. බස් රථය තුළ ගමන් ගත් මඟීන් ගෙන් ඇතමෙක් අඩ නින්දේය. තවකෙක් වෙනත් කල්පනාවක ය. ඒ කිසිවක් නොදැන සිටි කරුණක් නම් එළැඹෙමින් පැවතියේ මරණීය තත්ත්පරය බවය. පළාතම අවදි කරමින් අර යෝධ රොබරෝසියා ගස බස් රථය මතට ඇද වැටෙන්නේ ඒ වෙලාවේ ය. කිසිවක් සිතා ගත නොහැක. බස් රථය දෙකඩ වූවා වැනිය. පිරිසක් නඟන මර ලතෝනි අවට උස් ගොඩනැඟිලිවල හැපෙමින් දෝංකාර දෙන්නට විය. තවත් කීපදෙනෙක් ඒ වනවිට ගමන නොව සිය ජීවිත ගමන නිමා කොට අවසන් ය. ජීවිතයේ අනියත බව පිළිබඳ කියන්නට තවත් නිදර්ශන අවශ්‍ය නොවන බව ඔවුන් විසින් ජීවිතයෙන් ඔප්පු කොට අවසන් ය.

රැස් වූ පිරිසට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුවිය. ඒ තුවාලකරුවන් බස් රථයෙන් ඉවතට ගැනීම සඳහා ය. කෙනෙකුගේ විපතේදී උණුවන හදවත් සිය ජීවිත අවධානම ද නොතකමින් විපතට පත් වූවන්ගේ ජීවිත බේරා ගැනීම පිණිස දැඩි සටනකය. ආරක්‍ෂක හමුදාවන්ගේ සහාය ද ඊට නොමදව හිමි විය. බස් රථයේ සිර වී සිටි සීමිත පිරිස රෝහල් කරා රැගෙන යෑම ආරම්භ විය. එය ත්‍රස්තවාදී සමය තුළ කොළඹ ආශ්‍රිත බෝම්බ පිපිරීමකින් අනතුරුව සිදුවන ක්‍රියාවලියට බොහෝ සෙයින් සමාන ය.

රතු පැහැති අලුයමක් කොළඹට ඉතිරි කළ එම ඛේදවාචකය හේතුවෙන් මියගොස් ඇත්තේ කොටහේනේ පදිංචි 54 හැවිරිදි වී. එස්. ප්‍රියංජන, අහංගම පදිංචි 34 හැවිරිදි ජී. ඒ. ඒ. චතුරංග, මාතලේ පදිංචි 31 හැවිරිදි එච්. රත්නායක, පෑලියගොඩ පදිංචි 65 හැවිරිදි බාලක්‍රිෂ්ණන් සුබ්‍රමනියම් සහ රාගම පදිංචි අරුණ ප්‍රනාන්දු යන අය අයයි.

කෙසේ වෙතත් රැකියාවට යෑම පිණිස එසේත් නැත්නම් තම සමීපතමයකු මුණගැසීම හෝ වෙනත් යම් කටයුත්තක් පිණිස උදෑසන නිවසින් පිටත්ව යන්නේ යළි නොඑන ගමනක් බව රොබරෝසියා ගස දන්නේ නැත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment