නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ආරම්භ කරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි 7 වන දින කළ දීර්ඝ කථාවේදී දූෂණය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමක් කළේය. තම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූ කෙහෙළිය රඹුක්වැල්ල බරපතළ දූෂණ චෝදනාවකට ලක්වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා කළ ප්‍රකාශය එලෙසින්ම ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ අවධානයට යොමු විය යුතුය. ජනාධිපතිවරයා: “දූෂණය මේ රටට පිළිලයක් වී ඇති බව බොහෝ දෙනෙක් පිළිගන්නවා. ඒත් දූෂණය තුරන් කළ හැක්කේ ක්‍රමවත් සහ විධිමත් නීතිරීති මාලාවකින් පමණක් බව හුඟ දෙනෙක් අවබෝධ කරගෙන නැහැ. හොරු අල්ලනවා හොරු අල්ලනවා කියා කෑ ගැසුවාට හොරු අල්ලන්න බැහැ. හොරු අල්ලන්න නම් ඒ සඳහා පදනම් කරගත හැකි ශක්තිමත් නීති රීති පද්ධතියක් වගේම, විද්‍යාත්මක ක්‍රමවේදයක් ද අවශ්‍ය වෙනවා. ඒවා ක්‍රියාත්මක කළ හැකි පුහුණු නිලධාරීන්ද අවශ්‍ය වෙනවා.

බොහෝ අය හිතාගෙන ඉන්නේ දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීමෙන් ප්‍රශ්නය අවසන් කියායි. එය මිත්‍යාවක්. දූෂණයක් සිදුවීම වැළැක්වීම සඳහාද තද බල නීති සකස් කළ යුතුයි. ඒ වගේම දූෂිතයන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. දූෂණ මැඬපැවැත්වීමට මෙම කරුණු දෙකම එකට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුයි.

ඒ සඳහා අප දූෂණ විරෝධී පනත සම්මත කර ගත්තා. දැන් ඒ පනත ක්‍රියාත්මකයි. එවැනි පනත් ක්‍රියාවට නැංවීමේදී අප කිසිවිට දේශපාලන හෝ වෙනත් බලපෑම් කරන්නේ නැහැ. ඒ බව දැන් මුළු රට ඉදිරියේ සනාථ වී තිබෙනවා.”

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළේ රඹුක්වැල්ල අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී පැය 24 ක් යෑමට පෙරය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුකළ ඉමියුනෝ ග්ලොබියුලින් ප්‍රතිදේහ වංචාව සම්බන්ධයෙන් එවකට සුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල (69) බන්ධනාගාරගත කිරීම ළඟ එන ජනාධිපතිවරණයට අතිශය බරපතළ බලපෑමක් කරනු ඇත.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් පෙබරවාරි 15 දින දක්වා බන්ධනාගාරගත කර ඇති හිටපු අමාත්‍ය රඹුක්වැල්ලගේ දේශපාලන අනාගතය ද අනතුරේ බව අමුතුවෙන් කිව යුතු නැත.

රඹුක්වැල්ල මන්ත්‍රීවරයාට මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ වේදිකාවකට ගොඩවීමට අවස්ථාවක් තිබේද? ව්‍යවස්ථානුකූලව ඊට පසුව ලබන වසරේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට තරග කිරීමට දේශපාලන වටපිටාවක් ඇති කර ගැනීමට හිටපු අමාත්‍යවරයාට හැකියාවක් තිබේද?

විපක්ෂය, මාධ්‍ය, සමාජ මාධ්‍යජාලා සහ ජනතා ප්‍රතිචාර අනුව තීව්‍ර වෙමින් පවතින අභියෝගය වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවට අතිශය තීරණාත්මකය. ඉමියුනෝ ග්ලොබියුලින් වංචාව සිදුවන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නායකත්වය දුන් කැබිනට් මණ්ඩලයේ ප්‍රබලයකු වූ රඹුක්වැල්ලට එජාප නායකයාගේ ජනාධිපතිවරණ වේදිකාවට ආරාධනාවක් ලැබීමට අවස්ථාවක් නොමැත. ජනාධිපතිවරයා කළ රාජාසන කතාව අනුව ඔහුට රඹුක්වැල්ල මොනයම්ම තත්ත්වයක් තුළවත් තම මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කරගත නොහැකිය.

වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී නිල වශයෙන් සහයෝගය දෙනවාද නැතහොත් තම පක්ෂයේම අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද යන අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද (පොහොට්ටු පක්ෂයට) රඹුක්වැල්ල හිසරදයක් බව පැහැදිලිය. දෙපාර්ශ්වයම කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයකට පත්වී ඇත. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ ඉමියුනෝ ග්ලොබියුලින් ප්‍රතිදේහ වංචාව සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා හෙළිදරව් කරන තත්ත්වය අතිශය ආන්දෝලනාත්මකය.

ඇත්ත වශයෙන්ම ඉමියුනෝ ග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සැකකරුවකු ලෙස නම් කිරීම, පෙබරවාරි 3 වන දින අත්අඩංගුවට ගැනීම, සති දෙකකට බන්ධනාගාරගත කිරීම, එසැනින් ඔහුව බන්ධනාගාර රෝහල්ගත කිරීම සහ පෙබරවාරි 6 වන දින අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සමස්ත කැබිනට් සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය හෑල්ලු කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 07 දින නමවන පාර්ලිමේන්තුවේ පස්වන සැසිය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වීමට ලබා දුන් අවස්ථාව රඹුක්වැල්ල ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කිසිවකු පුදුම විය යුතු නැත. ඔහු මුහුණ දී ඇති අභියෝගාත්මක තත්ත්වය තුළ පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකිය. (ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු මෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද කොමිටියේ සාමාජිකයකු වූ අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 780 පමණ වටිනා රත්‍රන් සහ ‘ස්මාර්ට්’ ජංගම දුරකථන තොගයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් රහසිගතව රට තුළට ගෙන ඒමට කළ උත්සහයක් පසුගිය වසරේ මාර්තු මාසයේදී ව්‍යර්ථ විය. මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්විය. රේගුව පැනවූ ලක්ෂ 75 ක දඩය සැනින් ගෙවා දැමූ මන්ත්‍රීවරයා එදිනම පාර්ලිමේන්තු සැසියකටද සහභාගි විය. රහීම් තවමත් මුස්ලිම් ජාතික සන්ධානයේ (Muslim National Alliance) එකම මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරයි.)

දූෂිත සෞඛ්‍ය ක්ෂේත්‍රය පමණක් නොවේ

ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ 'කෙළිය' ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවට

ඉමියුනෝ ග්ලොබියුලින් වංචාව අවධාරණය කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දූෂිත බව පමණක් නොවේ. කවුරු බලයේ සිටියත්, කුමන අමාත්‍යාංශය අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවුවත්, රට බංකොළොත් වුවත් නැතත් ශ්‍රී ලංකාවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ රජය කරන මිලදී ගැනීම් ‘රාජ්‍ය’ බලය අත ඇති එවුන්ට ධන ඉල්ලමක් බවයි. මෙම ප්‍රකාශය දේශපාලනඥයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. රාජ්‍ය නිලධාරීන්ට ද අදාළය. ඉමියුනෝ ග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති එවකට සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත එම අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරී වීම අවධාරණය කරන්නේ රටේ උද්ගත වී ඇති අවාසනාවන්ත තත්ත්වයයි.

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වී සිටින අවස්ථාවක බන්ධනාගාරගත කළ පළමුවන මහජන නියෝජිතයා රඹුක්වැල්ල වුවත් අමාත්‍යවරයකු ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවභාවිතා කළ පළමුවැනියා ඔහු/ඇය නොවන බව අවධාරණය කළ යුතුමය. නමුත් රඹුක්වැල්ල බන්ධනාගාරගත කිරීම ශ්‍රී ලංකා දේශපාලනය උඩු යටිකුරු කර ඇත.

නමුත් මීට පෙර කිසිදු දේශපාලනඥයකුට දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් එල්ල නොවූ විරෝධයක් රඹුක්වැල්ලට එල්ල විය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත රඹුක්වැල්ලට එරෙහි මෙහෙයුමට කිසිදු බලපෑමක් කිරීමට සමත් වූයේ නැත. මෙම දූෂණයට එරෙහිව පළමු වෙඩිමුරය පත්තු කළේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත කුමාර බව සඳහන් කළ යුතුමය. ඊට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමගි ජන බලවේගය, එක්සත් ජනරජ පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, රවී කුමුදේශ්, වෛද්‍ය චමල් සංජීව සහ ආචාර්ය අජන්තා පෙරේරා ද ප්‍රබල හඬක් සුව අමාත්‍යාංශයේ දූෂිත ක්‍රියාවලියට එරෙහිව හඬනැඟීය.

වෘත්තිය සමිති නායකයකු ලෙස වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ (අමාත්‍යවරයා අත්අඩංගුවට පත්වීමට පෙර සහ පසු) අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව දරුණු සොර මුළක ග්‍රහණයට අසුවී ඇති බවයි. ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වන වෛද්‍ය බෙල්ලන මෑතකදී රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරන ලදී. ඒ රඹුක්වැල්ල අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම රහස් පොලිසිය ප්‍රමාද කිරීම අපහාසයට ලක්කිරීම නිසාය.

වික්‍රමසිංහ – රාජපක්ෂ රජය ජාතික මැතිවරණයක් ඉදිරියේ ඉමියුනෝග්ලොබියුලින් ගොහොරුවේ ගිලී ඇත. පසුගිය සැප්තැම්බර් 6, 7 සහ 8 පැවති විවාදයෙන් පසුව ආණ්ඩු පක්ෂය පහසුවෙන් රඹුක්වැල්ල අමාත්‍යවරයා ගලවා ගත්තේය. ඡන්දය ගනු ලැබූ අවස්ථාවේ මැති සභයේ සිටියේ මැති ඇමැතිවරු 184 කි. එයින් 112 විශ්වාස භංගයට එරෙහිව තම ඡන්දය පාවිච්චි කළ අතර මන්ත්‍රීවරු 72 ඊට පක්ෂ විය. මැති ඇමැතිවරු 41 දෙනකු ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැත. එලෙස විශ්වාස භංග යෝජනාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ මැති ඇමැතිවරු පහත සඳහන් වේ:

කෙහෙළිය පළමු වටය දිනුම්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දෙවරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, සභා නායක සුසිල් ප්‍රේමජයන්ත, එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, හිටපු සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, හිටපු සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, අලි සබ්රි, විදුර වික්‍රමනායක, නසීර් අහමඩ් (රටේ ඉහළම අධිකරණය විසින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි කරන ලදී), මනුෂ නානායක්කාර, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ (වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයෙන් නෙරපා හරින ලදී. ඊට හේතු වූයේ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇතිවූ ගැටුමයි), Ceylon Workers Congress නායක ජීවන් තොන්ඩමන්, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ජනක වක්කුඹුර, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, තේනුක විදානගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ලසන්ත අලගියවන්න, රෝහණ දිසානායක, ප්‍රේමලාල් ජයසේකර (2015 දී රත්නපුරයේ සිදුකළ දේශපාලන මිනීමැරුමකට 2020 ජුලි 31 තවත් පුද්ගලයන් දෙදෙනකු සමග මරණ දඬුවමට යටත් කළ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනාම 2022 මාර්තු 31 වන දින නිදොස්කොට නිදහස් කරන ලදී. දැනට රාජ්‍ය අමාත්‍යවරයෙකි), අරුන්දික ප්‍රනාන්දු, විජිත බේරුගොඩ, ලොහාන් රත්වත්තේ, සනත් නිශාන්ත (කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේදී අනතුරකින් මරණයට පත්විය), තාරක බාලසූරිය, ඉන්දික අනුරුද්ධ හේරත්, සිරිපාල ගම්ලත්, අනුරුද්ධ ජයරත්න, එස්. වියලේන්ද්‍රන්, ඩී. වී. චානක, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත ද සිල්වා, ප්‍රසන්න රණවීර, ඩී. බී. හේරත්, ශෂේන්ද්‍ර රාජපක්ෂ, වෛද්‍ය සීතා අරඹේපොල, ශාන්ත බණ්ඩාර, කේ. කාදර් මස්තාන්, අසෝක ප්‍රියන්ත, ඒ. අරවින්ද් කුමාර්, ගීතා කුමාරසිංහ, ආචාර්ය සුරේන් රාඝවන්, ඩයනා ගමගේ, ටී. එම්. වී. පී. නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් (හිටපු කොටි ත්‍රස්තවාදියෙකි) 2005 නත්තල් දින මඩකලපුවේ දේවස්ථානයක සිදු කළ ජෝශප් පරාරජසිංහම් මන්ත්‍රීවරයාගේ මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිල්ලෙයාන් 2021 ජනවාරි මාසයේදී මඩකලපුව මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී), චාමර සම්පත් දසනායක, අනුප පැස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන (වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියෝජනය කරන එජාපයේ එකම මන්ත්‍රීවරයා.

ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ 'කෙළිය' ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවට

ඔහු ජාතික ලැයිස්තුව නියෝජනය කරයි), සී. බී. රත්නායක (රඹුක්වැල්ල අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරන වෛද්‍ය සමන් රත්නායකගේ සොහොයුරා. සුව අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන වෛද්‍ය රත්නායකගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අධිකරණයේ සහ නීතිපති අවධානයද යොමු වී ඇත), එස්. එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, සරත් වීරසේකර, විමලවීර දිසානායක, කපිල අතුකෝරල, වෛද්‍ය ගයේෂන් නවනන්දන (කෘථහස්ත දේශපාලඥයකු වූ වාසුදේව නානායක්කාර ගේ Democratic Left Front පක්ෂය හරහා පොහොට්ටු පක්ෂයෙන් පළමුවන වරට මැති සභයට පැමිණියේ 2020 මාසයේදීය), ජයන්ත කැටගොඩ, සම්පත් අතුකෝරාල, තිස්ස කුට්ටිආරච්චි, යූ. කේ. සුමිත් උඩුකුඹුර, විශ්‍රාමික මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, අකිල එල්ලාවල, ජගත් කුමාර සුමිත්‍ර ආරච්චි, කරුණාදාස කොඩිතුවක්කු, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, කුලසිංහම් ධිලීපන්, සුදර්ශන දෙනිපිටිය, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, එච්. නන්දසේන, මුදිතා ප්‍රිශාන්ති, සුදත් මංජුල, මායාදුන්න චින්තක අමල්, නිපුන රණවක, කුමාරසිරි රත්නායක, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රමේශ්වරන්, රාජික වික්‍රමසිංහ, සහන් ප්‍රදීප් විතාන, මධුර විතානගේ, ඩී. වීරසිංහ, සමන්ප්‍රිය හේරත්, පොහොට්ටු පක්ෂයේ මහා ලේකම් නීතිඥ සාගර කාරියවසම්, යදාමිනි ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනාම-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ යදාමිනි ගුණවර්ධන එක ස්ථාවරයක් ගැනීම විශේෂත්වයකි. එම පක්ෂය සෑම විටම පනත් සම්බන්ධයෙන්ද එක ස්ථාවරයක් ගෙන ඇත), මංජුල දිසානායක, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ජයන්ත වීරසිංහ, ඒ. එල්. එම්. අතාඋල්ලා, අලි සබ්රි රහීම් (රත්‍රන් ජාවාරම්කරු), නිමල් ලන්සා (පොහොට්ටු පක්ෂයෙන් වෙන්වී වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය පලකරන කණ්ඩායමේ ප්‍රධානියෙකි), ලලිත් වර්ණකුමාර සහ ජගත් සමරවික්‍රම.

මූලික අඩිතාලම දැමුවේ කවුරුද ?

රඹුක්වැල්ල අමාත්‍යවරයා ඉමියුනෝ ග්ලොබියුලින් ප්‍රතිදේහ වංචාව සම්බන්ධයෙන් නඩු කටයුත්තේ 8 වන සැකකරු ලෙස නම් කිරීමෙන් පසුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කළ ප්‍රකාශය අවධාරණය කළේ කැබිනට් මණ්ඩලයේ ශෝචනීය තත්ත්වයයි. අමාත්‍යවරයා ව්‍යාජ බෙහෙත් හිඟයක් කැබිනට් මණ්ඩලයට අවධාරණය කර නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව මිලදී ගැනීම් කිරීමට අවසරය ලබා ගැනීම අධිකරණයේ අවධානයට ලක් කිරීම ගිරිහාගම මෙනවිය ඉතාමත් වැදගත් කරුණු තුනක් අවධාරණය කළේය. එනම් (1) ඉමියුනෝ ග්ලොබියුලින් ප්‍රතිදේහ වංචාවට මූලික අඩිතාලම දැමුවේ අමාත්‍යවරයා බවයි. (2) මෙය සැලසුම්සහගත අපරාධයක් බව සහ (3) ඊට අදාළ සැප්තැම්බර් 26, 2022 කැබිනට් පත්‍රිකාව දැනට බන්ධනාගාරගත කර සිටින සුව ලේකම් ජනක චන්ද්‍රගුප්ත සකස් කර ඇත්තේ අමාත්‍යවරයාගෙන් ලැබුණු උපදෙස් මත බවයි.

ඉමියුනෝ ග්ලොබියුලින් ප්‍රතිදේහ වංචාව පසුබිමේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නිසි අවධානය යොමු කළ යුතුය. අමාත්‍යවරයා සහ අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රසම්පාදන ක්‍රියාවලිය තමන්ට අවශ්‍ය ආකාරයට පාවිච්චි කළේ සුව අමාත්‍යාංශයේ පමණක් නොවන බව කවුරු කවුරුත් පිළිගත යුතුය. පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කමිටු හරහා සැකකටයුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියන් සම්බන්ධයෙන් පසු විපරමක් කළ යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment