යුද ගින්නෙන්, වාර්ගික ගැටලුවලින්, දේශගුණ විපර්යාසයෙන් බැට කමින් ජීවත්වූ ජනතාව පැදුරෙන් බිමට ඇද දැමුවේ කොවිඩ් – 19 වසංගතයයි. වසංගතයෙන් ජීවිත අහිමිවූවාක් මෙන්ම ලෝක බැංකු දත්ත විශ්ලේෂණයන්ට අනුව ගෝලීය ජනතාවගෙන් මිලියන 700ක් පමණ තවමත් ජීවත් වන්නේ දිනකට ඩොලර් 2.15ට අඩු ආදායමක් ලබමිනි. සාමාන්‍ය ජනතාවට පමණක් නොව ලොව මහා ධන කුවේරයන්ට ද වසංගතය සහ පවතින යුදමය තත්ත්වයන් කෙතරම් බලපා ඇත්දැයි යන්න අමෙරිකානු ගෝලීය මාධ්‍ය සමාගමක් වන ෆෝබ්ස් මගින් කළ නවතම හෙළිදරව්වෙන් අනාවරණය වෙයි.

මෙවර ෆෝබ්ස් සඟරාව වසරකට පෙර සිටි බිලියනපතියන්ගෙන් අඩක් ම වාගේ බාගෙට බාගයක් දිළිඳු වී ඇති බව දක්වා ඇත. මුළු පෘථිවි තලයේ ම බිලියනපතියන් ගේ වත්කම ඩොලර් ටි්‍රලියන 12.2ක් වන අතර 2022 මාර්තුවේ සිට මේ වසරේ මාර්තු දක්වා බිලියනපතියන් ගේ අඩකම ධනවත්කම ඩොලර් බිලියන 500 කින් පහළ බැස ඇත. පසුගිය වසරේ ලොව මහා ධනවතා වූ ඊලොන් මස්ක් ඔහු ගේ ටෙස්ලා යෝධ ව්‍යාපාරය ආර්ථික වශයෙන් පාඩු ලැබීමේ හේතුවෙන් දෙවැනි තැනට පල්ලම් බැස සිටිය ද නැවත තම ස්ථානය රැක ගැනීමට සමත්වී සිටියි. 2023 දෙවැනියට ධනවතා වී සිටින්නේ සුඛෝපභෝගී ද්‍රව්‍ය අලෙවි කරන LVMH (Moët Hennessy Louis Vuitton) ව්‍යාපාරයේ හිමිකරු, ප්‍රංශ පුරවැසියකු වූ බර්නාඩ් ආනෝල්ට් ය. ප්‍රංශ ජාතිකයකු ලොව ධනවත් ම පුද්ගලයා වී සිටින්නේ ප්‍රථම වරට ය. තෙවැනි ධනවන්තයා අමෙරිකාවේ ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් ය. Oracle නිර්මාතෘ ලැරී එලිසන්, ආයෝජන ගුරු වොරන් වොරන් බෆෙට් ය. කලක් ලොව මහා ධනවතා වූ බිල් ගේට්ස් මෙවර සය වැනියා ය. තවමත් ලොව බිලියනපතියන් වැඩි වශයෙන් වෙසෙන්නේ අමෙරිකාවේ ය. ධනවතුන් වැඩි රටවල් අතරින් දෙවැනි තැන ගන්නේ චීනයයි. ඉන්දියාව බිලියනපතියන් 169කගේ නිජ බිම ය. ලොව ධනවතුන් දහය අතර ඩොලර් බිලියන 83.4කට හිමිකම් කියන ඉන්දියාවේ මුකේෂ් අම්බානි නව වැනි තැන හිමිකර ගෙන සිටියි.

ලොව ධනවත්ම කාන්තාව, LzOreal හිමිකාරිය ෆ්‍රොන්සවාස් බ්‍රෙටින්කෝට් මයර්ස් බිලියනපතියන් අතර 11 වැනි තැන හිමිකරගෙන සිටින්නී ය. ඇය LzOreal නිර්මාතෘ ගේ මිනිබිරියයි.

ෆෝබ්ස් එසේ අනාවරණය කරද්දී Oxfam International/ ඔක්ෆම් ඉන්ටර්නැෂනල්, ලොව පළමු ටි්‍රලියනපතියා දශකයක් ඇතුළත බිහිවනු ඇති බවට අනුමාන කරයි.

ධනවත්ම පස් දෙනාගේ ආදායම 114%න් ඉහළට

ඔක්ස්ෆම් ඉන්ටර්නැෂනල් පෙන්වා දෙන අන්දමට ලොව වැඩම බිලියන ගණනකට හිමිකම් කියන ධනවතුන් පස් දෙනා වන ඊලොන් මස්ක්, බර්නාඩ් ආනෝල්ට්, ජෙෆ් බෙසොස්, ලැරී එලිසන් සහ වොරන් බුෆෙට් ගේ ආදායම 2020 වසරේ සිට 114% න් ඉහළ ගොස් ඇත. එසේ වාර්තා වන්නේ ගෝලීය ජනතාවගෙන් බිලියන 4.8ක් හෙවත් 60% ක ප්‍රතිශතයක් දරිද්‍රතාවෙන් අති දරිද්‍රතාවට පත් කරමිනි. තත්ත්වය මෙසේ තිබියදී දශකයක කාල පරිච්ඡේදය ඇතුළත ලොව පළමු ටි්‍රලියනපතියා ගැන ලොවට දැන ගැනීමට ලැබෙනු ඇත. ටි්‍රලියනපතියා දශකයක් ඇතුළතදී දැන ගැනීමට ලැබුණ ද දරිද්‍රතාවේ පත්ලෙන් ගොඩවීම සහතික කිරීමට ගෝලීය ජනතාවට වසර 229 ක් ගත වනු ඇත.

බෙදීයාමේ දශකයත් උදාවෙයි

පවතින යුදමය වාතාවරණය යටතේ මේ වන විට ගෝලීය වශයෙන් කෙතරම් බෙදී ගොස් තිබෙනවාද ? ආර්ථික අසමානතාව හේතුවෙන් මේ බෙදී යෑම ඉදිරි දශකයේදී දෙගුණ තෙගුණ වනු ඇත. ඔක්ස්ෆම් අන්තර්වාරික විධායක අධ්‍යක්ෂ අමිතාබ් බෙහාර් වාර්තා කරන්නේ අහස පොළොව හා පරස්පර මූල්‍ය බලය විසින් ගෝලීය ජනතාව අතර බෙදීමක් ඇති කරන බව ය. ලොව බිලියනපතියන් පස් දෙනකු ගේ බලය දෙගුණයකට වඩා වැඩි වෙද්දී බිලියන පහක ජනකායක් වඩාත් දිළිඳු භාවයට පත්වෙයි. බලවත් රාජ්‍යවල නායකත්වය දැනටත් තීන්දු කරන එක් සාධකයක් වන්නේ ධනවත් ව්‍යාපාරිකයන් ගේ අදිසි හස්තයයි.

යටත් විජිතවාදයේ සාපය තවමත් ලොවට ම බලපායි. අමෙරිකාව සහ බොහෝ යුරෝපියානු රටවල් ධනවත් වී ඇත්තේ යටත් විජිත රාජ්‍යයන්වලින් උදුරා ගන්නා ලද සම්පත්වලිනි. නිදහස ලැබුවත් බහුජාතික සමාගම් විසින් දිගින් දිගටම මේ සූරාකෑම සිදු කර ගෙන යයි. G20 සමුළුව විසින් වැඩිවෙමින් පවතින අසමානතාව තුරන් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙමින් පැවතීම දරිර්ද්‍රතාවෙන් පීඩා විඳින රටවලට මඳ අස්වැසිල්ලක් ලබා දී ඇත.

ලෝක ප්‍රජාවෙන් බහුතරයක් හිඟා නොකා හිඟා කද්දී බඹරෙ වැල්ලෙත් කැරකෙන බිලියනපතියන්

ලොව බිලියනපතියන් වැඩිදෙනෙක් ඉපදුණු දිනයත් සොයා ගෙන

ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයන් විසින් ලොව බිලියනපතියන් වැඩි දෙනකු ගේ උපන් දිනය අනාවරණය කරගෙන තිබෙයි. ඒ අනුව වැඩි දෙනෙක් උපත ලබා ඇත්තේ නොවැම්බර් 30 වැනි දින ය. ලොව බිලියනපතියන්ගෙන් 189ක් පමණ අමෙරිකාවේ ජීවත්වන අතර චීනයේ ජීවත්වන බිලියනපතියන් ගේ ගණන 53කි. ගෝලීයව වෙසෙන බිලියනපතියන් 500න් 19කගේ ම උපන් දිනය නොවැම්බර් 30 බව අනාවරණය කරගෙන තිබෙයි. මොවුන් අතර නිෂ්පාදකයන්, ප්‍රකාශකයන් සහ සිනමා නිෂ්පාදකවරුන් ද සිටියි. නොවැම්බර් මාසයට පසු බිලියනපතියන් වැඩි සංඛ්‍යාවක් ඉපදී ඇති මාසය වන්නේ ඔක්තෝබර් මාසයයි. ජනවාරි පළමු වැනි දින බිලියනපතියන් 13කගේ උපන් දිනය යෙදී ඇත.

ලොව පළමුවැනි බිලියනපතියා බිහිවූවා යැයි සැලකෙන්නේ 1916දීය. ඔහු අමෙරිකානු ව්‍යාපාරික ජෝන් ඩී. රොකෙෆෙලර් ය. වර්තමානයේ පෘථිවි තලයේ ධනවතා වන ඊලොන් මස්ක් ඩොලර් බිලියන 250 කට ආසන්න වත්කමකට හිමිකම් කියන බව ෆෝබ්ස් වාර්තා කරයි. අලුතින් බිහිවන ටි්‍රලියනපතියා කවුරුන් වුවත් ඔහු ගේ ධනය සෞදි අරාබියාවේ වත්කමට නො පරදිනු ඇතැයි ඔක්ස්ෆම් වාර්තා කරයි.

අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment