ඇගෙ සිනහව තහනම්… චන්ද්‍රකුමාර් කඳනආරච්චි දිවි සැරියට සමුදෙයි

275

දශක පහකට අධික කාලයක් මෙරට සංගීත ලෝකය ප්‍රභාවත් කළ ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර් කඳනආරච්චි මහතා ඊයේ (26දා) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

1946 දෙසැම්බර් 22 වැනිදා උපත ලද ඒ මහතා මියයන විට 76 හැවිරිදි වියේ පසුවිය.

70 දශකයේ කන්ද උඩරටින් ගීත ක්‍ෂේත්‍රයට එක්වූ කඳනආරච්චි සහෝදරයින් වූ ටියුඩර් කඳනආරච්චි, වික්ටර් කඳනආරච්චි යන සහෝදරයන්ගේ අශීර්වාදය මැද චන්ද්‍රකුමාර් කඳනආරච්චි මහතා සංගීත ක්‍ෂේත්‍රයට පිවිස තිබේ. එමෙන්ම ඔහු දක්ෂ හවායන් ගිටාර් වාදන ශිල්පියකු ද විය.

ඒ මහතා මහනුවර කිංස්වුඩ් විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇත.

‘ඇගෙ සිනහව තහනම්” ගීතයෙන් ජනප්‍රියත්වයට පත්වූ චන්ද්‍රකුමාර් කඳනආරච්චි මහතා ‘ගම මහනුවරයි” “පෙම් බැන්ද සිත් බැන්ද, “සත් දිනකින් ඔබෙ කටහඬ” “මගෙ නෙත් අතරේ” “ගංගා නදී තීරයේ එදා”, “නෙළුම් විලේ කැළුම් පෙරා” ගුවන් යානයක පියා සලනවිට” “සිතේ සතුට ජීවිතයේ මිහිර ළංවුණා”, “රාමා සීතා” පෝය සඳේ”, “නෙතු පැටලේ” ඇතුළු තවත් ජනප්‍රිය ගීත රාශියක් ගායනා කරමින් රසික සිත් දිනා ගත්තේය.

රට පුරා සංගීත ප්‍රසංග රාශියකට සහභාගි වූ චන්ද්‍රකුමාර් කඳනආරච්චි මහතා ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක් විය. එමෙන්ම සිය ගීත රැසකම මියුරු තනු තමා විසින්ම නිර්මාණය කර ගැනීම ඔහුගේ විශේෂත්වයක් ද විය.

චන්ද්‍රකුමාර් කඳනආරච්චි ගායන ශිල්පියාගේ සියලුම ගී අදටත් ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන් ප්‍රචාරය වන අතර ඔහු මියගිය ද ඔහුගේ ළයාන්විත ගායනා කිසිදා රසික සිත් සතන් අතරින් මියනොයනු ඇත.

ඔහුගේ අවසන් කැමැත්ත පරිදි දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති විශාරද රොහාන් ද සිල්වා මහතා ‘දිවයින‘ ට පැවසීය.

ඒ අනුව ඒ මහතාගේ දේහය අද (27 වැනිදා) බොරැල්ල රෙක්ස්පෙක්ට් හි පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා තැන්පත්කර තිබෙන බවත් අවසන් කටයුතු අද සවස 3.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන බවත් ඒ අවස්ථාව සඳහා සියලුම ගායක ගායිකාවන්ටත්, කලාකරුවන්ටත් ආරාධනා කරන බවත් හෙතෙම කියා සිටියේය.

මේ අතර එදා ප්‍රසිද්ධ ටී ෂර්ට් නිෂ්පාදන සමාගමක නිර්මාතෘවරයා ලෙස ද ඔහු ප්‍රසිද්ධියට පත්විය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment