යූ ටියුබ් එකෙන් බලාගෙන ගිනිඅවි හදපු මාමයි බෑනයි මාට්ටු

574

යූ ටියුබ් හි ගිනිඅවි නිපදවන රූපරාමු නරඹා ගිනිඅවි නිපදවූ පුද්ගලයින් දෙදෙනකු ගිනිඅවි දෙකක් සහ ඒවා නිපදවීමට යොදාගත් උපකරණ සමග කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (19දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක්, අඩි පහක් පමණ දිග ගිනිඅවියක්, 7.62, .39 උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් සොයාගත් බව පොලිසිය කීය.

සැකකරුවන් මෙම ගිනිඅවි භාවිත කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය සදහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීලදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බවත් ඔවුන් නෑකමට මාමා සහ බෑනා බවත් පොලිසිය කීය. ප්‍රධාන සැකකරු අරගල සමයේ බදුරලිය ප්‍රදේශයේ රුපියල් කෝටි 14 ක පමණ වටිනාකමකින් යුත් වාහන සහ යතුරුපැදි වෙළෙඳ සලක් ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයකු බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සුජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන්වරුන් වන රත්නායක (37109), සරත්(49251), ගුණවර්ධන (44817), ජයලත් (69993), නවගමුව (24040) සහ පො.කො.රි. තාරින්ද (103072) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

ආර්.ඒ.එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment