ශ්‍රී ලංකා විසේකාරයින් නම් කෙරේ

235

සංචාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමගින් ක්‍රියාත්මකවීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය අද (01) ප්‍රකාශයට පත්කළේය. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතය සඳහා එක් නවක ක්‍රීඩකයෙක් සමග ක්‍රීඩකයින් 18 දෙනකු ඇතුළත්ව සිටී.
නිමාවට පත්වූ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩයම නියෝජනය කළ නුවනිදු ප්‍රනාන්දු පළමුවරට ජාතික සංචිතයට කැඳවා තිබේ. අදාළ සංචාරයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩයම නියෝජනය කරමින් දක්වන ලද දක්ෂතා හේතුවෙන් නුවනිදු ප්‍රනාන්දුට අවස්ථාව හිමි වී තිබේ.
ශාරිරික යෝග්‍යතා ගැටලුවක් හේතුවෙන් නිමාවට පත්වු ඉන්දීය තරග සංචාරය අහිමි වූ භානුක රාජපක්ෂ ඔස්ටේ්‍රලියාවට එරෙහි විස්සයි විස්ස කණ්ඩායමට කැඳවා තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය සවිමත් කරමින ළහිරු මදුසංක, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් යළිත් විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දක්ෂතා දැක්වීමට සමත්වූ මතීෂ පතිරණද සංචිතයට කැඳවා තිබේ.
ආබාධයක් හේතුවෙන් අවසන් වරට පැවැති ඉන්දීය විස්සයි විස්ස තරගාවලිය අහිමිවූ වනිදු හසරංග ඔස්ටේ්‍රලියානුවන්ට එරෙහි කණ්ඩායමට නම්කර තිබේ.
කුසල් මෙන්ඩිස්ට විසිස්යි විස්ස කණ්ඩායමේ අවස්ථාවක් හිමිවෙද්දී මුළික සංචිතයට නම්කර සිටි නිරෝෂන් දික්වැල්ල, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, ජෙෆ්රි වැන්ඩසේ, බිනුර ප්‍රනාන්දු සහ ළහිරු කුමාර අවසන් සංචිතයෙන් ඉවත්කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 07 වැනිදා සහ දෙවැනි තරගය 8 වැනිදා කොළම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය ලබන 11 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසංලක, භානුක රාජපක්ෂ, නුවනිදු ප්‍රනාන්දු, ළහිරු මදුසංක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්‍ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.

advertistmentadvertistment
advertistmentadvertistment