නීතිය ගැන දැනගැනීම කාටත් හොඳයි!…බුද්ධිමය දේපළ හොරකම් කරන සමාජ මාධ්‍ය හොරු

759

දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති බොහෝ සංවර්ධිත රටවල ඉතා ශක්තිමත් බුද්ධිමය දේපළ නීති පද්ධතියක් ඇත. නමුත් ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල බුද්ධිමය දේපළ පිළිබඳව නිසි අවධානයක් හෝ දැනුවත්භාවයක් පෙනෙන්නට නැත. එම නොදැනුවත්භාවය නිසාම බුද්ධිමය දේපළ අතුරින් ප්‍රධානතම එකක් වන ප්‍රකාශන අයිතිය (copyright) කඩවීම් සාමාන්‍ය ජීවිතය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළද සුලභව දැකිය හැක. මෙසේ නිර්මාණකරුවන් වෙහෙස මහන්සියෙන් සිදු කළ නිර්මාණ අමු අමුවේ කොල්ලකෑම ඉතාමත් කනගාටුදායක කරුණකි.

ප්‍රකාශන අයිතිය කඩ කිරීමේ සිදුවීම් සුලභව වාර්තාවත්ම මේ හා සම්බන්ධව බලපැවැත්වෙන නීතිය කුමක්ද යන්න පිළිබඳව සොයාබැලීමට මහජනයා තුළ යම් උනන්දුවක් ඇතිවී තිබෙන අයුරු පෙනේ.

මෙම ලිපියෙහි අරමුණ වන්නේද ප්‍රකාශන අයිතිය පිළිබඳ උනන්දුවෙන් පසුවන්නන්ට එහි නීතිමය පසුබිම සම්බන්ධව මූලික අවබෝධයක් ලබාදීමයි.

මේ සම්බන්ධව වර්තමානයේ බලපැවැත්වෙන ව්‍යවස්ථාපිත නීතිය වන්නේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත වේ.

ප්‍රකාශන අයිතිය යනු කුමක්ද?

යම් නිර්මාණකරුවකුගේ ශාස්ත්‍රීය සහ කලාත්මක නිර්මාණ සඳහා බුද්ධිමය දේපළ නීතිය යටතේ ලැබෙන ආරක්ෂාව ප්‍රකාශන අයිතිය ලෙස සරලව හැඳින්විය හැක.

ශාස්ත්‍රීය සහ කලාත්මක කෘති/නිර්මාණ ගණයට අයත්වන්නේ මොනවාද?

බුද්ධිමය දේපළ පනතේ 6(1) උපවගන්තියට අනුව

★ ලියවිලි (පොත්, පත්‍රිකා, ලිපි, පරිගණක වැඩසටහන් ආදී)

★ වාචික කෘති (කතා, දේශන, ඇමතීම්, අනුශාසනා වැනි)

★ වේදිකාව සඳහා නිශ්පාදිත කෘති (නාට්‍ය, අභිරූපන, නර්තන නිර්මාණ වැනි)

★ සංගීතමය කෘති

★ ශ්‍රව්‍ය දෘශ්‍ය කෘති (චිත්‍රපට වැනි)

★ ගෘහ නිර්මාණ ශිල්පය කෘති

★ ලලිත කලාත්මක කෘති (චිත්‍ර, පින්තාරු කිරීම්, කැටයම්, විචිත්‍ර ගෙත්තම්)

★ ඡායාරූප

★ ව්‍යවහාරික කලා කෘති

★ සිතියම්, පිඹුරු යන ආදී සියලු දේ අයත්වන්නේ ශාස්ත්‍රීය හෝ කලාත්මක කෘති ගණයටය.

නමුත් මෙවැනි නිර්මාණවලට ප්‍රකාශන අයිතිය යටතේ ආරක්ෂාව ලැබෙන්නට නම් ඒවා ඒ නිර්මාණකරුවාගේම (කර්තෘගේම) ‘මුල්’ බුද්ධිමය නිර්මාණයක් වීම අනිවාර්ය වේ.

තවත් විදියකින් කියතොත් අදාළ නිර්මාණය එම නිර්මාණකරු විසින් කිසිවකුගෙන් පිටපත් කරගැනීමකින් තොරව ස්වාධීනව නිර්මාණය කර තිබිය යුතුය. වර්තමානය වනවිට කිසිවකුගෙන් පිටපත් කර නොගත් බව මෙන්ම අදාළ නිර්මාණයට නිර්මාණකරුගේ අඩුම තරමේ අවම මට්ටමක හෝ නිර්මාණශීලිත්වයක් යොදවා තිබීමද අනිවාර්ය වේ. ( Feist Publications, Inc. v. Rural Telephone Service Company, Inc)

මීළඟට මතුවන ප්‍රශ්නය වන්නේ යම් නිර්මාණයක ප්‍රකාශන අයිතියේ මුල් හිමිකරුට ඇති අයිතිවාසිකම් මොනවාද යන්නයි.

ප්‍රධාන වශයෙන් අයිතීන් වර්ග දෙකක් ඇති බව බුද්ධිමය දේපළ පනතෙහි සඳහන් වේ.

ඒවා නම්, ආර්ථික අයිතීන් සහ සදාචාරාත්මක අයිතීන් ය.

බුද්ධිමය දේපළ පනතේ 9(1) උප වගන්තියට අනුව ප්‍රකාශන අයිතියේ හිමිකරුට පවතින ආර්ථික අයිතීන් වන්නේ අදාළ නිර්මාණය ප්‍රතිනිෂ්පාදනය, විකිණීම, කුලියට දීම, ආනයනය – අපනයනය, පරිවර්තනය, අනුවර්තනය, මහජන ප්‍රදර්ශනය, ප්‍රසිද්ධ රඟදැක්වීම, විකාශනය, මහජනයාට සන්නිවේදනය ආදිය වේ.

මෙම අයිතිවාසිකම් පවතින්නේ යම් නිර්මාණයක ප්‍රකාශන අයිතියේ හිමිකරුට පමණක් වන අතර අන් කිසි අයෙක් නිර්මාණය සම්බන්ධව ඉහත කී ක්‍රියා එකක් හෝ කිහිපයක් ප්‍රකාශන අයිතිය හිමිකරුගේ අවසරයකින් තොරව සිදු කරන්නේ නම් එය ප්‍රකාශන අයිතිය කඩ කිරීමකි. නමුත් මෙම අයිතීන්ටද යම් යම් සීමා පවතින බවද සිහි තබාගත යුතුය. (පනතේ 11,12 වගන්ති බලන්න.

ඔබ විසින් හිමිකම් කියන කවියක් හෝ කතාවක් හෝ ලිපියක් හෝ චිත්‍රයක් හෝ ඡායාරූපයක් හෝ වැනි ශාස්ත්‍රීය හෝ කලාත්මක නිර්මාණයක් සමාජ මාධ්‍ය තුළ පළ කිරීමට ඔබට අයිතිය ලැබෙන්නේ ඉහත ආර්ථික අයිතීන් වලින් එකක් වූ මහජනයාට සන්නිවේදනය යන අයිතිවාසිකම [Section 9(1)(න)] යටතේ වේ.

එම අයිතිය යොදාගෙන ඔබ සමාජ මාධ්‍ය තුළ පළ කරන ලද කිසිම නිර්මාණයක් ඔබේ අවසරයකින් තොරව පිටපත් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත.

කිසිවෙකු විසින් ඔබගෙන් අවසර ගැනීමකින් තොරව ඔබගේ නිර්මාණයක් පිටපත් කරගන්නේ නම් එය ප්‍රකාශන අයිතිය කඩකිරීමකි.

නීතිය අනුව පිටපත් කිරීමට සම්පූර්ණයෙන්ම පිටපත් කිරීම මෙන්ම සුළු සුළු වෙනස්කම් සිදු කර පිටපත් කිරීමද අදාළ වේ. එම නිසා යමෙක් තවකෙකුගේ නිර්මාණයක් පිටපත් කර, එය පිටපත් කළ ආකාරය හඳුනාගත නොහැකි වීම සඳහා සුළු වෙනස්කම් සිදු කළද එයද ප්‍රකාශන අයිතිය කඩකිරීමකි.

සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් බහුලව සිදු කරන වැරැද්දක් ඇත. එනම් කාගේ හෝ නිර්මාණයක් ඒ අදාළ නිර්මාණකරුවාගේ නම ඉවත් කොට එම නිර්මාණය තමාගේ සේ හැඟවෙන පරිදි හෝ නිර්මාණකරුවාගේ නම ගැන කිසිවක් සඳහන් නොකොට තම තමන්ගේ ෆෙස්බුක් පිටු, යූටියුබ් චැනල් හෝ වෙනත් ස්ථාන වල පළ කිරීමයි.

මෙය බුද්ධිමය දේපළ පනතේ 10 වගන්තිය කඩකිරීමකි.

පනතේ 10 වගන්තිය අනුව යම් නිර්මාණයක නිර්මාණකරුවාට එම නිර්මාණය කළේ තමන් බව පෙන්වීමට තමන්ගේ නම හෝ ආරූඪ නාමයක් දැක්වීම සඳහා අයිතියක් ඇත. මෙය හඳුන්වන්නේ සදාචාරාත්මක අයිතිය යනුවෙනි. මෙම අයිතිවාසිකම කිසිම අයුරකින් වෙනත් කෙනෙකුට පවරාදීමට නිර්මාණකරුවාටවත් අයිතියක් නොමැත.

එමනිසා යම් අයෙක් වෙනත් නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් ඔහුගේ හෝ ඇයගේ නම ඉවත් කර වෙනත් තැනක පිටපත් කිරීම 10 වන වගන්තිය යටතේ එන සදාචාරාත්මක අයිතිය කඩ කිරීමක් වේ.

මීළඟට නැගෙන ප්‍රශ්නයක් වන්නේ මෙවැනි නිර්මාණ සම්බන්ධව කිසිවක් හිමිකරුගේ අවසරයකින් තොරව කළ නොහැකිද යන්නයි.

බුද්ධිමය දේපළ පනතේ 11 සහ 12 වගන්තීන් අනුව මුහුණට මුහුණ ඉගැන්වීමේ කටයුතුවලට, පර්යේෂණවලට, පුද්ගලික භාවිතයට වැනි සාධාරණ භාවිතවලදි හිමිකරුගේ අවසරයක් අවශ්‍ය නොවන බව දක්වා ඇත.

අවසරය අවශ්‍ය වෙන්නේ වෙනත් කෙනෙක්ගේ නිර්මාණයක් හරහා වාණිජමය හෝ වෙනත් ලාභ ලබන ආකාරයේ සාධාරණ නොවන භාවිතයන් සිදු කිරීමේදීය.

කෙසේ වෙතත් මෙම බුද්ධිමය දේපළ කොල්ලකෑම් සම්බන්ධව සිවිල් සහ අපරාධ කියන දෙයාකාරයෙන්ම ප්‍රතිකර්ම බුද්ධිමය දේපළ පනත යටතේ දක්වා ඇත.

එමනිසා ඔබ නිර්මාණ කොල්ලකෑමේ යෙදෙන අයෙක් නම් හිමිකරුවා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළොත් ඔබට සිවිල් හෝ අපරාධ නීතිය යටතේ ප්‍රතිවිපාක විඳීමට සිදුවිය හැකියි.

එමෙන්ම 1995 අංක 14 දරන සාක්ෂි විශේෂ විධිවිධාන පනත නිසා සමාජ මාධ්‍යවල ස්ක්‍රීන්ෂොට්ස්, එස්.එම්.එස්, ඊමේල් ද සාක්ෂි වශයෙන් අධිකරණය ඉදිරියේ යොදාගත හැකි නිසා තත්ත්වය තවත් බරපතළ වේ.

ලංකාවේ නඩු තීන්දු දෙස බැලීමේදී පද රචකයන්, පොත් රචකයන්, සංගීතඥයන්, නාට්‍ය නිර්මාණ කරුවන්, ඡායාරූප ශිල්පීන් වැනි අය නිර්මාණ කොල්ලකරුවන්ට විරුද්ධව සාර්ථක ලෙස නීතිමය ක්‍රියාමර්ග ගත් අවස්ථා දැකිය හැකි ය.

එම නිසා ඔබත් නිර්මාණකරුවෙක් නම් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ හාස්‍යෝත්පාදක හෝ වෙනත් නාට්‍ය නිර්මාණ සිදු කරන, ලිපි ලියන, කවි ලියන, කතා ලියන, ඡායාරූප, චිත්‍ර ආදිය පළ කරන කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔබේ නිර්මාණ කොල්ලකන්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වග බලා ගැනීම වඩාත් සුදුසුයි.

යම් අයෙක් තම නිර්මාණශීලිත්වය, කාලය, ශ්‍රමය, ධනය, දක්ෂතාවය යොදාගෙන කළ නිර්මාණයක් කොල්ලකෑම නීතියමය වශයෙන් කෙසේ වෙතත් සදාචාරාත්මක වශයෙන් වරදකි. එම නිසා වගකිවයුතු ගෞරවනීය පුරවැසියන් වශයෙන් භෞතිකව සිදු කරන මිල මුදල්, රණ්භාණ්ඩ වැනි දෑ සොරකම් කිරීම පිළිකුල් කරනවා සේම බුද්ධිමය දේපළ සොරකමද පහත්කොට සැලකීමට වගබලා ගත යුතුය.

නීතිඥ පමුදි
අනුත්තරා වීරසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment