අපි හදන්නේ ජනතාව යාචකභාවයෙන් මුදාගන්නා ආර්ථිකයක්!

174

සමාරම්භක සැසියේදී අනුර කුමාර දිසානායක කියයි

අපි හදන්නේ ජනතාව යාචකභාවයෙන් මුදාගන්නා ආර්ථිකයක් යැයි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, ‘එක්වෙමු, දිනවමු, විසඳුම මාලිමාව’ යන තේමාව යටතේ පෙරේදා (25 දා) පස්වරුවේ, අනුරාධපුර කඩ 50 දී පැවැති ජාතික ජන බලවේගයේ සමාරම්භක රැළිය අමතමින්ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.

පළාත් පාලන මැතිවරණ දිනය මාර්තු 09 ලෙස නියම කොට තිබෙනවා. අද අපි මේ පවත්වන්නේ පළාත් පාලන මැතිවරණයේ ආරම්භක රැලියයි. මේ රැස්වී සිටින ජනතාව කියා පාන්නේ මාර්තු 09 වැනිදා අපේ රට සුබ දිසාවකට හරවන්න සූදානම් බව. මීට වසර පහ, හයකට කලින් ඡන්දවලින් අඩුවක් තිබුණාද? අවුරුද්දෙන් අවුරුද්දට ඡන්ද තිබ්බා. ඒ ඒගොල්ලන්ගේ බඹරේ වැල්ලෙත් කැරකුණ කාලේ. දැන් ගමට එන්න බැරිව තිබෙනවා. ඇයි ඒ? අද ජනතාව සත්‍යය අවබෝධ කර ගනිමින් මේ රට ගොඩනැගීම සඳහා මාලිමාව වටා ඒක්රැස්වෙමින් සිටිනවා. මහින්දගෙන් රනිල්ට බලය ආවත්, රනිල්ගෙන් මහින්දට බලය ලැබුණත් බය නැහැ. ඒගොල්ලන්ගේ පාරම්පරික නායකයාගෙන් නායකයාට, පාරම්පරික පක්ෂයකින් පක්ෂයකට බලය මාරුවුණාට බය නැහැ. ඇයි? ඒ ගොල්ලෝ සුරක්ෂිත වන නිසා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළ ඉහළ පංතියේ අය සාමාන්‍ය පංතිය අතට බලය මාරුවෙනවාට බයයි. ඒ නිසා ඡන්ද කල්දාන්න විවිධ පන්නයේ උගුල් අටවන්න පටන් අරගෙන තිබෙනවා.

දැන් ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නේ කවුද? එක පැත්තකින් මේ රට පාලනය කරපු, තුනෙන් දෙකේ බලය ගත්තු, ජනාධිපති පුටුව දුන්නු, පොහොට්ටුවේ කට්ටිය තැන තැන ඡන්දෙට ඉදිරිපත් වෙලා තිබෙනවා. සමහර තැන්වල පොහොට්ටුවයි, අලියයි ජෝඩු දාල ඉන්නවා. සමහර තැන්වල එකට එකතු වෙලා ඉල්ලනවා. මේ පිරිස් කවුද? මේ රට විනාශ කරපු, රට කඩා වට්ටපු, අපේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරපු, තරුණයන්ගේ අනාගතය පිළිබඳ තිබුණු සිහින කඩා වට්ටපු, අපේ තරුණ ජීවිත මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත්කරපු, රටේ නීතිය කඩා වට්ටපු, අපේ රට ලෝකයේ ණයකාරයෙක් බවට පත්කරලා ණය ගෙවා ගන්න බැරිතරමේ ආර්ථිකයක් හදපු, ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැතිකරපු, ව්‍යාපාරිකයාට ආදායම නැති කරපු කට්ටියක් එක පැත්තක ඉන්නවා. ඒගොල්ලෝ ආණ්ඩු අරගෙන ජනතාවගෙන් පලි ගත්තා. බඩු මිල වැඩි කළා, බදු ගැහුවා, ආර්ථිකය වැට්ටුවා, රස්සා නැති කළා, අනුරාධපුරේ කුඹුරු යායවල් නාටුවෙන තත්වයට පත්කළා. ගොවියට පොහොර ටික දුන්නේ නැහැ. ජනතාවගෙන් පලි ගත්තා. කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් තිබෙනවා. දැන් 09 වැනිදා ඇවිල්ලා තිබෙන්නේ ජනතාවගේ වාරය, දෙන්න ඕන තීන්දුව හරියටම. අපට කොහොමද විරෝධය ප්‍රකාශ කරන්න තියෙන්නේ, පාරේ යනකොට ගලක් ගහලාද? ඇන කොටාගෙනද? ජනතාවගේ වෛරය, කෝපය ප්‍රකාශ කරන්න අවස්ථාව 09 වැනිදා එනවා. මාලිමාවට කතිරෙ ගහලා තීන්දුව හරියටම දෙන්න ඕනෑ.

අපි හදන්නේ ජනතාව යාචකභාවයෙන් මුදාගන්නා ආර්ථිකයක්!

තව කට්ටියක් එනවා, සජබෙ කියලා, එයාලා අලුත් කට්ටියක්ද? ඒ ගොල්ලෝ එකට හිටියා. රනිල්, සජිත්, චන්ද්‍රාණි, හැරිසන්, කිරිඇල්ල, මරික්කාර්, රාජිත සේනාරත්න, එකට හිටියා. සජිත් වෙන්වුණා. හැරිසන්, චන්ද්‍රානි, කිරිඇල්ල, කබීර් හෂීම්, රාජිත සේනාරත්න සජිත් කණ්ඩායමට එකතු වුණා. පක්ෂෙ, වැඩපිළිවෙළ, පුද්ගලයන් මාරුවෙලා නැහැ. ප්‍රතිපත්ති, හොරාකෑම, නාස්තිය නතර වෙලා නැහැ. කිසිදු වෙනසක් සිදුවෙලා නැහැ. අලියා ලකුණින්, ඒ පක්ෂෙන් එන්න බැරි එක තමයි සිදුවෙලා තිබෙන්නේ.

අද දේශපාලනය හරියටම කඳවුරු දෙකකට බෙදිලා තිබෙන්නේ. රට විනාශ කරපු, කුඹුරු යායවල් මුඩු බිම් බවට පත්කරපු, කඳවුර හා ඊට එරෙහි රටට ආදරය කරන, වංචාවට තිත තියන, දූෂණය නතර කරන ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් තරග වදින කඳවුර. හොරුන්ගේ පිල හා හොරුන්ට දඬුවම් දෙන පිල. යාචක ආර්ථිකය හදන පිල හා රට ගොඩනගන පිල. මේ රටේ බෙදීම් දෙකයි තිබෙන්නේ. මේ රට විනාශ කරපු පිල හා රට හදන පිල එච්චරයි තිබෙන්නේ. ආර්ථික දෙකයි තිබෙන්නේ. ඒගොල්ලන්ගේ ආර්ථිකය යාචක ආර්ථිකේ. හාල් ටිකක් දෙන. වැසිකිළි පෝච්චියක් දෙන, මුල්ලුවක් දෙන, ඇට පැකට් එකක් දෙන, සාරියක් දෙන, ඔරලෝසුවක් දෙන යාචක ආර්ථික කඳවුර. ජනතාවගේ ආර්ථිකය වට්ටලා ඡන්දයකදී තහඩු, හාල්, සාරි, වැසිකිළි පෝච්චි බෙදනවා. මේ ජනතාව පාලකයන්ගේ අත යටින් වැටෙන කුඩා දෙයක් අරගෙන ජීවත් වෙන්න ඕන ජනතාවක් නොවෙයි. හාල් කිලෝ 10ක් ගන්න බැරි ජනතාවක්ද මේ රටේ හිටියේ. යල මහ දෙකන්නය හොඳට අස්වද්දලා වී ට්‍රැක්ටර් දෙක තුන ගෙදරට අරගෙන ආවා. සාලෙ පිරෙන්න වී තිබුණා. කමත් පිරෙන්න බැත ගොඩගැහුවා. එහෙම ජනතාවක් හිටියා. ඒ ජනතාවට පෙබරවාරි හා මාර්තුවලට පමණක් හාල් කිලෝ 10ක් දෙන්න සූදානම් වෙනවා. ඒ තමයි යාචක ආර්ථිකය. අපි හදන්නේ ජනතාව යාචක ආර්ථිකයෙන් මුදාගන්නා ආර්ථිකයක්. මේ රට ගොඩනඟන, ආර්ථිකය ශක්තිමත් කර රට ගොඩනගන වැඩ පිළිවෙළක් අපි හදනවා.

ජාතික ජන බලවේගය මේ ආරම්භ කර තිබෙන්නේ බාගෙට නතර කරන්න නොවෙයි. අපි සහතික වශයෙන් ජාතික ආණ්ඩුවක් ගොඩනඟනවා. අපි වෙන පක්ෂවල අය එකතු කර ගන්න ඕනෙ. මේක රටේ සියලු ජනතාවගේ වැඩක්. අපේ ව්‍යාපාරික මහත්තයා, පෞද්ගලික අංශයේ සේවකයා, අපේ ස්වාමීන්වහන්සේලා, පූජක උතුමන්ලා, ධීවර ජනතාව, තරුණ තරුණයන් සියලු දෙනාම එකතු වෙන්න ඕනෑ. අපි අතර බෙදීම් නැහැ. බෙදීම තියෙන්නේ හොරුන්ගේ පිල හා හොරුන්ට දඬුවම් දෙන පිල අතරයි; යාචක ආර්ථිකය හදන පිල හා රට ගොඩනගන පිල අතරයි; මේ රට විනාශ කරපු පිල හා මේ රට හදන පිල අතරයි. සියලු ජනතාවට ආරාධනා කරන්න එන්න කියලා. පරණ අමනාපකම් තිබෙන්න ඇති. දේශපාලන මතවාද තියෙන්න ඇති. ඒවා අමතක කර අපි හැමෝම සහෝදරත්වයෙන් වැළඳ ගන්න ඕනෑ. මේ ජයග්‍රහණය ලබාගන්න පවුල් පිටින් ගම් පිටින් එකතු වෙන්න ඕනෑ. අපි ඒ සඳහා සියලුදෙනාටම ආරාධනා කරනවා.

අපේ රට පාලනය කරන්නේ කවුද? අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ, වැලිගොඩදාන අය, තැබෑරුම් අයිතිකාරයෝ, මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ. මේ රට පාලනය කළේ කිසිදු තෙතමනයක් නැති අය. හිරිවැටුණු නායකයෝ. ආර්ථිකය වට්ටලා ජනතාවගේ පඩිපතට ගහන්න පටන් අරගෙන තිබෙනවා. වෘත්තීමය ශ්‍රම බලකාය 15% යි. ඔවුන්ගේ පඩියට විශාල බද්දක් ගහනවා. බැංකුවල ඉහළ කළමනාකරුවන් 500 දෙනෙක් මේ රට දමාගොස් තිබෙනවා. ගිය මාසේ අගොස්තු වෙනකොට වෛද්‍යවරු පන්සිය දෙනෙක් රට හැරදමා ගොස් තිබෙනවා. ගිය අවුරුද්ද අවසන් වෙනකොට වෛද්‍යවරු 470ක් රට දමාගොස් තිබෙනවා. රට දමා යන අයට අපි ආරාධනා කරනවා, යන්න එපා. නුදුරේම අපි මාලිමාවේ ආණ්ඩුවක් හදනවා. අපි ඔක්කෝම එකතු වෙලා මේ රට හදමු.

අද තීරණාත්මක ඡන්දයක් ඇවිත් තිබෙනවා. මේ නගර සභා, ප්‍රාදේශීය සභා ඡන්දය කියලා කියන්නේ පාර, බෝක්කුව, පාලම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. රටේ අනාගතය කොහෙටද මාරුවෙන්නේ කියලා හැරවුම් සංඥාවකට ගන්න ඡන්දයක් තමයි මාර්තු 09 වැනිදා තියෙන්නේ. මේ රටටත් ලෝකෙටත් සංඥාවක් දෙන්න, මේ රට වෙනස් කිරීමට අවශ්‍ය සංඥාව අපි දෙන්න ලෑස්තියි කියන පණිවිඩය. 09 වැනිදා ජාතික ජන බලවේගයට ජනවරම දීලා ලිඛිත සාක්ෂියක් දෙන්න, ඒ ගොල්ලන්ට ජනවරම නැති බවට. ජනතාවගේ කැමැත්ත මාලිමාවට. ජනතාව ආණ්ඩුවද, රනිල්වද ප්‍රතික්ෂේප කොට ඇත. ලක්ෂ සංඛ්‍යාත ජනතාව මාලිමාව කෙරෙහි විශ්වාසය තබා ඇති කියලා. ජනතාවගේ කැමැත්තක් නැතිව ආණ්ඩුවට ඉන්න බැහැ.

නිවන්තකචේතිය පරිවෙණාධිපති පූජ්‍ය රත්ගම සමිත හිමි:

අපි හැමෝටම තියෙන අභියෝගය තමයි දරුවා උදේට කෑවම ඊළඟ වේලට ඉල්ලන කෑම ටික දෙන්න කොහොමද කියලා, දරුවා පාසල් යවන්න ඕන පොත පත, පෑන පැන්සල අර ගෙන දෙන්නෙ කොහොමද කියල කියන ප්‍රශ්නය, හරියට හොඳට උගන්නන්න ඕනේ පෞද්ගලික පන්තියට යොමු කරන්න ඕනේ මේක කරන්න විදිහක් නෑ. කොහොමද දරුවා පාසල් එක්කර ගෙන යන්නෙ, මට කොහෙන්ද සල්ලි? කියන ප්‍රශ්නය හැමෝටම තිබෙනවා. ඒ දරුවාගේ අනාගතය සාක්ෂාත් කර දෙන්නට ඔබට බැරි වීම ගැන ඔබ මොන තරම් සංවේදීව දුකට පත්ව සිටින අවස්ථාවක් මේ මොහොත. ඒ අවස්ථාව අපට උදා කර දුන්නේ කවුද කියන එක ගැන ඔබ මැනවින් වටහා ගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕන, අඩුපාඩු නැති සම්පූර්ණ ස්වයංපෝෂිත රටකට තමයි මේ අය මෙහෙම දෙයක් කරේ.

මාර්තු නව වෙනිදා ඡන්දය නැවැත්තුවොත් මේ රටේ ජනතාවගේ කෝපය, වෛරය කොතැනින් නතර වෙයිද කියලා බලපල්ලා කියලා අපි රනිල් වික්‍රමසිංහටත් ඒ වටා ඉන්න චෞරයටත් අපි කියනවා. මාර්තු මාසයේ ඡන්දය නතර කරොත් මේ රටේ දැවැන්තම අරගලය පටන් ගන්නවා. එහෙම කර ගන්නේ නැතුව කතිරයෙන් ප්‍රශ්නය බේර ගමු, ජඩ දේශපාලන සංස්කෘතිය නතර කරමු.

මෙහිදී අදහස් දැක්වූ අනුරාධපුර නගර සභා අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා.

රනිල්ලාගේ රාජපක්ෂලාගේ කැබිනට් එක තීරණ ගන්නවා, ලයිට් බිල් වැඩි කරන්න. බදු වැඩි කරන්න. හැබැයි ජනතාවට සහන පහසුකම් දෙන්න කිව්වට ඒ ගැන කිසි කතාවක් නැහැ. මේ වෙන කොට රාජ්‍ය සේවකයන් සාකච්ඡා කරනවා වැඩි වුන පොලිය අඩු කර ගන්න මොකද කරන්නේ කියලා. ණය ගන්න කොට පොලිය සීයට නවයයි. දැන් සමහර පොලිය සීයට දාහතයි දහ අටයි ඩබල් වෙලා ණය වාරික. මහ ලොකු පඩියක් හම්බුනේ නැහැ. හම්බුනේ සොච්චමයි. ඒකෙන් ණය වාරික කැපුනම ගෙදර අරන් යන්නෙ හත් දාහයි, අට දාහයි. හැබැයි දැන් ඒකත් නැති වෙලා.

මේ වන විට කර්මාන්තශාලා වැහිලා, ස්වයං රැකියා නැති වෙලා සමහර ආයතනවල රැකියා කප්පාදු කරලා. උපයා ගැනීම අඩු වෙලා අද වෙන කොට හැම තැනකම සේවකයන්ගේ රස්සා නැති වෙලා. ඔබලාගේ දුවගේ පුතාගේ රස්සා නැති වෙලා. අද අනුරාධපුරයේ ව්‍යාපාරයක් කරන කඩ සාප්පුවල වැඩ කරන සහෝදර සහෝදරියන්ගේ රස්සා නැති වෙලා. මේ හැමෝම බරපතළ ප්‍රශ්නයක ඉන්නේ.

ජුනි මාසේ පටන් ගත්ත වැඩේ දැන් මග නැවතිලා තිබෙනවා. දැන් හැම ගොවි බිමකම හැම වැඩපළකම හැම කඩ සාප්පුවකම හැම නිවසකම එකම බලාපොරොත්තුවක් විතරයි තියෙන්නේ.

ඒ තමයි 2022 අවුරුද්දේ අවසන් කරන්න බැරිවුණු, මේ දේශයෙන් මේ දූෂිත පාලකයන්, මේ භූමියෙන් මේ නඩය අවසන් කරල දාන කාරණාව මාර්තු 9 වෙනිදා ඒ දේ සිද්ධ කරන්න මේ සියළුම දෙනා සූදානම් වෙලා ඉන්න මොහොතක් මේක.

මිහින්තලේ – රංග චතූ , තිරප්පනේ – සමන් පෙරේරා, අනුරාධපුර – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment