පොලිසියේ දෙදෙනා රාජගිරියේදී අයිස් – ෆෝන් සල්ලි උස්සලා

1049

එක් නිලධාරියෙක් මහෙස්ත්‍රාත්වරයකුට ආරක්‍ෂාව දෙන කෙනෙක්

අත්අඩංගුවට ගත් සැකකරුවකු ළඟ තිබූ අයිස් මත්ද්‍රව්‍ය, ඇපල් වර්ගයේ දුරකථනයක් හා සැකකරුට අයත් රුපියල් විසිපන්දහසක මුදලක් ලබාගෙන එම සැකකරු නිදහස් කර හැරියේ යැයි කියන පොලිස් නිලධාරීන් දෙදෙනකු මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය කළ පොලිසිය, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. ඉන් එක් අයකු කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්තව සේවය කරන අතර අනෙක් කොස්තාපල්වරයා කොටුව පොලිසියේ සේවය කරන අයෙකි.

වැලිකඩ රාජගිරිය ප්‍රදේශයේ දී සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වී තිබේ. එහිදී සැකකරු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය මෙන්ම මුදල් හා දුරකථනය මෙම පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන සැකකරු මුදාහැරීමට ක්‍රියාකර ඇතැයි පැමිණිල්ලෙන් කියැවෙයි.

කෙසෙල්වත්ත පොලිසියේ සේවය කරන කොස්තාපල්, මහෙස්ත්‍රාත්වරයකුට ආරක්‍ෂාව ලබාදීම සඳහා සේවයේ යොදවා සිටින අයකු බව පොලිසිය කියයි.

මෙම දෙදෙනාගේම ක්‍රියාකලාපය සුබවාදී නොවන බවත් ඉකුත් ජූලි මාසයේ 23 වැනිදා රාත්‍රියේ මොවුන් සිවිල් ඇඳුමෙන් සැරසී රාජගිරියට ගොස් මෙම සිද්ධිය කර ඇති බවත්, සැකකරු මේ බව පොලිස් ප්‍රධානීන්ට පැමිණිලි කිරීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී ඔවුන් දෙදෙනා මෙසේ පසුගියදා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

මේ අතර කොටුව පොලිසියට සම්බන්ධ කොස්තාපල්වරයා ද මීට මාස දෙකකට පමණ උඩදී කෙසෙල්වත්ත පොලිසියේ සේවය කර ඇති අතර ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව පැහැදීමකට පත් නොවන නිසා ඔහු කොටුව පොලිසියට මාරුකළ බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන, මහරගම – අබේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment