මෛත්‍රී දයාසිරි යවයි – ලේකම් ධූරය හැර දයාසිරිට ඕනෑම තනතුරක් දෙනවා

373

හැබැයි අනංමනම් නවත්තන්න ඕනෙ – මෛත්‍රි කියයි
විනය පරීක්‍ෂණය ගැන ලිපිය දින 14ක් ඇතුළත

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් ධුරය හැර වෙනත් ඕනෑම තනතුරක් දයාසිරි ජයසේකර මහතාට පිරිනැමීමට සූදානම් බවත් ඒ පිළිබඳව පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (06 දා) පැවසීය.

පක්‍ෂ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමෙන් අනතුරුව ඊයේ (06 දා) දහවල් පක්‍ෂ මූලස්ථානයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේද කීවේය.

දයාසිරිව ඉවත් කරලා නැහැ. තාවකාලිකව එයාගේ වැඩ නවත්වලා තියෙන්නේ. එයාට ඕනෑම වේලාවක පක්‍ෂයට එන්න පුළුවන්. පක්‍ෂයේ ලේකම්කම නැතුව වෙන ඕනෑම තනතුරකට එයාව භාර ගන්නවා. හැබැයි අනංමනං වැඩ නවත්වන්න ඕනෑ.

ඕවා ඔහොම තමයි, දේශපාලන පක්‍ෂවල. බණ්ඩාරනායක මැතිනිය පුතාලා, දුවලා, බෑණලා ඔක්කොම අයින් කළේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.

දයාසිරි ජයසේකර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පෙරේදා (05 දා) රැස්වූ එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබුණු අතර ඒ අනුව පක්‍ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් ඊට අදාළ ලිපිය ඊයේ (06 දා) දයාසිරි ජයසේකර මහතා වෙත යවා තිබුණි. ඔහුට එරෙහිව විනය පරීක්‍ෂණයක් ද පවත්වන බවත් ඊට අදාළ චෝදනා පත්‍රය දින 14 ක් ඇතුළත ලැබෙන්නට සලස්වන බවත් එම ලිපියේ සඳහන්ව ඇත.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment