කරඳගොල්ල නාය යයි

443

උමාඔය උමඟට ජලය පිරීමත් හේතුවක් ද?

නිවාස 10ක ජනතාව ඉවත් කෙරෙති

දිගටම පැවතුණොත් මාර්ගයට අවදානමක්

උමාඔය නිසාද කියා හරියටම කියන්න බෑ – බදුල්ල දිස්ත්‍රික් ආපදා නිලධාරි උදය කුමාර

ඇල්ල කරඳගොල්ල 10 කණුව හා මලින්තගොල්ල යන ප්‍රදේශවල පෙරේදා (25දා) අලුයම සිට නාය යෑමක් සක්‍රීයවීම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 10ක් පමණ කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මේ වනවිට එම ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි භාගයක මෙම නායයෑම සිදුවී ඇති අතර එය අක්කර 30කට පමණ බලපෑ ඇත.

මේ අතර මෙම නායයෑම තවදුරටත් සක්‍රීය වුවහොත් කරඳගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයට බලපෑම් සිදුවිය හැකි බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නාය යෑමට ලක්වූ ප්‍රදේශයේ පදිංචිකරුවන් චෝදනා කරනු ලැබුවේ උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ උමඟට ජලය පිරවීමත් සමග මෙම ප්‍රදේශය නායයෑමට ලක්වූ බවයි. 2019 වර්ෂයේ සිටම ඉරිතලා, පොළව පහත්වීම ආරම්භ වුවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවටද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම නායයෑම සිදුවූ ස්ථානය නිරීක්‍ෂණය කිරීම සඳහා ඊයේ (26දා) එම ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවැසූයේ නිසි පරිසර අධ්‍යයනයකින් තොරව ආරම්භ කළ උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ ප්‍රතිඵල අද වනවිට මේ අයුරින් භුක්ති විඳීමට සිදුවී ඇති බවයි.

කරඳගොල්ල නාය යයි

“අපි අවුරුදු ගාණක් තිස්සේ කිව්වා මේ අනතුර සිදුවෙනවා කියලා. නමුත් දේශපාලන හේතු ඉස්සරහට දාලා ඒවා වැහුවා. මේ නාය යමින් තිබෙන ප්‍රදේශය ඉතා සශ්‍රීක ප්‍රදේශයක්. ඒ ජනතාවගේ දේපළ අද ගලෝගෙන යනවා. කවුද මේවාට වග කියන්නේ. උමාඔයේ හිලක් තියෙනවා කිව්වාම අපිට හිනාවුණ අයට අපි පෙන්නනවා මේ හිලේ ප්‍රතිඵල තමයි කියලා” යැයිද සමන්ත විද්‍යාරත්න මහතා කීවේය.

මේ අතර බදුල්ල දිස්ත්‍රික් ආපදා නිලධාරි උදය කුමාර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවැසුවේ මේ වනතුරුත් මෙම නායයෑමට හේතුව විද්‍යාත්මකව තහවුරු කර නොමැති බැවින් උමාඔය ජලාශයේ ප්‍රතිඵලයක් දැයි පැවැසිය නොහැකි බවයි. මෙම ස්ථානයේ භූමිය පරිහරණය කිරීමේදී දීර්ඝ කාලීනව සිදුවූ යම් යම් අවිධිමත් සහ භූමියේ ස්වරූපය හා ජලාපවහන පද්ධතිය මත පදනම්ව මෙම නායයෑම සිදුවී ඇති බවද ඒ මහතා අවධාරණය කළේය.

කමල් බොගෝඩ සහ හපුතලේ – නයනානන්ද බුවනෙක

advertistmentadvertistment
advertistmentadvertistment