ජනතා සේවයේ වගකීම කරටගත් පොලිසියේ මහගෙදර

1491

අක්කර 204ක විහිදී ඇති කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය

එකවර ආධුනික නිලධාරීන් 4550ක් පුහුණු කළ හැකියි

ශ්‍රී ලංකා පොලිසිය මෙරට පැරණිතම රාජ්‍ය ආයතන අතුරින් එක් ආයතනයක් වන අතර වර්තමානයේ යුක්තිය පසිඳලන ආයතන අතර සුවිශේෂිම ආයතනයක්ද වේ. වසර 157 ක ඉතිහාසයේ දැවැන්තම රාජාකාරියක් වු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පොලිස් නිලධාරියකු පුහුණු කිරීම අතිශය භාරදුර වගකීමකි. එම වගකීම පොලිස් ඉතිහාසය පුරාවටම ඉටුකර ඇත්තේ පොලිසියේ ‘මහගෙදර’ නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය මගිනි.

ආරම්භක අවදියේ මරදාන පොලිසිය මුල් කර ගනිමින් පොලිස් පුහුණු කටයුතු යම් ආකාරයකින් සිදු වී ඇති නමුත් කොළඹ පිටකොටුවේ කුමාර වීදියේ පැරණි ඕලන්ද ගොඩනැඟිල්ලේ 1905.11.16 වන දින සිට පොලිස් පුහුණුවීම් කටයුතු ආරම්භ කළ අතර එම ස්ථානය හඳුන්වනු ලැබුයේ ස්වේච්ජා මුලස්ථානය නමිනි.

ප්‍රථම පුහුණු කණ්ඩායම ලෙස ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 436 දෙනකු බඳවාගෙන පුහුණුව ලබාදී විසිර යාමේ උත්සවයක් ද පවත්වා එම නිලධාරීන් පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කර ඇත.

එම ඕලන්ද ගොඩනැඟිල්ල පුහුණු කටයුතු සඳහා ප්‍රමාණවත් නොවුයෙන් වර්ෂ 1925 ක් වූ මාර්තු මස 26 වන දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණය අසල ගොඩනැඟිලි කිහිපයක් වෙත පොලිස් විද්‍යාලය රැගෙනවිත් ඇත.

පොලිස් පුහුණුවේ සුවිශේෂි සංධිස්ථානයක් වන්නේ 1948 වසරේ අධිරාජ්‍යවාදීන්ගෙන් මෙරට නිදහස ලැබීමෙන් පසුවයි. එම අවධියේ ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා ලෙස ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ මහතා පොලිස්පති ධූරප්‍රාප්ත වේ.

බ්‍රිතාන්‍ය රාජකිය ගුවන් හමුදාව කළුතරින් ඉවත්වීමත් සමග මරදානේ පිහිටවා තිබූ ඩිපෝ පොලිසිය බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණය අසල පොලිස් පුහුණුවීම් සිදුකළ ස්ථානයට ගෙන ඒමත්, බම්බලපිටියේ පිහිටුවා තිබු පුහුණු කටයුතු කළුතර රාජකීය ගුවන් හමුදාව සිටි ස්ථානයට මීට වසර 75කට පෙර එනම් 1948 ක් වූ සැප්තැම්බර් මස 29 වන දින රැගෙන එන්නට කටයුතු කර ඇත. ඒ සඳහා සියලු කටයුතු සම්පාදනය කර ඇත්තේ එවකට පොලිස්පතිව සිටි ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ මහතාය. එසේ ආරම්භවු පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වුයේ පොලිස් අධිකාරී සිඩ්නි ද සොයිසා මහතාය.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය ආරම්භ කර මේ වන විට වසර 75 ක් සම්පුර්ණවේ. එදාමෙදාතුර මේ භූමියේ පාතැබු විවිධ හැඟීම්වලින් ආවේශී වූ තරුණ තරුණියන් නිවැරදි දිසානතියකට යොමු කරමින් දස දහස් ගණනක් පොලිස් නිලධාරින් බවට පත්කර රට ජාතිය වෙනුවෙන් උදාර හැඟීමෙන් හා කාර්ය ශූරව අපරාධ, මත්ද්‍රව්‍ය, රිය අනතුරු හා දුසිරිත්, පිටු දැකීම උදෙසා දසත විසිර යැවූ බව සටහන් කරන්නේ ඉමහත් ආඩම්බරයකිනි.

පොලිස් අභ්‍යාස විද්‍යාලය ලෙස හැඳින්වූ නාමය වර්ෂ 1974 ක් වූ සැප්තැම්බර් මස 01 වන දින සිට ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය ලෙස හැඳින්වීමට එවකට පාලනාධිකාරීන් කටයුතු කර ඇත. එසේ නම් කර මේවන විට වසර 49 ක් පමණ ගතවී ඇත.

වර්තමානයේ අක්කර 204 කින් යුක්ත පුහුණුව සඳහා ඉතා යෝග්‍ය වූ භූමියක කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය පිහිටා ඇති අතර, මෙම භූමිය අක්කර 204 ක් දක්වා ව්‍යාප්ත කරවීම සඳහා හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය සහ හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් සුවිශේෂි මෙහෙයක් ඉටු කර ඇත.

ජනතා සේවයේ වගකීම කරටගත් පොලිසියේ මහගෙදර

එම රාජ්‍ය නායකයන් අවස්ථා ගණනාවකදී විසිරයෑමේ උළෙල ඇතුළු විශේෂ උත්සව අවස්ථාවන්වලදී කළුතර පොලිස් විද්‍යාලයෙහි සංචාරය කර තිබේ. කළුතර පොලිස් විද්‍යාලයට අනුබද්ධිතව පසු කාලිනව පුහුණු කටයුතු සිදු කරගෙන යෑමේදී විශාල නිලධාරීන් පිරිසක් බඳවා ගෙන එකවර පුහුණු කිරීම සඳහා ශ්‍රි ලංකාව තුළ තවත් පුහුණු ඒකක 08 ක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත. ඇල්පිටිය, බොරලන්ද, කුණ්ඩසාලේ, නිකවැරටිය, පහලගම, මහියංගනය, කල්ලඩි, අරලගංවිල යන පොලිස් විද්‍යාල එයට අයත්වේ.

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ සියලුම පුහුණු ඒකක ද ඇතුළත්ව එකවර පුහුණු නිලධාරීන් 4550 දෙනකු පුහුණු කිරීමේ හැකියාව පවතී. ආධුනික නිලධාරීන් සඳහා ඉතා ගුණාත්මක පුහුණුවක් ලබා දීම ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ ප්‍රමුඛතම කාර්යය වේ. පොලිස් කොස්තාපල් රියැදුරු, පොලිස් කොස්තාපල්වරුන් හා වරියන්, උප පොලිස් පරීක්ෂකවරුන් සහ වරියන්, සහකාර පොලිස් අධිකාරීවරුන් සහ වරියන් ආධුනික නිලධාරීන් ලෙස පුහුණුව සදහා බඳවා ගෙන වත්මන් සමාජයට ගැලපෙන පරිදි වැඩි දියුණු කරන ලද විෂය නිර්දේශය යටතේ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවීම් ලබාදේ.

ආධුනික නිලධාරීන් තම පුහුණු කාලය තුළ නීතිය හා ප්‍රායෝගික පොලිස් විධි, අධිකරණ රාජකාරී, ඝන සරඹ, අවි සරඹ, ශාරීරික අභ්‍යාස, ආත්මාරක්ෂක සටන්, වන සටන් පුහුණුව විවිධ ක්‍රිඩා ඉසව් වල නිරත වීම, මහජන සාමය කළමණාකරණය කිරීම, විද්‍යාත්මක අපරාධ ස්ථාන පරීක්ෂාව, තොරතුරු තාක්ෂණය වැනි විවිධ විෂය පරාසයන් ඔස්සේ පුහුණුව ලබා දීම පොලිස් විද්‍යාලය මගින් සිදු කරනු ලබයි.

මෙම විෂයන්ට සමගාමීව විවිධ කුසලතා සහ ආකල්ප වර්ධනය උදෙසා සැලසුම්ගත වැඩසටහන් ගණනාවක් සිදුවේ. කාබනික පොහොර නිෂ්පාදනය හරහා විවිධ වගා කටයුතු සිදු කිරීම, ආගමික හා සංස්කෘතික කටයුතු මගින් අධ්‍යාත්මික ගුණ වගා පෝෂණය, සිනමා දර්ශන, සංගීත වැඩසටහන්, විවිධ ප්‍රසංග හරහා කලා කුසලතා වැඩි දියුණු කිරීම, කථික තරග, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් තුළින් කුසලතා වර්ධනය, අවුරුදු උත්සව, ක්‍රීඩා උත්සව මගින් කණ්ඩායම් හැඟිීම වර්ධනය කිරීම. අදි විවිධ වැඩසටහන් පුහුණු නිලධාරීන් වෙනුවෙන් පොලිස් විද්‍යාලය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම මූලික පුහුණු කටයුතුවලට සමගාමීව ක්ෂෙත්‍රයේ රාජකාරී නියුතු පොලිස් නිලධාරීන් සඳහා උසස් පුහුණු පාඨමාලා ගණනාවක් මෙම පොලිස් විද්‍යාලය තුළ ක්‍රියාත්මකව පවතී. සොකෝ ඩිප්ලෝමා පාඨමාලාව, රථවාහන කළමනාකරණ පාඨමාලාව, තනතුරට හැඩගැස්වීමේ පාඨමාලා, මහජන සාමය කළමානාකරණය කිරීමේ පාඨමාලා, අවි පුහුණුව සහ වන සටන් පුහුණුව, පරිගණක පුහුණු පාඨමාලා, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා නිලධාරීන් පුහුණු කිරීම, පුහුණු කරන්නන් පුහුණු කිරීමේ පාඨමාලා, ධාරිතා සංවර්ධන පුහුණු පාඨමාලා, රිය පැදවීමේ පුහුණු පාඨමාලා ආදී වූ පුහුණු පාඨමාලා ගණනාවක් මෙම පොලිස් විද්‍යාලය තුළ ක්‍රියාත්මකව පවතී.

විවිධ රාජ්‍ය ආයතන සඳහා ද කෙටි කාලීන පුහුණු පාඨමාලා මෙම විද්‍යාලය මගින් සිදු කරනු ලබයි. රාජය පරිපාලන සේවයේ නවක නිලධාරීන්, ගණකාධිකාරීවරුන්, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ධීවර නිලධාරීන්, අධිකරණ වෛද්‍යවරුන්, වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන් වැනි විවිධ ආයතන නියෝජනය කරන නිලධාරීන් සඳහා නීතී දැනුම මෙන්ම නායකත්ව පුහුණු වැඩසටහන් මෙම විද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙමගින් ශ්‍රී ලංකා පොලිසිය සහ අනිකුත් රාජ්‍ය ආයතන අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සුහදතාව වර්ධනය වීම නිතැතින්ම සිදු වනු ඇත.

පාසල් සිසුන් සඳහා පොලිස් ශිෂ්‍ය භට කදවුරු පැවැත්වීම සහ විසිරයෑමේ උළෙල සහ ඔවුන්ගේ පුහුණු කටයුතු සඳහා ද පොලිස් විද්‍යාලය විශාල සහායක් ලබාදීම සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයට වසර 75 සපිරෙන මේ මොහොතේ මෙහි පුහුණුව ලැබූ සියලු නිලධාරීන්, කාර්යය මණ්ඩලය, මෙහි සේවය කරන ලද අධ්‍යක්ෂවරු සේවයේ නිරත හා විශ්‍රාමික සියලු තරාතිරම්වල නිලධාරීන් නිලධාරීනියන් මේ අවස්ථාවේදී ගෞරවයෙන් යුක්තව සිහිපත් කරමු.

ශ්‍රි ලංකා පොලිස් විද්‍යාලයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී සිඩිනි ද සොයිසා මහතාගේ සිට අධ්‍යක්ෂවරුන් 27 දෙනෙකු මේ දක්වා එම ධුරය දරා ඇත. වර්තමානයේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ 28 වන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. ඒ. චන්ද්‍රසේන මහතායි.

බඳවා ගැනීම හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස නීතීඥ සම්පත් කුමාර ලියනගේ මහතාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙස රන්මල් කොඩිතුවක්කු මහතාත් කටයුතු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment